2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

සුකීට එරෙහි කුමන්ත්‍රණය යට විදෙස් බළල් අතක්!

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

මියන්මාරයේ නව පාලනයේ හමුදා නිලධාරීන් අවුන් සාන් සුචීගේ දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානය වෙත කඩා වැදී එය විනාශ කර දමා ඇති බව වාර්තා වීමත් සමඟ එරට යළිත් විරෝධතා දැඩි වී තිබේ. මෙවර පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විශාල පිරිසක්ද මෙම විරෝධතාකරුවන් සමඟ එක් වී ඇත.

හමුදා පාලනය අවසන් කර, ජනතා ඡන්දයෙන් බලයට පත් වූ අවුන් සාන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ඉඩ සැලසිය යුතු බවට මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානද, අමෙරිකාව ඇතුළු රටවල් ද මියන්මාර හමුදා පාලනය වෙත බල කර හමාරය. අමෙරිකාව ඇතුළු බටහිර රටවල් මියන්මාරයට සම්බාධක පැනවීමටද තීරණය කර තිබේ.

2020 නොවැම්බර් මාසයේදී පැවති මහ මැතිවරණයෙන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර නව ආණ්ඩුවේ කටයුතු පසුගියදා ආරම්භ කිරීමට නියමිතව තිබිණි. සුචී ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගෙන හමුදාව රටේ පාලනය අත්පත් කර ගත්තේ එදිනම අලුයමය. මේ හේතුවෙන් පසුගිය දිනවල එරට අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල ලක්ෂ ගණන් ජනයා වීදි බැස විරෝධතාවයේ නිරත වූ අතර හමුදා පාලනය විසින් ඔවුන් මැඩපැවැත්වීම සඳහා ජල ප්‍රහාර සහ රබර් වෙඩි උණ්ඩ භාවිත කර තිබිණි. එයින් විරෝධතාකරුවන් 06 දෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. 
මෙම තත්ත්වය හමුවේ විරෝධතාකරැවන් යම් තරමකින් පසුබා සිටි නමුත් පක්ෂ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ යළිත් විරෝධතා දැඩි වී ඇත.

මියන්මාරය තුළ මිලිටරි පාලනයක් ස්ථාපිත කිරීමට දරන උත්සාහය පිටුපස ඉන්දියානු භූමිකාවක් ක්‍රියාත්මක වන්නේද යන සැකය ප්‍රබලව මතුවන බව අන්තර්ජාතික මාධ්‍ය අවධානයට ලක් කර ඇත.
සුකී මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති පසුගිය රජය වකවානුවේදී මියන්මාරය විසින් චීනය සමඟ ඉතා මිත්‍රශීලී ලෙස රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගනිමින් මියන්මාරයේ චීන ආයෝජනයන් ප්‍රවර්ධනයට කටයුතු කර ඇති අතර නව රජය යටතේ එම සබඳතා සහ ආයෝජනයන් වඩ වඩාත් ශක්තිමත් කර ගැනීමට සැලසුම් කර තිබී ඇත.

මෙම හමුදා කුමන්ත්‍රණයට පෙර රුසියානු විදේශ ඇමැතිවරයා මියන්මාර සංචාරයක යෙදෙමින් මියන්මාරය සමඟ නව ආරක්ෂක ගිවිසුමක් අත්සන් තබමින් කොවිඩ් වසංගතයට මුහුණ දීමට අවශ්‍ය රැසියානු බෙහෙත් සහ වෛද්‍ය උපකරණ රාශියක් මියන්මාරයට ප්‍රදානය කළ අතර කොවිඩ් එන්නත් අතරින් ලොව ඉහළම සාර්ථකත්වය පෙන්වා ඇති රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මියන්මාරයට ද ලබාදීමට ගිවිස ගත්තේය.

මෙවන් පසුබිමක් තුළ පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේ සිට පත්වීමට නියමිත නව රජයට එරෙහිව විවිධ චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට සැලසුම් කළ හමුදාව අවසානයේදී හදිසියේම ප්‍රජාතන්ත්‍ර විරෝධීව මියන්මාරය තුළ මිලිටරි පාලනයක් ස්ථාපිත කිරීමට පියවර ගත් ආකාරය අනුව එහි කලාපීය බලය සඳහා ගැටෙන විදෙස් අතපෙවීමක රහස් භූමිකාවක් ක්‍රියාත්මක වූයේද යන සැකය ප්‍රබලව මතුව තිබේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05