2018 අප්‍රේල් 13 වන සිකුරාදා

අලුත් අවුරුද්දට ගැටගැසුණ හරබර හෙළබස

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 511

සිංහල අලුත් අවුරුද්ද අපේ සංස්කෘතියේ මුදුන් මල්කඩක් බඳු උත්සවයකි. අතීතයේ සිට පැවතෙන හෙළ චාරිත්‍ර වාරිත්‍ර සියල්ල එක්තැන් කොටගත් සිංහල අලුත් අවුරුද්දෙන් අපි සමරන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සැපත්වීමේ සුබ මොහොතයි. ජනවාරියේදී ලෝකයට අවුරුදු එළඹුණත් අපට අපේ සංස්කෘතියට අවුරුද්ද උදාවන්නේ බක් මහේදී වන්නේ එබැවිනි. සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු සංස්කෘතිය පිළිබඳ කතාබහේදී සිංහල භාෂාව අලුත් අවුරුද්ද හා ගැටගැසී තිබෙන ආකාරය පිළිබඳ හරබර සංවාදයක නියැළීමට අපි මහැදුරු ජේ.බී. දිසානායකයන්ගේ නි‍වසට ගොඩවීමු. 

ආ ගිය තොරතුරු කතාබහෙන් අනතුරැව අපි අවුරුද්ද හා සිංහල භාෂාව ගැන කතාබහට අවතීර්ණ වීමු. 

අවුරුද්ද කියන වචනෙ සිංහල භාෂාවට ඇවිත් තියෙන්නෙ සංස්කෘත භාෂාවේ සංවත්සර කියන වචනය හරහායි. අවුරුද්ද ගැන එක එක අය විවිධ නිර්වචන දීලා තියෙනවා. හැබැයි ශබ්ද කෝෂවලට අනුව අවුරුද්ද කියන්නෙ සංවත්සරය. අපේ රටෙන් බිහිවෙච්ච විශිෂ්ට වාග් විද්‍යාඥයෙක් වන ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහාචාර්යවරයා ලියූ සිංහල භාෂාව පිළිබඳ නෛරුතික වාග් ශබ්ද කෝෂය කියන පොතේ සඳහන් වන්නේ එහෙමයි.

එම වාග් විද්‍යා ග්‍රන්ථයට අනුව අවුරුද්ද යන වචනය සංවත්සර, සංවච්චර, සවුරුදු, හවුරුදු ආදී වශයෙන් බිඳී ආවකි. 

අවුරුද්ද යන වචනය එසේ ඇතිවූවක්යැයි සැළකිය හැකිමුත් පසුකාලීනව ඒ පිළිබඳ විවිධ අර්ථකථන නොයෙක් දෙනා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ද මහාචාර්ය දිසානායක පෙන්වා දුන්නේය.

“අව්වෙ සැර හින්දා රුදු අව් කියන වචන දෙක එකතුවෙලා අවුරුද්ද හැදුණා කියලත් සමහරු කියනවා. ඒ අපි දෙන නිරැක්ති මිසක් භාෂාවේ එන හැබෑ නිරුක්තිය නෙමෙයි. උදාහරණෙකට අම්බලන්ගොඩ කියන වචනෙ ගත්තම සමහරු කියනවා අම්බලන්+ගොඩ කියන වචන දෙක එකතු වෙලා ඒක හැදුණා කියලා. තවත් සමහරු කියනවා ආන්+ බලන්+ ගොඩ කියන වචන එකතු වුණා කියලා. ඒවා සේරම ජනතාව දෙන නිරුක්ති පමණයි. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි අවුරුද්ද කියන වච‍නෙට එහෙම ජන පද නිරුක්ති හොයන්න ඕනෙ නෑ. ඒ වචනේ සංස්කෘත සංවත්සර වචනෙන් ආවා කියලා පැහැදිලියි.

අවුරුද්ද යන වචනයේ මුල හොයාගත හැකි වුවද අලුත් යන වචනය කොහේ සිට පැමිණියේද යන්න පිළිබඳ ස්ථීර මතයක් නොමැති වීම ද විශේෂත්වයකි. අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රාන්ති වීම ය. එනිසාම සංක්‍රාන්තිය යනු අලුත් අවුරුදු සමයේ නිතර දෙවේලේ කන වැකෙන වචනයකි. 

ගමේ ඈයෝ සංක්‍රාන්තිය වෙනුවට සංගිරාන්දිය, සංග්රාන්දිය වගේ නොයෙකුත් වචන පාවිච්චි කරනවා. ඒ තමන්ගේ උච්චාරණ පහසුව අනුවයි. හැබැයි විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි තායිලන්තයෙත් මේ උත්සවය මේ විදිහටම සමරනවා. ඒකට ඔවුන් කියන්නේ ‘සොංක්‍රන්ට්’ කියලායි. ඒකට හේතුව තමයි තායි භාෂාවට වැඩියෙන්ම බලපාලා තියෙන්නේ පාලි භාෂාව වීම.

නොනගතය යන වචනයේ අරුත නැකැත් නොමැති කාලය යන්නයි. එනම් සූර්යයා මේෂ රැසේ සිට මීන රැස දක්වා ගමන් කරන කාලය සූර්යයා මේෂයටවත් මීනයටවත් අයත් නොවන කාලයකි. එනිසා ඒ කාලයේ නැකැත් නැත. නැකැත් නැති නිසා එයට නොනගතය යැයි නම් තබා තිබේ. 

නැකැත් නැහැ කියන්නේ වැඩ කරන්න බැහැ කියන එකයි. වැඩ කරන්න බැරි වෙලාවට කරන්න තියෙන්නේ සෙල්ලම් කරන එකයි, පිං කරන එකයි විතරයි. ඒකයි මේකට පුණ්‍ය කාලය කියන්නෙ

මහාචාර්යවරයා තවදුරටත් පැහැදිලි කර දුන්නේය. 

නැකැත යන වචනය හැදෙන්නේ නක්ෂත්‍ර යන වචනයෙනි. පාලියෙන් එය නක්කත්ථ වේ. මුලදී එය නකත් ලෙස භාවිතයට ගැනුණු අතර පසුව නැකැත් ලෙස ව්‍යවහාරයට එක්විය. අතීතයේ නැකැති නමින් කුලයක් පවා සිටියේ මේ නැකැත් ශාස්ත්‍රය දන්නා පිරිස් නිසාවෙනි. පෙර සිංහල රජ දවස නැකැති කුලයේ ජනතාව යනු ගමේ ගෞරවයට පත් වූ ජන කොටසකි. නැකැතියා, ගණිතයා වැනි වචනවලින් හැඳින්වූ මේ ජනතාව සිංහල අලුත් අවුරුදු කාලයට නැකැත් සෑදීමේ කටයුත්තේ නිරත වූ අතර හොඳ ගණිත ඥානයකින් හෙබි ජනතාවක් ද වූහ. 

ඉස්සර අවුරුදු කාලෙට ගමේ ඉන්න කුඹල්කරුවෝ ගමේ වලව්වලට ගොඩවෙනවා. ඇයි ඉතින් අවුරුද්දට අලුත් හැළි වළං ඕනෙන. හැබැයි කුඹල් වැඩ කරපු අයට ගමේදි කිව්වේ පණ්ඩිතයා කියලයි. අපේ අත්තත් මහගෙදරට ආපු කුඹල් වැඩකරපු මනුස්සයට කොහොමද සිරිමල් පණ්ඩිතයෝ කියලා කතාකරනවා මට මතකයි. ඔය පණ්ඩිතයට ඒ දණ්ඩෙ යන්න බෑ කියන එක හැදිලා තියෙන්නෙත් මම හිතන්නෙ වළං කදක් ගත්තු මිනිහට ඒ දණ්ඩෙ යන්න බෑ කියන අදහසින් වෙන්න ඕනෙ.

අලුත් අවුරුද්ද උදාවෙන්නේ අප්‍රේල් මාසයේදීය. සිංහල මාස ක්‍රමය අනුව අප්‍රේල් යනු බක් මාසයයි.

බක් කියන්නේ භග් එහෙමත් නැත්නම් භාග්‍යමත් කියන එකයි. භාග්‍යවන්ත මාසෙ තමයි බක් මාසෙ කියලා හඳුන්වන්නෙ.  පාලියෙන් භාග්‍යය හඳුන්වන්නේ භග් කියලයි. සීගිරි කුරැටු ගී අතර ‘නව භග් ළසඳු’ කියලා සඳහන් වෙනවා.  අලුත් බක් සඳ කියන එකයි ඒකෙ තේරුම.

අවුරුදු කාලයට ඇසෙන තවත් වචන පෙළක්ම වේ. ඒ කැවුම්, කොකිස්, අග්ගලා, අතිරහ, මුං කැවුම් ආදියයි. මේ අතර එකම කැවිල්ලට ලංකාවේ විවිධ පළාත්වල විවිධ නම් භාවිත කරන අයුරැද දැකගත හැක. 

උදාහරණයකට පැණි වළලු නම් රසකැවිල්ලක් ඇති අතර ඒවා උඳු පිටියෙන් හදනා නිසා ඇතැම් අය ඒවා හඳුන්වන්නේ උඳු වළලු කියාය. ලැවරියා යැයි ජනප්‍රිය කැවිල්ල තවත් අයෙකු හඳුන්වන්නේ වෙල්ලවැහුම් කියාය. සව්දොදොල් කියන්නේ ද වැලිතලපවලටම ය. පුළුප් භෝජන යනු ආස්මීය. දැල්පූ ද ආස්මීවලට භාවිත කරන තවත් වචනයකි. පූ යනු කැවුම් ය. දැල් සහිත කැවුම යන අර්ථයෙන් ආස්මීවලට දැල්පූ කියා භාවිතා කෙරේ. 

කොකිස් යනු ඕලන්ද භාෂාවෙන් සිංහල වහරට එකතු වූවකි. ඕලන්දකරයන් ලංකාවට ආ පසු මෙහි ඇතිවුණු බව සඳහන්වන කොකිස්වලට ඒ නම ලැබුණේ බටහිර සාදන කුකීස් අනුව යමින් බව ද කියැවේ. දෝසි යනු පරංගි වචනයකි. 

නැකැත් චාරිත්‍රයට අනුව ළිපි ගිනි මෙලවිය යුත්තේ ළිප් බැඳීමෙන් පසුය. ළිප් බැඳ ගිනි මොලවා යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙන්නේ එනිසා ය. ඉස්සර කාලේ ළිප් ගල් තුන වට කරලා මැටියෙන් ගොමවලින් හදපු මිශ්‍රණේකින් බඳිනවා. අවුරුද්දක් යන තැන ඒකෙ මැට්ටට තුවාල වෙලා තියෙන්න පුළුවන් නිසා සුද්ධ කරලා අලුතින් මැටි බඳිනවා. ඕකට තමා ළිප් බඳිනවා කියන්නෙ.

අවුරුදු සමය යනු කෙළි සෙල්ලම්වලින් පිරැණු කාලයකි. ඒ කෙළිසෙල්ලම් වලදීද භාවිතා වන අපූරු වචන තිබේ. පංච දැමීම යනු අවුරැදු කාලයටම අවේණික වූ ක්‍රීඩාවක් වැන්න. එහෙත් මහාචාර්යවරයාගේ මතකයට අනුව ඔහුගේ ගම්පළාත වන කෑගල්ල ප්‍රදේශය එම ක්‍රීඩාව හඳුන්වන්නේ දොළහ දානවා යනුවෙනි. ඔංචිල්ලාව යනු උන්චිල්ලා යන දෙමළ වචනයෙන් බිඳී ආ වචනයකි. 

කොප්පර කොප්පර පිපිඤ්ඤා කියන්නේ පෘතුගීසි වචනයක් වෙන්න ඕනෙ. කං කං බූරූ - සිං සිං ඥෝරැ කියන්නෙත් පරංගි වචන. කං කං කියන්නේ කානේ කානේ කියන එකයි. පරංගි භාෂාවෙන් කානේ කියන්නේ බල්ලා. ඉතින් එක් කෙනෙක් කියනවා බල්ලනේ බල්ලනේ බූරුවනේ කියලා. සිං සිං ඥෝරු කියලා අනිත් කෙනා කියනවා. ඒකෙ තේරැම තමා ඔව් ඔව් මහත්තයා. එහෙම කිව්වම ආපහු අහනවා, මං කියන දේ අහනවද කියලා. ඒ විදිහටයි ඒ ක්‍රීඩාව සිද්ධ වෙන්නෙ.

මේවර කෙළිය නමින් ද ගැමි ක්‍රීඩාවක් තිබේ. එය කාන්තාවන්ටම විශේෂ වූ ක්‍රීඩාවකි. තමන්ගේ නැතිවූ මේවරය දැක්කාදැයි එක් පිරිසක් අසද්දී එය තමන් නුදුටු බව අනෙක් පිරිස කියයි. එසේ තාලය, රිද්මය කැටිකරගත් ක්‍රීඩාවක් ලෙස මේවර කෙළිය හඳුන්වන අතර මේවරය යනු වළල්ලක් විය යුතුය. 

මෙසේ සිංහල භාෂාව සහ අලුත් අවුරුද්ද අතර තියෙන සම්බන්ධය පිළිබඳ රසවත් තොරතුරැ රැසක් සමඟින් අපි මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ට සමුදුනිමු.  

 රජිත ජාගොඩ ආරච්චි 
සේයාරුව / සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05