චීන මකරාත් රුසියානු හිම වලහාත් අතර අසාමාන්‍ය එක්වීමට බටහිරින් ආ බලපෑම් නිමක් නැත. මේ රතු බලවතුන් වෙන්කර තැබීමටත් සිය බලය ලොවපුරා ව්‍යාප්තියටත් ඔවුන් ගත් උත්සාහයන් දැන් නිශ්ඵල වී ගොසිනි.
අමෙරිකාව සහ එහි ගෝලීය බල ව්‍යාප්තිය සමතුලිත කිරීම සඳහා දැන් නැවතත් ලෝකයේ රතු බලවතුන් ප්‍රසිද්ධියේම එක්ව හමාරය. චීනය සහ රුසියාව අතර දැඩි සබඳතා වර්ධනය ලෝකය නැවත වතාවක් භූ දේශපාලනික ධ්‍රැවීයකරණයකට ලක්කෙරෙන අතරම එය ඉදිරියේදී අතීතයේ මෙන් ලෝක සාමයට භයානක අභියෝගයක් වීමටද හැකිය.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් සමඟ චීන විදේශ කටයුතු අධ්‍යක්ෂ යැන්ග් ජී එචි සහ රජයේ නීතිඥ වැන්ග් යී අතර පසුගියදා පැවැති හමුව අතීතය නැවත කැඳවීමක් වැනි විය. එය 1961දී නැගෙනහිර ජර්මනියේ බර්ලින් අර්බුදය සම්බන්ධයෙන් එවකට රුසියානු ජනාධිපති කෘෂෙව් සහ ඇමරිකානු ජනාධිපති කෙනඩි අතර වියනා නුවර ඇතිවූ සාකච්ඡාව සිහිපත් කරන්නකි. එහිදී එදා කෙනඩිව දණගැස්වූ ආකාරයට මෙම සාකච්ඡා මාලාවේදී වැන්ග් සහ යැන්ග් විසින් බ්ලින්කන් සහ සලිවන් මෙල්ල කිරීමට උත්සාහ දැරූ බවක් දිස්විය.
අන් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම, අතිශය විනාශකාරී යුද්ධ නිර්මාණය කිරීම, තම රට අභ්‍යන්තරයේ මෙන්ම අන් රටවලදී සිදුකරන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව යැන්ග් සහ වැන්ග් විසින් බ්ලින්කන්ට සහ සලිවන්ට දැඩි ලෙස චෝදනා එල්ල කර තිබුණි.
හොංකොංහි සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය, උයිගර්වරුන් මර්දනය, ගිණිකොනදිග සහ නැගෙනහිර ආසියාවේ සිදුකරන ආක්‍රමණශීලී මැදිහත්වීම් යන කරුණු පිළිබඳව උපුටා දක්වමින් බ්ලින්කන් සහ සලිවන් විසින්ද යැන්ග්ට සහ වැන්ග්ට ප්‍රතිචෝදනා එල්ල කර තිබුණි.
මේ හමුවෙන් දින දෙකක් ඉක්ම ගිය තැන රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් චීනයට සම්ප්‍රාප්ත වීම ලෝක භූ දේශපාලනයේ කැපී පෙනෙන වෙනසක් ගැන ඉඟි කරන කරුණකි. එය චීන–රුසියානු සම්බන්ධතාවයන් නැවත වඩ වඩාත් ශක්තිමත් වන බව සනාථ කරන ලකුණකි. ජනවාරි මස පැවති දකුණු කොරියා, ජපාන, ඇමරිකා සාකච්ඡා අවසන් වූ වහාම වැන්ග් යී විසින් මාර්තු මස සිදුවන රුසියානු විදේශ ඇමතිගේ චීන ආගමනය පිළිබඳව නිවේදනය කර තිබීම විශේෂත්වයකි.
සියලු ආකාරයේ ඇමරිකානු ඒක පාර්ශ්වීය සම්බාධකවලට එරෙහිව රටවල් නැගී සිටිය යුතු බව චීන–රුසියානු සාකච්ඡාවලදී වැන්ග් අවධාරණය කර සිටි අතර බටහිරයන් විසින් ඔවුන්ගේ නීතීන්ට අනුව ලෝකය පාලනය කිරීමට දරන උත්සාහයන් ලැව්රොව්ගේ දැඩි විවේචනයට ලක්විය. 1950 දශකය මැදභාගයේදී යම් තරමකට පළුදු වූ චීන–රුසියා සහයෝගීතාවයන් සහ මිත්‍රත්වයන් වඩාත් සවිමත් ආකාරයකට ගොඩනගා ගැනීමට පසුගිය දශකය පුරා එම රටවල් දෙක පියවර ගන්නා ආකාරය මෙම සිදුවීම මගින් වඩාත් තහවුරුව තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය තම ආසියාතික භූ දේශපාලන සහායකයින් වන දකුණු කොරියාව සහ ජපානය සමඟ ගොඩනගා ගෙන ඇති සමීප සබඳතාව සමපාත කිරීමට රුසියානු විදේශ ඇමතිවරයාගේ මෙම සංචාරය අතිශය වැදගත් වන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉංග්‍රීසි ප්‍රකාශනය වන ග්ලෝබල් ටයිම්ස් (Global Times) පුවත්පත දක්වා තිබුණි.