2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

ට්‍රම්ප්ට හැදූ පියාඹන ධවල මන්දිරය

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 100

 

ඩොනල්ඩ් ට්‍රම්ප් තව සති කිහිපයකින් ධවල මන්දිරයට යාමට නියමිතය. හතළිස් පස්වැනි ජනාධිපතිවරයා ලෙස එතැනට යන ඔහුට අහසින් යන ධවල මන්දිරයක්ද හිමිවෙයි. එය අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ නිල ගුවන් යානය ලෙස හඳුන්වන එයාර් ෆෝස් වන් ගුවන් යානයයි. ලෝකයේ ඇති අතිශය සුඛෝපභෝගී, දැඩිතර ආරක්ෂාවක් සහිත මේ ගුවන් යානය බෝයිං සමාගම මගින් නිපදවන ලද්දකි. මේ වනවිට බෝයිං 747 VC-25A වර්ගයේ ගුවන් යානා දෙකක් අමෙරිකානු ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බිමන් සඳහා වෙන්ව තිබේ. ට්‍රම්ප්හට අයිතිවන්නට යන්නේ මේ ගුවන් යානා දෙකය.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ ගමන් බිමන් උදෙසා වෙනම ගුවන් යානයක් වෙන් කළයුතු බවට සංකල්පය 1943 තරම් ඇතක ඉදිරිපත් වූවකි. නමුත් එය ක්‍රියාවට නැඟුනේ 1945 දීය. ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් එම වසරේ පෙබරවාරියේ පැවැති යාල්ටාවේ සම්මන්ත්‍රණයට රැගෙන යන ලද්දේ නවීකරණය කරන ලද AC-54 Skymaster වර්ගයේ ගුවන් යානයකිනි. නමුත් එවර එය හඳුන්වා තිබුණේ අමුතුම සංඥා නාමයකිනි. එය Scared cow යන අමුතු නාමයයි. අමෙරිකානු ජනාධිපතිවරයා රැගෙන යන ගුවන් යානයට Air Force one නිලනාමය ලැබුණේ හදිසියේ හටගත් සිද්ධියක් නිසාය.

ජනාධිපති ඩ්වයිට් ඩී අයිසන් හවර් රැගෙන යමින් තිබූ ලොක්හීඩ් කොලම්බයින් II (Columbine II) නමැති ගුවන්යානය ගමන්ගත් මාර්ගයට එම සංඥා නාමයෙන්ම හැඳින්වූ වෙළෙඳ ගුවන් යානයක් ඇතුළුවීමත් සමඟ හටගත් අලකලංචිය හේතුවෙනි. එතැන් සිට ජනාධිපතිවරයා ගමන් ගන්නා යානය වෙනම සංඥා නාමයකින් හඳුන්වා දිය යුතු බවට මතයක් ඉදිරිපත් වූ අතර එය ගුවන් හමුදාවේ අංක එක යන අදහසින් යුතුව Air Force one ලෙස හැඳින්වෙන්නට විය. එතැන් සිට විවිධ අමෙරිකානු ගුවන් සමාගම් මගින් නිෂ්පාදිත මෙම ජනාධිපතිවරයාට වෙන්වූ යානා එම නමින් හඳුන්වන්නට යෙදී තිබූ අතර එයට ලබා දී ඇති තවත් රහස්‍ය නමක් වන්නේ සුරදූතයා හෙවත් ඒන්ජල් යන්නය.

මේ කියන එයාර්ෆෝස් වන් හෙවත් සුරදූතයා සතුව සැබෑවටම දිව්‍ය ලෝක සැප සම්පත් තිබේ. ධවල මන්දිරයේ ඇති සුප්‍රකට ඕවල් කාමරය බඳු ජනාධිපති කාර්යාලයක්ද, සුඛෝපභෝගී කෑම කාමරයක්, තරුපහේ කුස්සියක්, ජනාධිපති සහ ආර්යාවට වෙන් වූ සුපිරි කාමර පද්ධතියක්, වරකට සියයකට ආහාර සැපයිය හැකි සේවාවක්, වෛද්‍ය කාර්යාලයක්, සාකච්ඡා කාමරයක් මෙන්ම පුවත්පත්කලාවේදීන් සඳහා වෙන්වූ වෙනම මැදිරියක්ද, කාර්ය මණ්ඩලය සහ විශේෂ ආරාධිතයන් සඳහා වෙනම කාමර පද්ධතියක්ද සහිත මෙහි සුවිශේෂී අට්ටාලයක්ද පවතී. මේ ගුවන්යානය එයටම සුවිශේෂී වූ සන්නිවේදන පහසුකම්වලින් යුක්තය. කාර්ය මණ්ඩල කාර්යාල දුරකතන 85ක් සහ රූපවාහිනී තිර 19කින්ද ෆැක්ස් පහසුකම් ආදියෙන්ද යුක්තය. මෙම සන්නිවේදන මධ්‍යස්ථානය තුළ ඇති වයර් ප්‍රමාණය පමණක් කිලෝමීටර් 376ක් දිගය. ජනාධිපතිගේ කාමර පද්ධතියට නාන කාමර පහසුව සහ ව්‍යායාම සඳහා ක්‍රීඩාගාර පහසුකමද ඇත.

ට්‍රම්ප්ට හිමිවන්නට යන එයාර්ෆෝස් වන් යානා දෙක බැරක් ඔබාමා විසින්ද එයට පෙර ක්ලින්ටන් ජනාධිපතිවරයා සහ බුෂ් ජනාධිපතිවරුන් දෙදෙනා විසින්ද භාවිතයට ගන්නා ලද අවුරුදු 25ක් පමණ භාවිතා කල යානාවන්ය. එසේ වුවද මේවා දැනට ලෝකයේ ඇති අධි සුඛෝපභෝගී යානා ලෙස දැක්විය හැකිය.

එම යානාවන්හි කාර්ය මණ්ඩලයේ 26ක් සහ එයට අමතරව මගීන් 76ක් සහිත සම්පූර්ණ මගීන් 102කට ඉඩකඩ පහසුකම් සැලසී තිබේ. යානයේ පසුපසම නිල් පලස ඇතිරූ ව්‍යාපාරික පන්තියේ සුවපහසු ආසන පැනැවූ කාමර පන්තියක් ජනමාධ්‍ය නියෝජිතයන් හට වෙන්ව තිබේ. එහි හැම ආසනයකටම පැතැලි තිර රූපවාහිනී යන්ත්‍ර සම්බන්ධය. නවතම චිත්‍රපටද ඇතුළත් චිත්‍රපට 20ක් තුළින් තමන් කැමැති චිත්‍රපටය තෝරා ගැනීමට ඔවුන්ට හැකිය. අති නවීන මාධ්‍ය පහසුකම් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දී තිබේ. ගුවන් යානයේ ඉදිරිපස ජනාධිපති හට වෙන්වූ කාමර පෙළය. එහි ද්විත්ව කවිච්චි දෙකකි. ඒවා අවශ්‍ය විටෙක සුවපහසු ඇඳන් බවට සකස් කරන්නට හැකිය. එක් බොත්තමක් එබීමෙන්ම මුළු කාමරයම ආවරණය කළ හැකිය. පරිගණක ක්‍රීඩා පහසුවද නවීන රූපවාහිනී යන්ත්‍රද සහිතය.

ගුවන්යානයේ ඉහළ අට්ටාලය පුරා ඇත්තේ ආරක්ෂක උපක්‍රම සහිත මැදිරිය. රේඩාර් අවුල් කර දමන උපකරණ, සයිබර් ආක්‍රමණ හඳුනාගත හැකි උපකරණ, තාප සංවේදී මිසයිල හඳුනාගැනීමේ පද්ධති මෙන්ම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකට වුව මුහුණදීමකදී පෘථිවියේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ඇමැතිය හැකි පහසුකම්ද එමගින් අමෙරිකාවේ න්‍යෂ්ටික අවි ආයුධ ගුවන් යානයේ සිට පාලනය කිරීමේ හැකියාවද මේ යානය සතුය. යානය එන්ජින් හතරකින් බලගැන්වී ඇත. අඩි හැටතුනහමාරක් උසය. අඩි 231ක් දිගය. යානය ගොඩබස්වන විට සහ ඉහළ නංවන සැමවිටම අධිබලැති රයිෆල රැගත් සිය දෙනකුගේ පිරිසක් අවට ආරක්ෂාව සඳහා යොදා තිබේ. ඒ හැර යානය තුළ කිසිදු ආයුධයක් රැගෙන යන්නේ නැත.

එයාර් ෆෝස් වන් යානයට උඩුගුවනේදීම ඉන්ධන හුවමාරු කළ හැකිය. මේ නිසා එයට දිගු කාලයක් ගුවනේ නොකඩවා රැඳී සිටීමට හැකිය. එයට පහසුවෙන්ම දින 5ක 6ක කාලක් ගත කළ හැකිය. යානය පත්ලේ ඇති ගබඩාවල කෑමවේල් 2000කට අවශ්‍ය ආහාර ගබඩාවක් තිබේ. යානය සාදා ඇත්තේ මිසයිල ප්‍රහාර මෙන්ම න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකින් නැගී එන විද්‍යුත් චුම්භක තරංගවලින්ද හානියක් සිදු නොවන සේ සවිබල ගැන්වූ විශේෂ ලෝහ වලිනි. යානයේ සිට ගොඩබිම ඕනෑම තැනකටත් ගුවන් ගත වෙනත් යානා වෙතටත් චන්ද්‍රිකා වෙතටත් පණිවුඩ හුවමාරු පහසුකම් පවතියි. එහෙයින්ම එයාර්ෆෝස් වන් යනු සුඛෝපභෝගී යානයක් පමණක්ම නොවේ. එය ඉගිලෙන පරිපාලන මධ්‍යස්ථානයක් මෙන්ම ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මකය. එයට පියාඹන ධවල මන්දිරය නම ලැබී ඇත්තේ එහෙයිනි.

♦  සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05