2021 ජුලි 17 වන සෙනසුරාදා

මිනිසා හඳට ගොස් වසර 52යි: නැවත හඳට යන්න සූදානමක්!

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 900

අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් නීල් ආම්ස්ට්‍රෝං වර්ෂ 1969 ක් වූ ජූලි මස 21 සඳුදා පෙරවරු අටයි විසිහයට (8.26) සඳ මත පා තබා දැන් වසර 52ක් ගෙවී ගොස් හමාරය. එදා නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන තිදෙනා මිනිස් ඉතිහාසයේ චන්ද්‍ර චාරිකා යුගයට මුල පුරමින් ඇපලෝ 11 යානයෙන් ගමන් ගත්හ. යානය සඳ කරා ගෙන ගියේ සැටර්න් පහ (5) රොකට්ටුව මගිනි. කෙනඩි තුඩුවේ තිස් නම (39) වැනි වේදිකාවෙන් රොකට්ටුව ගුවන් ගත කෙරිණි.

මිනිසා සඳට ගෙන ගිය ඇපලෝ ව්‍යාපෘතිය යානා 11ක් සඳ වෙත ‍යැවීමට සමත් විය. පළමු යානා 4 සඳගමන උදෙසා තනන ලද උපාංග පරීක්ෂා කර බැලීම සඳහා ක්‍රියාත්මක වූ ඒවාය. ඉන්පසු යැවූ ඉතිරි යානා 7න් 6ක්ම සාර්ථකව සඳ මත ගොඩ බැස්සේය.

ඉතිහාසගත පළමු මිනිසා ගොඩබැසීම සිදුකළ ඇපලෝ 11 ගමන සහ ඉන්පසු ගිය ගමන්  වාර 5 තුළදී මේ දක්වා නීල් ආම්ස්ට්‍රෝං ඇතුළුව මිනිසුන් 12 දෙනෙක් සඳ මත සිය පා සටහන් තබා තිබේ. නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කළ ඇපලෝ ව්‍යාපෘතියේදී මුලින්ම මිනිසුන් තිදෙනෙක් සඳ වෙත ගෙන ගියේ ඇපලෝ 8 යානයයි. එය 1968 දෙසැම්බර් මස සඳ කරා ළඟා වූ අතර ගොඩබැසීමක් සිදු නොකර සඳ වටා කක්ෂගත වී නැවත සාර්ථකව පෘථිවිය කරා ළඟාවුණි. මේ සඳහා සහභාගී වූයේ ෆ්‍රෑන්ක් බෝමන්, බිල් ඇන්ඩර්ස්, හා ජිම් ලොවෙල් යන අයයි.

මිනිසා සඳ මත පා තැබීම 1969 ජූලි මාසයේදී සිදු වුණි. ඒ තමා නීල් ආම්ස්ට්‍රෝං සඳමත පළමු පිය සටහන තැබූ අප කවුරුත් දන්නා ඇපලෝ 11 යානයේ ඉතිහාසගත සඳ ගමන.  ඇපලෝ ව්‍යාපෘතිය මඟින් අවසන් වතාවට සඳ මතට යානයක් යවන ලද්දේ 1972 දෙසැම්බරයේදීයි. ඒ අනුව අවසන් වරට සඳ මත ඇවිද ගියේ හැරිසන් ෂ්මිට් චන්ද්‍රගාමීයායි. එදා ඇපලෝ වැඩසටහන මගින් 381.7 kg ස්කන්ධයකින් යුත් පාෂාණ සහ අනෙකුත් වස්තු සඳෙන් ගෙන එන ලද අතර මේවායින් බොහෝමයක් හූස්ටන්හි පිහිටි Lunar receiving විද්‍යාගාරයේ ගබඩා කර ඇත.

දැන් වසර 52කට පසු නැවත සඳ මත පා තැබීමට ‘නාසා' ආයතනය සැලසුම් කර තිබේ. ඒ 2024 දීය. එදිනට සඳ මතට යන මුල්ම කාන්තාවත් රැගෙන යාමටයි නියමිතය. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ ආර්ටේමිස් ලෙසයි. මෙහෙයුමේ මුල් අදියර ඇරඹෙන්නේ 2021 නොවැම්බර් මාසයේදීය. එදාට සඳ වෙත ගමන යන්නට නියමිත ඔරියන් යානයත් නාසා ආයතනය මෙතෙක් නිපදවූ ප්‍රබලතම රොකට්ටුවත් පරීක්ෂාවට ලක්කරන්නට නියමිතය. ඔරියන් යානය සති 3ක් අභ්‍යවකාශය ඔස්සේ සඳ තලයත් පසුකර සැතපුම් 280,000ක දුරක් තරණය කරන්නටයි සූදානම. මෙහි දෙවැනි අදියර 2022-2023 අතරත්, තුන්වැනි පියවර ලෙස පූර්ණ සඳ ගමන 2024දී සිදුවන්නට නියමිතය.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05