ඔබ ගන්නකොට මේ අමාත්‍යංශය විශාල වශයෙන් විදෙස් රැකියා නැතිවෙලා මිනිස්සු ලංකාවට ඇවිල්ලා හිටියේ. ඒක අභියෝගයක්. මොකද විදෙස් විනිමය අහිමිවෙලා තියෙන මොහොතක නැවත රැකියා ලබාගන්න එක. කොහොමද ඔබ ඒක ජය ගත්තේ?
මම කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා ලෙස වගකීම් භාරගත්තේ, කවුරුවත් වගකීම් භාරගත්තේ නැති වෙලාවක. වගකීම් භාරගන්න කියලා කියනකොට, පස්සේ දොරෙන් පැනලා ගියපු වෙලාවේ ජනාධිපතිතුමා රට භාරගත්තා. ඒ වෙලාවේදී හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාත් මමත් මේ රටේ ප්‍රධානම ගැටලුව වෙලා තිබුණ ඩොලර් හිඟයට විසඳුම් ලබාදීමේ වගකීම භාරගත්තා. මේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම. සාමාන්‍යයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන හතත් අටත් අතර ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලෙස රටට ලැබෙනවා. ඒත් පසුගිය අවුරුද්දේ මැයි මාසය වනවිට විදේශගත ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීම බොහෝදුරට අඩුකරලා තිබුණේ. මුදල් එවපු බොහෝ අය උණ්ඩියල් වගේ නීති විරෝධී ක්‍රම ඔස්සේ තමයි රටට මුදල් එව්වේ.
අපිට මේ අභියෝගය ජයගැනීමට තමයි තිබුණේ. ඒ වනවිට මාසයට ලැබුණ ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක විතර වන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාවට අරගෙන එන්නේ කොහොමද කියන එක තමයි අපිට තිබුණ අභියෝගය. විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 සීමාවට අරගෙන ආවා නම් ඒ වනවිට තිබුණ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් හිඟයට විසඳුම් ලබාදෙන්න පුළුවන්කම තිබුණා. ඒ අනුව තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ගෙන්වා ගැනීමට අපි කටයුතු කළේ.
ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු රාශියක් කළා. විදේශගත ශ්‍රමිකයන් එවනු ලබන මුදල් ප්‍රමාණය මත පදනම් වෙලා වාහන ආනයන බලපත්‍ර ලබාදුන්නා. නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මුදල් එවන ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැම්මා. ඒ වගේම නිවාස ණය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ වගේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකරනු ලැබුවා. වඩාත් වැදගත් වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයන් අතර විශ්වාසය තහවුරු කිරීමට අපි කටයුතු කළා. රාජ්‍ය පාලනය ගැන විශ්වාසයක් නැතිවීම නිසා රටට මුදල් එවපු නැති විදේශගත ශ්‍රමිකයන් රටට මුදල් එවන්න ගත්තා. මේ අනුව තමයි අපි විදේශගත ශ්‍රමිකයන් රටට එවපු ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ දමාගැනීමට කටයුතු කරනු ලැබුවේ.
ඒ වගේම විදෙස් විනිමය ලැබීම මුල් කාලයේ ඉතාම අඩුවුණා. සමහර අය මුදල් එවන්න එපා කිව්වා. ඒ වගේ මොහොතක ඔබට රට විරුවන්ගෙන් ලැබුණු සහාය මොන වගේද..?
පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන අය රට රටවල ගිහින් මුදල් එවන්න එපා කියලා කිව්වා. ඒ අය බලයට ආවම මුදල් එවන්න කිව්වා. ඒකට සමහරු රුවටුණා. ඒ නිසා තමයි රටට මුදල් එවන එක අඩු වෙලා තිබුණේ. හැබැයි ඒ අය දැන් යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා. විදේශගත ශ්‍රමිකයා එවන ඩොලර් ටිකට දැන් අසාධාරණයක් වෙන්නේ නෑ. විදේශගත ශ්‍රමිකයා ඩොලර් එව්වේ නැතහොත් රටට තෙල් ටික ගේන්න බැරි වෙනවා. ගෑස් ටික ගේන්න බැරි වෙනවා. ඒ අයගේ පවුලේ අයටම තමයි ගෑස් පෝල්ම්වල තෙල් පෝලිම්වල ඉන්න වෙන්නේ කියන එක දැන් ඒ අය අවබෝධ කරගෙන තියෙනවා. ඩොලර් නැති වුණොත් බෙහෙත් ගන්න බැරි වෙලා තමන්ගේ අම්මා තාත්තට වෙන දේ ඒ අයට දැන් දැනිලා තිබෙනවා. තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් රට වෙනුවෙන් යොදාගන්නා බව දැන් හැමෝටම පේනවා. ඒ නිසා විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ ඉහළ දමා තිබෙනවා.
ඔබ රටවිරුවන් සඳහා ලබාදුන්න සහන මේ වෙද්දී කී දෙනෙක් ලබාගෙන තියෙනවද?
විශාල ප්‍රමාණයක් මේ සහන ලබාගන්නවා. විදේශගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේදී අපි විශේෂ පිවිසුම් ද්වාරයක් හඳුන්වා දුන්නා. විදේශ රැකියාවකට යන වගේම විදේශ රැකියාවකට ගොස් නැවත පැමිණෙන සෑම ශ්‍රමිකයෙක්ම ඒ හරහා යනවා එනවා. මේ ප්‍රමාණය ලක්ෂ ගණනක් වෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ට ලබාදෙන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර පහසුකම යටතේ බලපත්‍ර එකසිය පනහක් පමණ ලබාගෙන තිබෙනවා. ඒ හරහා පමණක් රටට ඩොලර් මිලියන 20ක් විතර ඇවිත් තියෙනවා.
මේ වෙද්දී රට රැකියා සඳහා පිටත්ව යාමට හැමෝම උනන්දු වෙලා. මෙහෙම ගියොත් මේ රටේ රැකියාවලට මිනිස්සු නැති වෙයි නේද?
විදේශ රැකියා සඳහා පසුගිය වසරේදී තුන්ලක්ෂ දොළොස් දහසක් පිටත්ව ගොස් තිබෙනවා. මේ වසරේදී මේ වනවිට එක්ලක්ෂ පනස් දහසේ සීමාව ඉක්මවා තිබෙනවා. ලක්ෂ ගණනින් විදේශ රැකියා සඳහා දැන් පිටත්ව යනවා. රටක් විදියට අපි මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ එන්න තිබෙන හොඳම අවස්ථාව තමයි විදේශගත ශ්‍රමිකයන් හරහා රටට ඩොලර් ගෙන්වා ගැනීම. දකුණු කොරියාව 1990 දශකයේ මුල් කාලයේදී ලංකාව මුහුණ දෙනවා වගේ අර්බුදයකට මුහුණ දුන්නා. ඔවුන් තමන්ගේ රටේ ශ්‍රමිකයන් වෙනත් රටවල රැකියා සඳහා යොමු කළා. ඉන් පසුව ඔවුන් නැවත තමන්ගේ රට ගොඩ ගැනීමට කටයුතු කළා. ඒ වගේ අවස්ථාවක් තමයි අපේ රටට උදාවෙලා තිබෙන්නේ.
ඒ වගේම රැකියා ඒජන්සිත් සෑහෙන්න වැඩිවෙලා. විවිධ ප්‍රමාණයෙන් මුදල් ගන්නවා. එක මිලක් අදාළ රට වෙනුවෙන් යොදන්න බැරිද?
කලින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමට කටයුතු කළත් දැන් කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කරන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා යවන්නේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අත්සන් කරලා තියෙන කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත්කර යැවීම සහ ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත්කර යැවීම පමණයි.