2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

අමෙරිකාවේ දේශපාලන එන්නත් හුටපටය!

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

කොවිඩ් 19ට එරෙහි විප්ලවීය එන්නත් කිහිපයක්ම පසුගියදා දොරට වැඩියේය. එයින් පර්යේෂණාත්මක සාර්ථකත්වය ලත් එන්නත පළමුවෙන්ම ලබාගත් කාන්තාව බවට ඉතිහාස ගතවූයේ එංගලන්තයේ ආච්චි අම්මා කෙනෙකි. තව සතියකින් 91 වැනි වියට පිවිසෙන මාග්‍රට් කීනන් ලොව පළමු එන්නත ලබාගත් වාසනාවන්තිය විය. අමෙරිකාවේ මොඩෙර්නා සමාගමද සිය එන්නත නිකුත් කිරීම ගිය සතියේ ඇරුඹීය. චීනය සහ රැසියාවද තමන්ගේ එන්නත් මහජනතාවගේ ප්‍රයෝජනයට මුදා හැරියේය. මැලේසියාවේ නිෂ්පාදිත එන්නතක්ද සාර්ථක බව ප්‍රකාශයට පත්වූයේ මේ සමගය.

ලෝකය පුරා එන්නත් විප්ලවය මෙලෙස සිදුවෙද්දී අමෙරිකාවේ ගෙදර යන්නට ලකලෑස්තිව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිටියේ කනස්සල්ලෙන් යුතුවය. සාර්ථකත්වයට පත්වූ මුල්ම එන්නත් තොගය අමෙරිකාවට ලබා නොදීම සම්බන්ධයෙනි. සීයට 95ක් සාර්ථක බව කියනා ෆයිසර් සහ මොඩෙර්නා එන්නත් මේ සතිය මැද අමෙරිකාවට ලැබීමට නියමිත අතර කැමැති ඕනෑම අයෙක්හට එන්නත ලබා ගැනීමට අවශ්‍ය තරම් අමෙරිකාව පුරා එය සුලබ කරන්නට කටයුතු කිරීමට ට්‍රම්ප් පොරොන්දු විය.
එන්නත් බහුලව නිපදවීමට අවශ්‍ය වුවහොත් ලෝක යුද්ධය කාලේ ගෙන ආ පනතක් ක්‍රියාත්මක කිරීමටද තමන් සූදානම් බව ඔහු කියා තිබුණි. අමෙරිකානු ජනාධිපතිවරයකුට රටට අවශ්‍ය දේ නිපදවන ලෙස නියෝග කිරීමේ බලය පැවරෙන පනතක් 1950දී සම්මත වී තිබේ. ඒ අනුව අවශ්‍ය වුවහොත් ඒ බලය භාවිත කර තමන් එන්නත නිපදවීමට නියෝග කරනා බවට ට්‍රම්ප් ධවල මන්දිරයේදී කියා තිබුණි.

ට්‍රම්ප් තවමත් සිය ජනකාන්ත ප්‍රතිරෑපය ගොඩනගා ගන්නට එසේ තැත් දරද්දී ඕනෑම දේශපාලන හෙයියම්මාරුවකට සූදානම්ව සිටින ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ජනවාරියෙන් පසු ඇරැඹෙන තමන්ගේ දින 100ක කාලය කොවිඩ් 19ට එරෙහි සටන් කාලයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. සිය මුල් දින 100 තුළ රටේ සියලු ජනතාවගෙන් මුහුණු ආවරණ පළඳින ලෙසත්, මීටරයක දුර තබාගන සෞඛ්‍ය ආරක්ෂණ පියවර පිලිපදින ලෙසත් බයිඩන් ඉල්ලා සිටියේය. තමන්ගේ දින 100 ඇරුඹෙද්දීම මිලියන 100ක එන්නත් තොගයක් අමෙරිකානුවන් වෙත ලබාදෙන්නට බයිඩන් බලාපොරොත්තු වේ. මේ දින 100 කොවිඩ් සටන සාර්ථක කරගැනීම සඳහා ඔහු සිය සෞඛ්‍ය බළකාය ට්‍රම්ප් ධවල මන්දිර ප්‍රකාශයට කළදාම පත්කර ගත්තේය.

මේ අනුව බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය උපදේශක ලෙස මෙතෙක් කලක් ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග ආයතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ඇන්තනි ෆොසී පත්කර ගන්නට යෙදුණි. අමෙරිකාවේ සෞඛ්‍ය ප්‍රධානියා ලෙස විශේෂඥ වෛද්‍ය විවේක් මූර්ති පත්කරන්නට යෙදුණි. CDC ආයතනයේ ප්‍රධානත්වය වෛද්‍ය රොෂෙල් වැලන්ස්කි හට හිමිවූ අතර කොවිඩ් 19 වැළැක්වීමේ කාර්යසාධක බළකායේ ප්‍රධානීත්වය වෛද්‍ය මාර්සෙලා නූනේෂ් ස්මිත්ට හිමිකර දුන්නේය.

මේ වනවිට අමෙරිකාවේ 285,000කට වැඩි පිරිසක් කොවිඩ් 19 නිසා මරණයට පත්ව සිටියි. පසුගිය සඳුදා පමණක් කොවිඩ් රෝගීන් ලක්ෂ 02ක් එක් දිනකදී වාර්තා විය. මේ නිසාම අමෙරිකානු ජන ජීවිතයේ දැවෙන ගැටලුවක් බවට කොවිඩ් 19 දැන් පත්ව හමාරය. පාසල් නැවත විවෘත කර ගැනීමත්, ජීවිතය රැකගෙන සේවා ස්ථාන කරා යාමත්, ඔවුනට මහා ගැටලු ඇතිකර තිබේ. බරපතළම ගැටලුව වන්නේ රෝහල් තවදුරටත් රෝගීන්හට ප්‍රතිකාර සඳහා බාර නොගැනීමය. මේ අමෙරිකානු හුදී ජනයාගේ ගැටලුව දේශපාලකයන් හට සිය චරිත කැපී පෙනෙන මට්ටමට ගෙන එන්නට ඉඩ සලසා දෙන යස තුරැම්පුවකි. දැන් ඒ තුරුම්පුවේ වැඩි වාසිය ඇත්තේ ට්‍රම්ප් අත නොව බයිඩන් අතය.

 

සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05