චීනය මේ වන විට ඉන්දියාවට අයත් බවට ප්‍රකාශ වී ඇති හෝ සැබෑ අයිතිය සම්බන්ධයෙන් අර්බුදවලට මැදිව ඇති දේශසීමා කලාපවල නව ඉදිකිරීම් සිදුකරමින් පවතී. මේ නිසාම ඉන්දු - චීන දේශසීමා ගැටුම දිනෙන් දින දැඩි වෙමින් පවතී.
චීනය එබඳු අර්බුදකාරී දේශසීමා කලාපවල නව ගම්මාන මෙන්ම හමුදා කඳවුරු ගුවන් ආරක්ෂණ පද්ධති සහ භූගත ආයුධ ගබඩා ඉදිකිරීම මේ ගැටලුව තවත් වර්ධනය කිරීමට හේතු වී ඇතැයි අන්තර්ජාතික භු දේශපාලනික විශේෂඥයෝ පවා පෙන්වා දෙති. මේ හේතුවෙන් ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර දේශසීමාව දකුණු චීන මුහුද මෙන් දැඩි උණුසුම්කාරී ගැටුම් සහිත කලාපයක් වනු ඇති බවට ඔවුන් අනතුරු අඟවා තිබේ.
මෙ වන විටද ලඩාක් ස්වයංපාලන කලාප දේශසීමාව ද එවැනි අර්බුදයකට ලක්ව පවතින්නේ. චීනය විසින් සිදු කරන ලද හමුදා කඳවුරු සහ නව ගම්මාන ඉදිකිරීම් හේතුවෙනි.
මේ වන විට අරුණාචාල් ප්‍රාන්ත සීමාවේ අයිතිය සම්බන්ධයෙන් ද අර්බුදයක් පවතී. එහි ටවාන්ග් ප්‍රදේශයේ චීනය විසින් නව ගම්මානයක් ඉදිකර ටිබෙට් සහ චීන වැසියන් පිරිසක් පදිංචි කර ඇත. ඒ බව හෙළිවීමත් සමඟ ඉන්දු - චීන දේශසීමා අර්බුදය නව මුහුණුවරකින් උත්සන්න වී තිබේ.
ඉන්දියාව සහ චීනය අතර පළමු දේශසීමා සංග්‍රාමය 1962 වසරේ වාර්තා විය. එදා ගැටලුව මතුවූයේ ඉන්දියාව හා චීනය සතු වූ ඉපැරුණි සිතියම් හි ඉන්දියා - චීන දේශසීමාව දෙයාකාරයකට සලකුණු කර තිබීමෙනි. එදා අර්බුදය පැන නැගීමට ප්‍රධාන හේතුව වූයේ ඉන්දීය - චීන දේශසීමාවේ එක්තරා භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් දෙරට විසින්ම හිමිකම් කියා පෑමය. එලෙස හිමිකම් කියනු ලැබුවේ ඉන්දියා චීන දේශසීමාවේ ටිබෙට් රටට නුදුරින් පිහිටි අක්සායි චින් (AKSAI CHIN) නැමැති ප්‍රදේශය සම්බන්ධයෙනි. මේ නිසාම එදා ඉන්දියා - චීන යුද්ධය ඇරැඹිණි. මෙම යුද්ධය 1962 ඔක්තෝබර් මස 20 දින ආරම්භ වී නොවැම්බර් මස 21 දින චීනය විසින් ඒකපාක්‍ෂිකව ප්‍රකාශිත සටන් විරාමයක් යටතේ කෙළවර විය. මාසයක් පමණ පැවති මෙම යුද්ධය ජාත්‍යන්තර වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත කරනු ලැබිණි. එම යුද්ධයේ දී ඉන්දියාවට බරපතළ හානි සිදු වූ අතර එය නිමවුණේ ඔවුන්ගේ පරාජයෙනි.
තම භූමියෙන් කිලෝමීටර් 38,000ක් අල්ලාගෙන සිටින බවට ඉන්දියාව චීනයට චෝදනා කරයි. එම දේශසීමා අර්බුදය නිරාකරණය කර ගැනීමට පැවති සාකච්ඡා වට කිහිපයක්ම අවසන් වුණේ අසාර්ථක මට්ටමිනි.
මතභේදයට තුඩු දී තිබූ නිම්නයක් වූ ගල්වාන් නිම්නය ඔස්සේ චීනය දේශසීමා මාර්ගයක් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම 2017 වසරේ දී දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවීමට හේතුවක් විය. රටවල් දෙකම මෙම කලාපය දෙස බලන්නේ ආර්ථිකමය මෙන්ම යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙසිනි.
මේ වන විට මේ ආකාරයෙන්ම අයිතිය පිළිබඳ අර්බුද පවතින සහ පොදු අයිතිය යටතේ ඇති දකුණු චීන මුහුදේ කුඩා දූපත්වල සහ සමුද්‍ර සීමා සම්බන්ධයෙන් චීනය විසින් අයිතිවාසිකම් කීම හේතුවෙන් දකුණු චීන මුහුද ආශ්‍රිතව දැනටමත් දැඩි උණුසුම්කාරී භූ - දේශපාලනික අර්බුදයක් මතුව තිබේ. චීනය සමඟ ඒ අර්බුදයට, වියට්නාමය, මලයාසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, බෲනයි සහ තායිවානය යන රටවල් රැසක් මැදී වී සිටී.
සංස්කරණය:
සුගත් පී. කුලතුංගආරච්චි