මෑතකාලීන ලෝක නායකයන් අතර පුටින් අමුතුම චරිතයකි. මියයනතුරු බලයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇති බව එරට විපක්ෂය චෝදනා නඟන්නේ කලෙක සිටය. දැන් රුසියානු නායක පුටින්ගේ එම යාවජීව ජනාධිපති සිහිනය සැබෑවන ලකුණු පහළ වී තිබේ. වසර 2036 දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැද්මීර් පුටින්ට රැඳී සිටිය හැකිවන පරිදි ඔහු ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට බහුතර ජනතා අනුමැතිය හිමිවීමත් සමඟිනි.
පසුගිය සතිය පුරා මෙම ඡන්ද විමසීම පැවති අතර එහිදී සියයට 64කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත. සති මැද වනවිට ප්‍රකාශ කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව සියයට 77කට ආසන්න ප්‍රතිශතයක් රැසියානු ජනාධිපතිවරයාට පක්ෂව හිමිව තිබුණි.
මේ අනුව ජනාධිපති පුටින්ගේ පාලන කාලය නැවත බිංදුවෙන් පටන් ගැනීමට නියමිතය. 67 හැවිරිදි ජනාධිපතිවරයාගේ වර්තමාන පාලන කාලය නිමාවීමට නියමිතව ඇත්තේ 2024 දීය. නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අනුව එදින සිට වසර 6 බැගින් වාර දෙකක් පුටින්ට රැසියාවේ පාලන බලය හිමිවනු ඇත. ඒ අනුව ඔහුගේ නව පාලන සමය නිමාවීමට නියමිතව ඇත්තේ 2036 දීය. සෝවියට් දේශයේ නිර්මාතෘවරයා වූ වී.අයි. ලෙනින්ගේ අභාවයෙන් පසුව බලයට පැමිණි ජෝෂප් ස්ටාලින් වසර 30ක් එක දිගට එරට පාලනය කළ වාර්තාගත ඒකාධිපතියාය. දැන් පෙනීයන හැටියට නම් පුටින්, ස්ටාලින්ගේ එම වාර්තාවද බිඳ දැමීමට නියමිතය.
හිටපු කේජීබී නිලධාරියකු වන පූටින් දැන් වසර 20ක් තිස්සේ දැවැන්ත රුසියානු දේශය පාලනය කරනු ලබයි. සෝවියට් දේශය නම් දැවැන්ත රාජ්‍ය පද්ධතිය 1990දී බිඳ වැටීමෙන් පසු මොස්කව්හි නගරාධිපතිවරයා වූ බොරිස් යෙල්ට්සින් රුසියාවේ පාලනය ඩැහැගත්තේය. නමුත් නොසන්සුන් රුසියාව ස්ථාවර කිරීමට ඔහුට නොහැකි විය. පුටින් යෙල්ට්සින්ගේ දෙවැනියා ලෙස අහම්බකාරක ලෙස මතුව එන්නේ මේ අතරය. යෙල්ට්සින් 1999දී හදිසියේම පාලන බලය අතහැර දමන අතර එතැන් සිට රැසියාවේ බලය හිමිවූයේ පූටින්ටය. රටේ නිතිය අනුව දෙවරක් පිටපිටම පාලනය කළ පුටින් තවත් වසර 6ක් තම විශ්වාසවන්තයෙකු වූ දිමිත්‍රි මෙද්වෙදෙව් යටතේ අගමැති ලෙස රට පාලනය කරමින් 2012 දීද එකල තිබූ ව්‍යවස්ථා බාධාවන් මේ අන්දමට ඉවත් කරගනිමින් නැවත රුසියාවේ සුක්කානම අතට ගත්තේය. ඒ කාලය 2024දී ව්‍යවස්ථානුකූලව අවසන් වීමට තිබුණි.
පුටින්ගේ තකට තක ගැළපෙන මිතුරා වූ චීන ජනාධිපති ෂී ජිං පිං ද මේ වනවිට මියයන තෙක් එරට ජනාධිපති ලෙස කටයුතු කිරීම තීන්දු වී හමාරය. ඒඅනුව රුසියාවේ ව්ලැදිමීර් පුටින්ද ඒ පාරේම යන්නට සිහින දුටුවේය. දැන් ඒ අනුව රුසියාව පුටින්ටම සින්නක්කරව සින්න වී හමාරය.
► සංස්කරණය: සුගත් පී. කුලතුංගආරච්චි