2020 ජුනි 13 වන සෙනසුරාදා

ෆ්ලොයිඩ් ඝාතන විරෝධය ප්‍රභූන්වත් බ්ම වට්ටයි!

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

අමෙරිකාව මෙන්ම ලෝකය පුරාද වර්ණභේදය පිළිබඳ මහත් ආන්දෝලනයක් අලුතෙන් ඇතිකරන්නට සමත් වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු  පසුගිය බදාදා හූස්ටන්හිදී සිදුකළේය. එසේ වුවද ඔහුගේ ඝාතනය හේතුවෙන් හටගත් කම්පනය සහ විරෝධය තවමත් සමනය වී නැත. එංගලන්තයේදී මෙය වඩාත් අමුතු ස්වරූපයක් ගත්තේය. හිටපු අගමැති වින්ස්ටන් චර්චිල් ප්‍රමුඛ ප්‍රභූන් 60 දෙනකුට කාලාන්තරයකට පසු නැඟී ආ මේ වර්ණබේද විරෝධි රැල්ල අයහපත් ලෙස බලපෑවේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් අවමංගල දේව මෙහෙය දේශපාලනඥයන් සහ ප්‍රභූන්, කලාකරුවන් ආදී 500කට සීමා වූ පිරිසකගේ සහභාගීත්වයෙන් ෆවුන්ටන් ඔෆ් ප්‍රේස් දෙව්මැදුරේදී පැවැත්විණි. අවමංගල්‍ය රථයක පටවාගත් ෆ්ලොයිඩ්ගේ සිරැර පෙරහරින් හූස්ටන් අනුස්මරණ උද්‍යානය වෙත රුගෙන විත් ඔහුගේ මවගේ සිරුර අසල තැන්පත් කෙරිණි.

ෆ්ලොයිඩ්, ඝාතනය සම්බන්ධයෙන් හටගත් විරෝධයන් අලුත් වටයකින් පණ පොවන්නට සමත් වූ සිද්ධියක් මේ අවමඟුලට සමගාමීව නැවත හටගත්තේය. ඒ  නිරායුධ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ සුදු ජාතික හිටපු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ඉකුත්දා ප්‍රථම වතාවට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ ඔහුට ඩොලර් එක් ලක්ෂ විසිපන්දහසක විශාල ඇපයක් නියම වීමත් සමගිනි.

එංගලන්තයේ ප්‍රභූන් 48කගේ ප්‍රතිමා බිඳියි!

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25 වැනිදාය. සිද්ධියේ සීසීටීවී දර්ශන ලෝකයට පෙන්නුම් කළේ “මට හූස්ම ගන්න බෑ” යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් කෑගසද්දී පොලිස් නිලධරයා උපක්‍රමික ලෙස තවදුරටත් සිය නවාගත් පාදය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ හුස්ම අවහිරවන ලෙස තබාගන ඇති ආකාරයයි. මේ සමග කළු අමෙරිකානුවන්ට ඔවුන් කල්ලන් වීම නිසා මුහුණ දෙන්නට සිදුව ඇති සමාජ අසාධාරණය ගැන යටපත්ව තිබූ විරෝධය අලුතෙන් පණගැහී ආවේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදුවූයේ ඔහු කළු ජාතිකයකු වීම අපරාධයක් යැයි සිතන සමාජයක් තිබීම නිසා යැයි ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නුවර පල්ලියේදී ඔහුගේ අවමංගල්‍ය උත්සවය පැවැති අවස්ථාවේදීද ශෝකය පළකළ කථිකයෝ පුනපුනා කීහ. මේ අවස්ථාවේ කතාකළ ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක වන බෘක් විලියම් ප්‍රකාශ කළේ කළු ජාතිකයන්ට අසාධාරණයක් සිදුවන ලෙස සකසා ඇති නීති වෙනස් විය යුතු බවයි.
මේ සමාජ ක්‍රමය දූෂිත වී කැඩී බිඳී පවතින්නේ ඇයි? නීතිය සකසා ඇත්තේ අප්‍රිකානු - අමෙරිකානු සමාජ ක්‍රමය බිඳදැමීම සඳහායි. මේ නීති වෙනස් විය යුතුයි. තවත් මෙවැනි අපරාධ සිදුනොවිය යුතුයි. අමෙරිකාව විශිෂ්ට රටක් කිරීමට කරුණාකර පියවර යොදන්න. අමෙරිකාව විශිෂ්ටත්වයට පත්වන්නේ කවදාද? යැයි ඇය අවමංගල්‍ය උත්සවයේ කතාවක් පවත්වමින් කීවාය. ඩිමොක්‍රටික් ජනාධිපති ධූර අපේක්ෂක ජෝ බීඩන් මේ අවස්ථාවේදී වීඩියෝ පණිවිඩයක් එවමින් අවමංගල්‍ය උත්සවය ඇමතීය. “ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටුකරන්නේ කෙසේදැයි අප විමසිලිමත් වෙනවා. අප සැබැවින්ම අමෙරිකාවේ වාර්ගික යුක්තිය ඉටු කිරීමට කැප වෙනවා යැයි බීඩන් මේ අවස්ථාවේදී කීවේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොයිඩ් ගැන නින්දිත ප්‍රකාශ සිදු කළැයි කියමින් බීඩන් මෙහිදී ට්‍රම්ප්ව විවේචනය කිරීමද සිදුකළේය. 

නමුත් මේ අතරම ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට වගකිවයුතු පොලිස් නිලධාරී ඩෙරික්  ඩොලර් 125000ක ඇපයක් මත නිදහස් විය.

ඔහුට මෙතරම් ඉහළ ඇපයක් නියම කිරීමට සිද්ධියේ බරපතලකම සහ රටපුරා නැඟුණු මහජන විරෝධය හේතුවිය. ඩෙරික් චෝවින් දෙවැනි මට්ටමේ මිනීමැරුම් චෝදනාවලට මුහුණදී සිටී. ඔහු සමඟ සිද්ධිය වන අවස්ථාවේ සිටි තවත් පොලිස් නිලධාරීන් තිදෙනකුටද මිනී මැරීමට ආධාර කිරීම සහ අනුබල දීමේ චෝදනා නැඟී ඇත. මිනිත්තු 15ක කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව චාවින්ට නියම කළ ඇප මුදලට ඔහුගේ නීතිඥයා එකඟ වූ බව සඳහන් වේ. අමෙරිකා පොලිස් සේවයේ වසර 19ක සේවයක් සම්පූර්ණ කර ඇති 44 හැවිරිදි මෙම පොලිස් නිලධාරියා ජූනි 29 වැනිදා නැවතත් අධිකරණයට කැඳවීමට නියමිතය.

ෆ්ලොයිඩ්ගේ මරණය ලොව පුරා විරෝධතා රැල්ලක් ඇති කිරීමට හේතුවූවා පමණක් නොව පොලිස් ප්‍රතිසංස්කරණ ඇති කිරීමටද පෙළඹවීමක් ඇති කළේය. චෝවින් මිනිපොලිස්හි මහමඟකදී ෆ්ලොයිඩ් බිම හොවා ඔහුගේ ගෙල මත විනාඩි නවයක් පමණ දණහිස තබා තදකරගෙන සිට ඔහුගේ මරණය සිදුකළ අන්දම වීඩියෝවක සටහන් වී ඇත. මැයි 25 වැනිදා චෝවින් අත්අඩංගුවට ගත් අතර ඔහු සමඟ සිටි අනිත් පොලිස් නිලධාරීන් තිදෙනා සේවයෙන් පහ කෙරිණි.  

ෆ්ලොයිඩ්, ඝාතනයට එරෙහිව නැගූනු වර්ගවාදී වර්ණභේදවාදයට එරෙහි විරෝධය ඒ සම්බන්ධයෙන් අඳුරු අතීතයකට හිමිකම් කියනා එංගලන්තයද කැළඹුවේය. වර්ණභේදවාදයට එරෙහිව වීදි බට කණ්ඩායම් සංවිධානාත්මක ලෙස එරට ප්‍රධාන පෙළේ ප්‍රභූ චරිත ලෙස සැලකෙන 48 දෙනෙකුගේ ප්‍රතිමා බලෙන්ම ගලවා බිම ඇද දැමූහ. සමහර ප්‍රතිමා ගංගාවන්ට ඇද දැමූහ. වත්මන්  එංගලන්තය ගොඩනැඟීමේ කාර්යයට උරදුන් විවිධ ප්‍රභුවරුන්ගේ ප්‍රතිමා මේ අතර විය. ප්‍රමූඛතාවය ලැබී තිබුණේ එරට වහල් වෙළඳාමට සම්බන්ධ අතීත යටත් විජිත සමයේ  ලොකු ලොක්කන්ටය. ඔවුන්ගේ නමින් නම්කර තිබූ මාවත්වල නම්ද වසා දමා ඒවා වෙනස් කරන ලෙස විරෝධතාකරුවෝ බලකරති. එංගලන්තයේ සහ ලෝකයේ ප්‍රධාන පෙළේ පිළිගැනීමක් ඇති ක්‍රිස්ටෝපර් කොලොම්බස්, නෙල්සන් සාමි, මවුන්ට්බැටන්, දෙවෙනි චාල්ස් රජු ආදින්ගේ ප්‍රතිමාද ඒ අතර විය.
 

► සංස්කරණය:  සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05