2018 ජුලි 21 වන සෙනසුරාදා

චිත්‍රපටයට නැගුණු ලංකාවේ නායක චරිත

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළවූ දේශපාලන නායකයන්ගේ චරිත ආශ්‍රය කොටගෙන නිර්මාණය වූ සිනමා නිර්මාණ දෙකක රූගත කිරීම් මේ වන විට අවසන් කොට හමාරය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වූ ඩී.එස්. සේනානායක චරිතය කේන්ද්‍රය කොටගෙන සුනෙත් මාලිංග විසින් අධ්‍යක්ෂණය කළ නිදහසේ පියා ඩී.එස් සිනමා නිර්මාණයත් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ජීවිතය අළලා නිර්මාණය වූ ගින්නෙන් උපන් සීතල නම් සිනමා නිර්මාණයත් මේ වන විට චිත්‍රපට ප්‍රදර්ශනය වීමේ පෝලිමට එකතු වී හමාරය. ඉතා අභියෝගාත්මක ලෙස අධ්‍යක්ෂණය වූ මෙම සිනමා නිර්මාණ දෙකෙහි අධ්‍යක්ෂකවරැ තම නිර්මාණයන් පිළිබඳව දැක්වූ අදහස් අනුව මෙම ලිපිය සැකසී ඇත.

නිදහසේ පියා ඩී.එස්.

දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සම්බන්ධව සිනමා නිර්මාණයක් කිරීමට මුල්ම සිතුවිල්ල පහළ වූයේ සුනෙත් මාලිංගටය. සැබැවින්ම එය අභියෝගාත්මක නිර්මාණයකි. වර්තමානයේ බිහිවන චිත්‍රපට රටාවට අධ්‍යක්ෂකවරයකු ලෙසින් සුනෙත් අකමැති විය. පවතින රැල්ලට චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවාට වඩා වෙනස් වූ සිනමා නිර්මාණයක් කිරීමට නිතර සුනෙත් උනන්දු විය. ඒ අනුව ඔහු ඩී.එස්. සේනානායක වෙනුවෙන් චිත්‍රපටයක් කිරීමට උත්සුක විය.

ඒ වන විට වෙනත් බොහෝ රටවල් ඔවුන්ගේ රට නියෝජනය කළ දේශපාලනඥයන් සම්බන්ධව සිනමා නිර්මාණ බිහිකළද අප රටේ දේශපාලනඥයකු වෙනුවෙන් එවැනි නිර්මාණයක් බිහිවී නොතිබුණි. විශේෂයෙන් මහත්මා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි වැනි ඒ රටේ නායක නායිකාවන් පිළිබඳව බොහෝ චිත්‍රපට නිෂ්පාදනය විය. මේ නිසා අපේ රටේ දේශපාලන නායකයකු වෙනුවෙන් නිර්මාණය කළ මුල්ම අඩිතාලම දැමීමට සුනෙත් උනන්දු විය. ඒ නිදහසේ පියා ඩී.එස්. සිනමා නිර්මාණය තුළිනි.
ඔහුට අවශ්‍ය වූයේ ලංකාවේ ප්‍රථම අග්‍රමාත්‍ය වූ ඩී.එස් සේනානායක චරිතය කේන්ද්‍රය කොටගෙන නිදහස මෙරටට ලැබුණු ආකාරය පිළිබඳව නිර්මාණයක් ගොඩනැගීමටය. මෙම චිත්‍රපටය ඩී.එස්. සේනානායක ජීවිත කතාවම අළලා සැකසූවක්ම නොවේ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් නායකයන් එක්ව මෙරටට නිදහස ගෙන ආ ආකාරය අළලා මේ චිත්‍රපටය නිර්මාණය විය.

මේ අනුව 2015 ඔක්තෝබර් මස 20 වැනිදා ඩී.එස්. සේනානායක මහතාගේ උපන් දිනය දා සුනෙත් තම සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කළේය. මේ අවුරුදු තුන පුරාවටම සුනෙත්ගේ සම්පූර්ණ කාලය කැප කරන ලද්දේ මේ සිනමා නිර්මාණයටය. ශ්‍රී ලංකාවේ ජාතික දිනය යෙදෙන සෙබරවාරි 04 වැනිදාට මෙරට රූපවාහිනිය තිරය ඔස්සේ පෙන්වීමට හැකි සුදුසු චිත්‍රපටයක් මෙතෙක් නොමැත. මේ නිසා සුනෙත් ඇතුළු කණ්ඩායමේ බලාපොරොත්තුව වන්නේ මෙය සිනමා ශාලාවල පෙන්වීමෙන් අනතුරුව අනාගතයේදී සෑම පෙබරවාරි 04 වැනිදාවකම රෑපවාහිනිය තිරය ඔස්සේ මෙම චිත්‍රපටය මෙරට සෑම පුරවැසියකුටම දැකබලාගැනීමට සැලැස්වීමය. නමුත් ඒ සඳහා තව වසර කිහිපයක්ම ගතවනු ඇත.

චිත්‍රපටය ආරම්භ කිරීමටත් පළමුව මෙය විශාල අභියෝගාත්මක අවස්ථාවක් බව සුනෙත් දැන සිටියේය. නිෂ්පාදකයන් සොයාගැනීමේදීත්, මේ සම්බන්ධව විවිධ විවේචනය කරන පුද්ගලයන් හමුවේත් සුනෙත් විශාල අභියෝගවලට අධ්‍යක්ෂකවරයකු ලෙස මුහුණ දුන්නේය. ඒ බාහිර අභියෝග හමුවේ තවත් ප්‍රබල අභියෝගයක් සුනෙත් මැදිවිය. ඒ මේ චරිතවලට සමීප මුහුණුවර ඇති නළු නිළියන් තෝරාගැනීමේ අභියෝගයයි. මුහුණුවර පමණක් නොව ඒ කතා විලාසය, මේ සෑම දෙයක්ම අභියෝග විය.

සුනෙත් ඇතුළු කණ්ඩායම මේ චිත්‍රපටය රූගත කිරීම් සඳහා දර්ශන තල බැලීමට දින දාහතරක් පමණ මුළු රට පුරා සැරිසැරූහ. ඔවුන්ට ඒ සඳහා හිතට දැනෙන දර්ශන තල අවශ්‍ය විය. මෙතරම් දින ගණනාවක් දර්ශනතල වෙනුවෙන් වෙනත් සිනමා නිර්මාණවලට මහන්සි වන්නේද නැත. චිත්‍රපටය වෙනුවෙන් තුන්දාහක් පමණ ඇඳුම් මැසීමටද සිදුවිය. කෝට්වලින් සමන්විත ඇඳුම් කට්ටල තුන්සිය ගණනක් මැසුවෝය. කාල පරිච්ඡේද තුනක පොලිස් නිලධාරීන්ගේ ඇඳුම් වර්ග තුනක් මැසුවෝය. මේවා ලෙහෙසි පහසු කටයුතු නොවේ.

මෙම චිත්‍රපටය 1912 සිට 1952 දක්වා අවුරැදු හතළිහක කාල පරාසයක් තුළ දිවෙන අතර සේනානායක චරිතයේ කුඩා කාලයත්, තරුණ අවධියත් චිත්‍රපටය අතරතුරේදී පෙන්වයි. මේ නිසා විශාල කාල වකවානුවක් තුළ රටේ තිබුණු විවිධ ඇඳුම් පැළඳුම් පිළිබඳව අධීක්ෂණය කිරීමට සිදුවිය. නාගරික ඇඳුම් පැළඳුම් මෙන්ම ග්‍රාමීය ඇඳුම් පැළඳුම් පිළිබඳවද ඔවුන්ට අවබෝධයක් ලබාගැනීමට සිදුවිය. මේ චිත්‍රපටය පුරාම සිංහල. දෙමළ, ඉන්දියානු චරිත රඟ දැක්වෙයි. මෙම චිත්‍රපටයේ ඉන්දියානු දර්ශනයක් රූගත කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ඉන්දියානු පසුතල සැකසීමටත් ඇඳුම් පැළඳුම් සැකසීමත් අභියෝග විය. නමුත් ඔවුහු ඒ අභියෝග සියල්ල කෙසේ හෝ ජයග්‍රහණය කළහ.

නිදහසේ පියා ඩී.එස් චිත්‍රපටයේ රෑගත කිරීම් කොටස් දෙකකට අනුව බෙදිණි. මුලින්ම ඔවුන් රෑගත කිරීම් කළේ මීරිගම අවට දවස් දාහතරකි. ඉන් පසුව රන්මිණිතැන්න දවස් දහයක රූගත කිරීම් සිදුවිය. පළමු කොටසේ අවසානය රූගත කිරීම මහනුවර ප්‍රදේශයේ සිදුකෙරුණු අතර එය දවස් දහයකට සීමාවිණි. දෙවැනි කොටස රූගත කිරීම් ආරම්භ වූයේ දින හයක අනුරාධපුර රූගත කිරීම්වලිනි. අවසානයේදී කොළඹ දවස් පහක රූගත කිරීම් කෙරුණි.

ඇතැම් චිත්‍රපටවල චරිත සඳහා තරුණ අවධිය සහ මැදිවියේ අවදිය සඳහා එක් රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක යොදාගත්තද වේෂ නිරෑපණයෙන් එම අවදි වෙන්කොට පෙන්නුවද සුනෙත් ඇතුළු කණ්ඩායමට මේ අවදි දෙක පෙන්වීමට නළුවන් දෙදෙනකු යොදාගැනීමට අවශ්‍ය විය. ඩී.එස්. සේනානායකයන්ගේ මැදිවිය කාලයේදී ඡායාරූප බොහොමයක් සුනෙත් ඇතුළු කණ්ඩායමට සොයාගත හැකිවුවද ඩී.එස්. මහතාගේ තරුණ අවධියේ ඡායාරූප ඔවුන්ට සොයාගත හැකිවූයේ ඉතාමත් අල්ප සංඛ්‍යාවකි. ඒ අතර ඩී.එස්. සේනානායකගේ විවාහ උත්සවයේ ඡායාරූපයත්, එයට පෙර ඔහු මල්ලව පොර ක්‍රීඩාවේ නියැලෙද්දී ගත් ඡායාරූප කිහිපයකුත් ඔවුන්ට සොයාගත හැකිවිය. ඒ ඡායාරූපවලට අනුව සුනෙත්ට එකවරම මතකයට නැගුණේ අප රටේ දක්ෂ රංගන ශිල්පියකු වූ තුමිඳු දොඩම්තැන්නය. ඔහු ඩී.එස්. සේනානායකයන්ගේ තරුණ මුහුණුවරට බොහෝ සමීප විය. එමෙන්ම ඩී.එස්. සේනානායකයන්ගේ මැදිවිය කාලය සඳහා ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පියා යොදාගැනීමට මෙම කණ්ඩායම තීරණය කළේය.

නමුත් ලක්ෂ්මන් සහ තුමිඳු මේ සඳහා එකවරම කැමැත්ත පළ නොකළහ. ඒ වෙනුවෙන් තීරණයක් ගැනීමට ඔවුහු කල් ගත්හ. තුමිඳු දින හතරකට පසුව ධනාත්මක උත්තරයක් ලබාදුන් අතර ලක්ෂ්මන් සතියකට පසුව තම රංගනයට කැමැත්ත පළ කළේය. මොවුන් දෙදෙනා මේ චරිත රඟපෑමට යම්හෙයකින් අකමැති වුවහොත් ඒ සඳහා සමාන මුහුණුවර තිබූ වෙනත් රංගන ශිල්පියකු සුනෙත්ට මතකයේවත් තිබුණේ නැත. වාසනාවට මෙන් ලක්ෂ්මන් සහ තුමිඳු නිදහසේ පියා ඩී.එස් දැවැන්ත සිනමා නිර්මාණයට තම රංගනයෙන් දායක වීමට කැමැත්ත පළ කළහ. ඩී.එස්. සේනානායකයන් අඩි 6.2 උසය. ඒ හා සමාන උසක් තුමිඳුගේත් ලක්ෂ්මන්ගේත් තිබුණි.

චිත්‍රපටය රූගත කරද්දී අපූරු අත්දැකීම් රැසකට සුනෙත් ඇතුළු කණ්ඩායම මුහුණ දුන්නේය. අනෙකුත් චිත්‍රපට රූගත කිරීමේදී සාමාන්‍යයෙන් දර්ශනතලවලට ගිය විටදී උදෑසන අට නවය වන විට රූගත කිරීම් ආරම්භ කිරීම සාමාන්‍යය. නමුත් මෙම චිත්‍රපටය රූගත කිරීම් කරන විටදී ඇතැම් දිනවලදී සවස තුන හතර පමණ වනතුරු රූගත කිරීම් ආරම්භ කිරීමට නොහැකිව බලා සිටීමට සිදුවුණු අවස්ථාද තිබුණි. එයට හේතුව වන්නේ විශාල පිරිසකට කිහිපදෙනකු විසින් වේශනිරූපණ කටයුතු සිදුකිරීමට පැවරී තිබීමය. මේ සඳහා දිගු කාලයක් සහ විශාල වෙහෙසක් වේෂනිරූපණ ශිල්පීන්ට වැය කිරීමට සිදුවිය.

සුනෙත් ඇතුළු කණ්ඩායම මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරද්දී විවිධ පුද්ගලයන්ගේ චෝදනා එල්ල වුණි. ඩී.එස්. සේනානායක මහතාගේ චරිතයට හානි කරන්නට යන බවට ඇතැම්හු චෝදනා කළෝය. මුහුරත් උළෙලට ආරාධනා කළද ඩී.එස්. සේනානායක පවුලේ කිසිදු සාමාජිකයෙක් එයට සහභාගි නොවූහ. කෙසේ හෝ අවසානයේදී බොහෝ අභියෝග මැද සුනෙත් නිදහසේ පියා ඩී.එස්. සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කොට අවසාන කළේය. ඔවුන් පළමුවෙන්ම මෙම චිත්‍රපටය නැරඹීමට ඇරියුම් කළේ ඩී.එස්. සේනානායකයන්ගේ පවුලේ සාමාජිකයන්ටය. ඒ අනුව ඩී.එස්. සේනානායකයන්ගේ මෙන්ම එෆ්.ආර්. සේනානායකයන්ගේ නෑදෑයෝද මෙම චිත්‍රපටය නැරඹූහ. මේ නිර්මාණය පිළිබඳව ඔවුන්ගේ ඉහළ සතුට පළ විය.

ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ ජීවිතේ තිබූ සියුම් තැන් පවා හරි අපූරුවට සුනෙත් ඇතුළු පිටපත් රචකයන් විසින් මෙම සිනමාවට එකතු කර තිබිණි. ඩී.එස්. සේනානායකයන්ට ඔරලෝසුව වයින් කිරීම අමතක වීමේ පුරුද්දක් තිබුණි. එමෙන්ම හැමදාම උදෑසන තම අශ්වයා පැද ආපසු එන ඩී.එස්.ට තම ගෙවත්තේ තිබූ ඕකිඩ් මල් යායෙන් ඕකිඩ් මලක් කැඩීමේ පුරුද්දක් තිබුණි. ඔහු සෑම දිනකම එය ඔහුගේ කෝට් එකේ පැළඳ ගත්තේය. ඒ හැම දෙයකින්ම පවුලේ අය බොහෝ සතුටු වූහ. 

මේ චිත්‍රපටයට මුලින් යොදා තිබූ නම වන්නේ දොන් ස්ටීවන්ය. කෙසේ වුවද අවසානයේ දොන් ස්ටීවන් නම වෙනුවට සුනෙත් මෙම චිත්‍රපටය නිදහසේ පියා ඩී.එස් ලෙසින් නම් කළේය.

මේ වන විට නිදහසේ පියා සිනමා නිර්මාණයේ වැඩ කටයුතු සියල්ලම අවසන්ය. මෙම දැවැන්ත සිනමා නිර්මාණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ප්‍රේක්ෂකයන්ට දැකබලාගැනීමට හැකිවනු ඇත.

ගින්නෙන් උපන් සීතල සිනමා නිර්මාණය ලබන සතියෙන්

 දිශානි ජයමාලි කරුණාරත්න