පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු පැමිණ දැන් විවිධ දේශපාලන මත දරන මන්ත්‍රීන් මෙවර අයවැය සම්බන්ධව දරන අදහස් විමසා බැලීමට අපි තීරණය කළෙමු. මෙම පිරිස සකලවිධ දේශපාලන විපර්යාසයන් කෙළවර විවිධ දිශාගතව සිටින්නෝය. වර්තමාන දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලැබීමට මෙම අදහස් ඔබට උපකාරී වනු ඇත.
මම මධ්‍යස්ථයි!
සංජීව එදිරිමාන්න - කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අයවැය පිළිබඳ ඉතාම මධ්‍යස්ථ මතයක මම ඉන්නේ. මහජනයාගේ පැත්තෙන් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වැඩිවීමත් අස්වැසුම සමාජ සුබසාධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් ඉතාම යහපත්. ආසන්න වශයෙන් මෙරට පවුල් ඒකක හතළිස් හය ලක්ෂයකට විතර අයවැයෙන් ඍජු සහනයක් ලැබිලා තියෙනවා.
හැබැයි වෙළෙඳපොළ වියදම් විදියට සැලකුවම ලැබුණු සහනයන් ප්‍රායෝගිකව අපිට දැනෙන ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් තියෙනවා. හැබැයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ බරපතළ ආර්ථික ගැටලුවකින් මිදීමට යන ගමනේ එක්තරා අවස්ථාවක් විදිහට. ආර්ථික අර්බුදයකින් අත්මිදීම සඳහා යන ගමන මැද ඉදිරිපත් කරන අයවැයන්ගෙ ස්වභාවය පිළිබඳ අවබෝධයකින් මේ අයවැය දෙස බැලිය යුතු බවයි මගේ යෝජනාව.
අපි හිතන හැමදේම මේ අයවැය තුළ නැහැ. මේ එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් අවස්ථාවකුත් නෙවෙයි. එකඟ නොවුණා කියා මෙතැන විකල්පයක් නැහැ. විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න හේතු මේක ඇතුළේ හොයාගන්න පුළුවන්. නමුත් විකල්ප නැති විරෝධයන්ගේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසයි මම යෝජනා කරන්නේ මැද තැනක ඉඳලා අයවැය දිහා බලමු.
ජනාධිපතිතුමාට ජනතාවගේ බර දැනිලා නැහැ!
නීතිඥ උදයන කිරිඳිගොඩ - මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මේ රට ආර්ථික වශයෙන් අර්බුදයට ලක්වුණු අවස්ථාවක, අභියෝගයක් බාරගෙන තමයි වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති ධූරය බාරගත්තෙ. මේ එතුමා ඉදිරිපත් කරපු තුන්වැනි අයවැය. අයවැය තුන් වතාවක් ඉදිරිපත් කරලත් මේ රටේ සත්‍ය ආර්ථික ගැටලුවට විසඳුම් ලබා දෙන්න බැරි නම්, ඒ සඳහා වන විසඳුම් මේ අයවැය ඇතුළේ අල්ප නම් එහි ගැටලුවක් තියෙනවා.
මට හිතෙනවා රටේම බර කර මත තියාගත්තට, තවමත් ජනාධිපතිතුමාගේ කරට ඒ බර හරියට දැනිලා නැහැ. මෙතැනදී මේ අර්බුදය විසඳන්න උත්සාහ දරන්නේ ණය අරගෙන, පුළුවන් තරම් මිනිසුන්ට බදු ගහලා, රාජ්‍ය දේපළ ටික විකුණලා. මේ ටික කරලා ඉවර වෙලා රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්.
මම හිතන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ. අයවැය තුළ නිෂ්පාදන ආර්ථිකයකට යන විදිය පැහැදිලි කරන්න ඕනෑ. මේ රටේ මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ටික කඩාගෙන වැටිලා ඉන්නේ. ඒ අය නැවත ගොඩගන්න වැඩපිළිවෙළක් යෝජනා වෙන්න ඕනෑ. රුපියල් බිලියන 30ක් වෙන් කරලා ව්‍යාපාරිකයන්ට ණය දීලා හරියන්නේ නැහැ. ණය ගන්න පුළුවන් වාතාවරණයක නෙවෙයි ඔවුන් ඉන්නේ. ඔවුන්ගේ දේපළ බැංකුවලට සින්න වෙලා. මේ රටේ ආනයන ආදේශක වැඩි කරන්න, අපනයන වැඩි කරන්න පැහැදිලි යෝජනා තියෙන්න ඕනෑ.
මම අයවැයට පක්ෂයි!
ප්‍රියංකර ජයරත්න - පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
අයවැයට පක්ෂවයි මම ඡන්දය පාවිච්චි කළේ. මන්ද එහි යෝජනා පිළිබඳ ලොකු විශ්වාසයක් තැබිය හැකියි. ජනාධිපතිතුමා ඉදිරි වසරක කාලය තුළ ආර්ථිකය ස්ථාවර කර යම් වැඩපිළිවෙළක් රට වෙනුවෙන් කරනු ඇතී. අතීතයේදී අපේම පක්ෂයේ අය අපේම ආණ්ඩුව කරන කාලයේ මේ රට බිමට ඇද දැමූ හැටි අපිටත් ජනතාවටත් අමතකව නැහැ. ඒ නිසාමයි ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් ලබා දුන්නේ.
අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් තමයි ගත කරන්නේ. අයවැයට පෙර ඡන්දය නොදෙන බව පැවසුවත් විශාල පිරිසක් ඡන්දය භාවිත කිරීමට පැමිණියේ නැහැ. ඔවුන්ට මුහුණදෙන්න බැහැ. රනිල් ජනාධිපතිතුමාගේ පිහිට හැර කිනම් අපේක්ෂකයෙක් පත් කළත් ඔවුන්ට තනියම ගොඩ ඒමට නොහැකි බව මා මෙන්ම ජනතාව ද විශ්වාස කරන කරුණක්. මට අනුව මෙම අයවැය හොඳ මට්ටමක පවතිනවා. ප්‍රශ්න ඇත්නම් කාරක සභා අවස්ථාවේදීම සංශෝධනය කළ හැකියි.
අයවැයේ සාධනීය දේවල් අතර අධ්‍යාපනය සඳහා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීම වැදගත්. රටක ප්‍රධාන කාරණය අධ්‍යාපනයයි. ඒ වගේ තවත් වැදගත් කාරණා සම්බන්ධව අයවැයේ සඳහන් වෙනවා.
ආර්ථික තත්ත්වය බරපතළයි!
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි - ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මේ රට ආර්ථික වශයෙන් ඉතා බරපතළ තත්ත්වයක ඉන්නේ. මේ වෙලාවේ අපි හැමෝම එකට එකතුවෙලා කරන්න ඕනෑ දෙයක් මිසක් තනි තනිව කළ හැක්කක් නැහැ. ආයෝජකයෝ පන්නන, වැඩි පඩි ඉල්ලලා වර්ජනය කරන කාලයක් නෙවෙයි මේක. ඒත් අපි දන්නවා මේ වෙලාවේ හැමෝටම ටිකක් අමාරුයි.
රටේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන අපි සියලු දෙනාම මේ වෙලාවේ රජයට සහයෝගය දෙන්න ඕනෑ. ඒ නිසා මම හිතන්නේ නෑ මේ වෙලාවේ කවුරුත් අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය දෙයි කියලා. ජනතාවගෙ පැත්තෙ තියෙන පීඩනය තේරුම් අරගෙන මහජන නියෝජිතයෝ විදිහට අදහස් දැක්වීමේ වරදක් නැහැ. සාධාරණ හේතු තියෙන තැන්වල හැමදේම එහෙයි කියලා පිළිගන්න ඕනේ නැහැ. ඒත් මේ වෙලාවේ ඡන්දය දෙන්න ඕනෑ.
මේ පාර අයවැයේදී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳවත් අවධානය යොමුකරලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සමඟ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය මුසු කරන්න. ආයුර්වේදය සහ දේශීය චිකිත්සක ක්‍රම හා සංචාරක ආකර්ශනය දිනාගන්න අපට පුළුවන්. ජනාධිපතිතුමා ඒ සම්බන්ධව කටයුතු කරන්න ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා.
I චමිඳු නිසල්