2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

දින්නත් පැරදුණත් ට්‍රම්ප් හිරේ!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 349

ලෝකෙට ලොක්කා තමන් යැයි පුරසාරම් දෙඩූවද දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිටින්නේ අලකලංචි රුසකට මැදිවය. අමෙරිකාවේ ඇති කළින් ඡන්දය ප්‍රකාශ කිරිමේ වරප්‍රසාදය යටතේ ට්‍රම්ප්ද කළින්ම ගොස් තමන්ටම ඡන්දය දමා ගත්තත් ඔහුගේ ප්‍රතිවාදියා ජෝ බයිඩන් සිටින්නේ බොහෝ ඉදිරියෙන් බව මේ වනවිට ජනමත විමසුම් රැසක්ම තහවුරු කර හමාරය. මේ නිසාම ට්‍රම්ප්ගේ අනාගතය ගැන පළව ඇත්තේ අසුබදායක ආරංචිය. මේ ආරංචි මගින් තදින්ම තහවුරු කර ඇත්තේ ඡන්දය පැරුදුණොත් ට්‍රම්ප්හට ධවල මන්දිරයෙන් මහ උළුගෙදරට යන්නට සිදුවන බවය.

දහ අතේ ණය වී, බැංකු රවටා, බදු පොලු තබා ස්ත්‍රී දූෂණ චෝදනාද එල්ල වී සිටින ට්‍රම්ප් මෙතෙක් ජාම බේරාගත්තේ පෞද්ගලික වාසියට තම ජනාධිපති ධූරයේ බලය  භාවිත කළ කළ හෙයිනි. නමුත් මෙවර දැනටමත්  පෙනෙන්නට ඇති පරිදි ඔහුට ධූරය අහිමිවූවද- නැතිවුවද සිය වංචනික ක්‍රියා පිළිබඳ විමර්ශන කිහිපයකටම මුහුණ දෙන්නට   සිදුවනු ඇත. එහි අවසන ට්‍රම්ප්ට හිමිවනු ඇත්තේ එතෙක් මෙතෙක් කිසිදු අමෙරිකානු ජනාධිපතිවරයෙක් මුහුණ නුදුන් ආකාරයේ අවාසනාවන්ත ඉරණමකි.

ඔහුට හිමිවන ජනපති වරප්‍රසාද අහිමි වූ කළ, ට්‍රම්ප්ට පෞද්ගලික පුරවැසියකු ලෙස- තනි පුද්ගලයකු ලෙස සහ ඔහු ගේ සමාගමට -  ඔහු ගේ වංචනික ක්‍රියා පිළිබද විමර්ශන කිහිපයකටම මුහුණ දෙන්නට සිදුවනු ඇත. කලින් ඔහුට හිංසන චෝදනා එල්ලකළ කාන්තාවන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළද දැන් නැවත ඔවුන්ගෙන් ඔහුට අපහාස චෝදනා එල්ලවන්නට නියමිතය. මේ කාන්තාවන් අතර ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කළ හිටපු සඟරා තීරු ලිපි රචිකාවක් වන ඊ. ජීන් කැරොල්ද වෙයි. මීට අමතරව, ඔහු පෞද්ගලික වාසියට තම ජනාධිපති ධූරය භාවිත කළ බවටද චෝදනා එල්ල ව තිබේ.

සමීක්ෂණවලට අනුව, ට්‍රම්ප් ඡන්දයෙන් පරාජය වන්නට ඇති ඉඩකඩ ඉහළය. ට්‍රම්ප් ගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් මේ වනවිටද ජනාධිපති තරගයේ ඉදිරියෙන්ම සිටින බව වාර්තාවී තිබේ. එබඳු වටාපිටාවක ජනාධිපතිවරණයෙන් සති කීපයක් ඇතුළත   නිව් යෝක් චෝදකයන්ගෙන් එල්ල වන්නට නියමිත අපරාධ විමර්ශනයක්ද ඇතුළුව, නීතිමය ගැටලු රාශියක් ට්‍රම්ප්ට එරෙහිව පැන නැගෙන්නට නිසිකල එනතුරු මග බලා සිටියි.

ඔහු නැවත ජනාධිපති වුවත් නැතත්, මේ ගැටලු බොහෝමයක් අධිකරණය වෙත ගොස් අර්බුදකාරී තත්ත්වයක් ඇති කරනු ඇත. දැනටමත් ට්‍රම්ප් කොටුකිරීමට ‘ජනාධිපති අපරාධ කොමිසමක්’ ගැන යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. “ජනාධිපති අපරාධ කොමිසමක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳ තදින්ම අදහස් පළකර ඇත්තේ කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික සාමාජිකයකු වන එරික් ස්වොල්වෙල්ය. මේ අනුව ට්‍රම්ප් මුහුණදී ඇත්තේ ‘මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ බඳු උභතෝකෝටික ගැටලුවකටය.

මෙහිදී ට්‍රම්ප් මුහුණපාන වඩාත් බරපතළම නීතිමය තර්ජනය, ට්‍රම්ප් ආයතනයේ මුදල් පරිහරණය සම්බන්ධයෙන් එල්ල වී ඇති මැන්හැට්න් දිස්ත්‍රික්ක නීතිඥ අපරාධ විමර්ශනයයි. මේ විමර්ශනයේ දී ට්‍රම්ප් සහ ඔහුගේ සමාගම, බැංකු වංචාවක්, රක්ෂණ වංචාවක්, බදු වංචාවක් සහ ව්‍යාජ ව්‍යාපාර වාර්තා සැකසීමක් සම්බන්ධයෙන් සිදු කිරීම පිළිබද විමර්ශනය කරනු ලැබෙනු ඇත.

මේ දිනවල තුරුම්පු සියල්ල කැරකෙන්නේ ට්‍රම්ප්ට අවාසිදායක අන්දමටය. ඉකුත්දා  ට්‍රම්ප්, ඔහුගේ ගිණුම් ආයතනයට අවුරුදු අටක බදු සහ මුදල් වාර්තා සම්බන්ධයෙන් එවා ඇති සිතාසියක් අභියෝගයට ලක්කර තිබුණි. සිතාසිය නීත්‍යානුකූල බව අධිකරණ පහකින් දන්වා තිබූ අතර, පසුගිය සතියේ ෆෙඩරල් අභියාචනාධිකරණයද ඒ සඳහා වූ ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේය.

මේ පෙරමග ලකුණු පෙන්වන්නේ අවසන් ප්‍රතිපලය කුමක් වුවද ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයට වඩා මහ උළුගෙදරට ළංවන බවය.

 

 

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05