අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ හිතුවක්කාර තුරුම්පු නැවතත් භාවිත කර තිබේ. ඔහු සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර දීර්ඝ කාලයක් පැවැති කණු කුණුවල ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැන් දන්වා හමාරය. මෙම ඉල්ලා අස්වීම ලබන, 2021 වසරේ ජූලි මාසයේ සිට බලාත්මකය.
නව කොරෝනා වෛරසය හා එය පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සත්‍ය වසන් කළ බවටත්, එම සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇති බවටත් අමෙරිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කළේය.
ට්‍රම්ප්ගේ මෙම හිතුවක්කාර තීරණය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික නීති සම්පාදකයන්, වෛද්‍ය සංගම්, නීතිඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් ද දැඩි විවේචන එල්ල වී ඇත.
මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට ගත් තීරණය තමා ජනාධිපති ධූරයට පත් වූ වහාම වෙනස් කරන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් කියා තිබේ. ඔහු කියන්නේ තමා ජනාධිපති ධූරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බවය.
මේ විරසකය සහ දික්කසාදය ලෝක සෞඛ්‍ය සේවාවට අනිටු විපාක රුසක් ගෙන දීමට නියමිතය. 1948 දී ආරම්භ කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානය ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටා ඇත. එය ගෝලීය මහජන සෞඛ්‍ය සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ ආයතනයයි. මේ වන විට එහි සාමාජික රටවල් 194 ක් ඇති අතර, “සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම, ලෝකය සුරක්ෂිතව තබාගැනීම සහ අවදානමට ලක්වූවන්ට සේවය කිරීම” එහි අරමුණු වෙයි. ස්වේච්ඡා දායකත්වය මත පදනම් වූ සාමාජික ගාස්තු එකතුවකින් අරමුදල් සපයා ගන්නා මෙම ආයතනයේ වැඩිම ආධාර ලබා දෙන්නකු වන අමෙරිකාව ඉවත්ව යාම බරපතළ හානිදායක තත්ත්වයකට මඟ පාදා තිබේ.