මාලදිවයින තරම් ලොව වෙනත් කිසිදු රටක් දැඩි පාරිසරික තර්ජනයකට මුහුණ දී නැත. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළ ඛාදනය හා ස්වභාවික උවදුරු නිසා මුහුදු දියේ ගිලී යාමේ තර්ජනයට මාලදිවයින දැඩි ලෙස මුහුණ පා සිටී. 2009 ඔක්තෝබර් මාසයේදී එවක ජනාධිපති මොහොමඩ් නෂීඩ් සිය කැබිනට් රැස්වීම් යට පැවැත්වූයේ දේශගුණ විපර්යාස නිසා මාලදිවයින මුහුණ පා ඇති මේ තර්ජනය ගැන ලෝක අවධානය දිනා ගන්නටය. කොරල් දූපත් 1192ක් පුරා විහිදී ඇති මාලදිවයිනේ බොහොමයක් දූපත් පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර එකහමාරක් තරම් උසකිනි. ඉහළ නගින මුහුදු ජල මට්ටම ඒවායෙහි පැවැත්මට තර්ජනයකි. එහි ජීවත් වන ජනතාවට ද උන්හිටි තැන් අහිමිව යාමේ තර්ජනය මතුව හමාරය.
දැන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙරළා සටන් කරන්නට මාලදිවයින්වාසීන් තීන්දුවකට පැමිණ තිබේ. ඒ සඳහා ඔවුන් සොයාගත් විසඳුම "බලාපොරොත්තුවේ නගරය" යි. City of Hope නමින් බෞතිස්ම කර ඇති, 21 වැනි සියවසේ මේ අමුතු නගරය මාලේට අයත්ව ඇති හුල්හුමාලේ නම් වූ කෘත්රිම දූපතේ ගොඩනැගෙයි.
මුහුදු පත්ලේ සිට පොම්ප කෙරුණු ඝණ මීටර මිලියන ගණනක් වූ වැලි උපයෝගී කර ගනිමින් ගොඩකර තැනුණු මේ දූපතේ භූමිය තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා මීටර 2ක් ඉහළිනි. මෙහි පළමු අදියර ආරම්භ වුණේ 1997 දීය. 2019 වසර අග වන විට හුල්හුමාලේ දූපතේ පදිංචි වී සිටි ජනගහණය 50,000කට අධිකය. හුල්හුමාලේ කෘත්රිම දූපතේ දැන් අලුතින් ගොඩනැගිලි ඉදිකෙරෙමින් ඇත්තේ බලාපොරොත්තුවේ නගරය තැනීමටය. ඉතා සාර්ථක ලෙස කෙරෙන මෙම නිර්මාණයට අනුව 240,000ක් දෙනාට එහි පදිංචි වීමට හැකි වේ යැයි බලාපොරොත්තු වේ.