ත්‍රිකුණාමලයට යන කවුරුත් නොවරදවාම යන පුරාවිද්‍යා ස්මාරකයකි, ලන්දේසි බලකොටුව. බලකොටුව තුළට ගොස් එහි මතුපිට සුන්දරත්වය නරඹන වැඩි දෙනෙක් මේ තුළ සැඟවුණු රහසිගත අතීතය ගැන උනන්දුවක් නොදක්වති. අපට මතුපිටින් පෙනෙන දෙයට වැඩියෙන් සැඟවුණු රහස් ලන්දේසි බලකොටු තුළ පවතින බව ගාල්ල බලකොටුවෙන් ද පැහැදිලි විය. ඒ මෑතකදී එහි රහස් කුටි සොයා ගැනීමත් සමඟයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පසුගිය ත්‍රිකුණාමලය බලකොටුවේ යුද අට්ටාලයක කැණීම් සිදු කළේය. එහිදී මෙතෙක් කිසිවකු දැන නොසිටි භූගත කාමරයක් සොයා ගැනීමට ඉඩ ලැබිණි. එයට හුණු ආශ්‍රිත කොන්ක්‍රීට් මිශ්‍රරණයක් භාවිත කර තිබේ. එය ආරුක්කු හැඩයෙන් යුත් ඉදිකිරීමකි.
ඉංග්‍රිසීන් 1796දී ලන්දේසීන් සතු මුහුදුබඩ පළාත් යටත් කරගත් පසු ඔවුන්ගෙන් ලබාගත් බලකොටු ද තම අවශ්‍යතාවයන්ට ගැළපෙන සේ ප්‍රතිසංස්කරණය කෙරිණි. ඒ අනුව මෙම භූගත කාමරයට ඉහළින් කාල තුවක්කු රඳවා තැබීමට අවශ්‍ය අට්ටාලයක් ඉදිකර තිබෙන බව කැණීම්වලින් හෙළිවී තිබේ. එම අට්ටාලය සඳහා කුඩා චිප්ගල්, බොරළු ආදිය ඉංග්‍රිසීන් යොදාගෙන ඇති අතර එහිදී මුල් ආකෘතිය වෙනස් වී ඇත. දෙවැනි ලෝක යුද සමයේදී (1940 දශකයේ) භූගත කාමරයට පස් පුරවා වසාදමා සිමෙන්ති කොන්ක්‍රීට් භාවිතයෙන් නව කාල තුවක්කු අටල්ල නිර්මාණය භූගත කාමරය මතුකර ගත් අතර දිගටම එහි කැණීම් සිදුවේ. මෙම කාමරය කුමන කාර්යයක් සඳහා යොදා ගන්නේදැයි මෙය පැහැදිලි නැත.
ත්‍රිකුණාමලය නගරයේ ආකර්ෂණයට හේතුවක් වී තිබෙන බලකොටුව ශාන්ත පේද්‍රික් හෙවත් ඩියුක් ආදිපාද බලකොටුව ලෙස හැඳින්වේ. කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එය නගරයේ උසම ස්ථානයේ පිහිටි ස්වාමි කන්ද ආශ්‍රය කර ගනිමින් කළ ඉදිකිරීමකි. බලකොටුව පිහිටි භූමිය ඓතිහාසිකව ඉතා වැදගත්ය. මෙහි ගෝකන්න නමින් බෞද්ධ විහාරයක් විය. මහසෙන් රජු (ක්‍රි.ව. 275 - 301) විසින් මෙම ස්ථානයේ තිබූ ජෛන නිගණ්ඨාරාමයක් කඩා දමා ගෝකන්න විහාරයේ ධර්ම ශාලාවක් ඉදිකර තිබේ.
පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කර ගෙන බලකොටු ඉදිකරීමේ දී ත්‍රිකුණාමලය ද ඔවුන්ගේ අවධානයට ලක්විය. ත්‍රිකුණාමලයේ ගෝකන්න විහාරය ඇතුළු බෞද්ධ පුදබිම් විනාශ කර එහි බලකොටුවක් මුලින්ම ඉදිකරන ලද්දේ 1624දී කොන්ස්තන්තිනෝද සා නම් පෘතුගීසි ජෙනරාල්වරයා විසිනි. ත්‍රිකුණාමලයේ බෞද්ධ ප්‍රබෝධය වළ දැමූ ද සා එහි ඉදිකළ බලකොටුව ඔවුන්ගේ යුද මධ්‍යස්ථානයක් බවට පත්විය. ඒ පිළිබඳව ජොආඕ රිබෙයිරෝ නම් පෘතුගීසි ඉතිහාසඥයා මෙසේ සඳහන් කරයි. “ත්‍රිකුණාමලයෙහි ත්‍රිකෝණාකාර බලකොටුවක් විය. අයෝමය කාලතුවක්කු දහයකින් යුත් මුර අට්ටාල තුනක් සහිත බලකොටුව වරාය අසලින් මුහුදට නෙරා සිටි බිම්කඩක කඳුගැටයක් මත ඉදිවී තිබුණි. සෙබළුන් පනස් දෙනකු පිරිවරාගත් කපිතන්වරයෙක් එය බාරව සිටියේය. පල්ලියක් ද එහි ඉදිවී තිබුණු අතර දේවගැතිවරයෙක් ද සිටියේය. වෙඩි බෙහෙත් මෙන්ම වෙනත් ගබඩාද එහි විය.”
බලකොටුවට සිංහලයන්ගෙන් ද ප්‍රහාර එල්ල විය. වර්ෂ 1639 දී දෙවැනි රාජසිංහ රජු බලකොටුවට ප්‍රහාර එල්ල කළ බව සඳහන්ය. එලෙස විනාශ කළ බලකොටුව 1665දී ලන්දේසින් විසින් වඩාත් ශක්තිමත් කොට ඉදිකෙරිණි. බලකොටුවට ඇතුළුවන ද්වාරය 1675දී ඉදිකළ බව එහි සඳහන් කර තිබේ.
යටත්විජිත සමයේදී ඉදිකරන ලද ගොඩනැගිලි අදටත් මෙහි අතීතයට නිදසුන් සපයයි. ඒ අතර ඕලන්ද හමුදා නිලධාරීන්ගේ නිවාස, බැරැක්ක, අශ්ව ඉස්තාල හා වෙනත් කුටි පිහිටා තිබේ. කොටුව තුළ ස්ථාපිත කොටු තිබූ ලන්දේසි කාලතුවක්කු ප්‍රමාණය 14කි. ඉන් සමහරක් අදටත් දැකගත හැකිය.
ඉංග්‍රිසීන් විසින් මෙරටින් අල්ලාගත් පළමු බිම් කොටස වන්නේ ත්‍රිකුණාමලය කොටුවයි. ඔවුහු 1803 දී එහි සිටි හමුදා නායක ඩියුක් ආදිපාදවරයාගේ නම බලකොටුවට ලබාදුන්නාහ. එයට පෙර ලන්දේසින් එහෙම ලබාදී තිබුණේ ශාන්ත පේද්‍රික් යන නමයි. වර්තමානයේදී බලකොටුව සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇත. යුද හමුදාවේ දෙවැනි ගජබා රෙජිමේන්තුව මෙහි පිහිටුවා තිබේ. පැරණි ගොඩනැගිලි රාශියක් හමුදාවේ භාවිතයට යොදාගෙන තිබෙනු පෙනේ. එයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යලය. අතිරේක මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයක් ද පිහිටා තිබේ.
මෙම බලකොටුවේ අතීතය පිළිබඳ සාධක එහි වරින්වර කරන ලද පුරාවිද්‍යා කාණීම්වලදී මතුකර ගැනිණි. 16 වැනි සියවසට අයත් ද්‍රවිඩ සෙල්ලිපියක් කොටුවේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසළ බැම්මට තනා තිබේ. වර්ෂ 1945 දී විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති දෙකක් හා ක්‍රි.ව. 1223ට අයත් සංස්කෘති සෙල්ලිපියක් හමුවිය. එහි සඳහන් වන්නේ චෝඩගංගදේව නමැත්තකුගේ ගොඩබැසීම පිළිබඳවයි. බෞද්ධ හින්දු මූර්ති ද විටින් විට ඉන් හමුවී ඇත. කොටුව අසල මුහුදේ කිමිදෙන්නන්ට නම් මූර්ති ලැබී තිබේ.
දැනට සිදුවන මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම්වලින් ඉදිරියේදී වඩාත් කුතුහලය දනවන පුරාවස්තු ලැබීමට ද ඉඩ ඇත.
සේයාරූ :- ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
♦ කුසුම්සිරි