2023 අප්‍රේල් 23 වන ඉරිදා

ඒ පාර... මාර්ග නඩත්තුවටත් බද්දක්

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 48

ජනතාවට දැන් බදු නම් අරුම පුදුම දෙයක් නොවේය. හැමතැනම බදුය. බදු නැත්තන් එය ''පරිප්පු නැති හෝටලයක් හා සමානය'' ඒ තරමට බදුය. කන බත් පතේ සිට නිදියන කොට්ටය දක්වාම බදු පිට බදුය. මේ කියන්නට යන්නේ ජනතාව වෙත එන්න යන තවත් බද්දක් ගැනය. මේ බද්ද හැම පුරවැසියාටම අදාළ නොවුණත් මේ බද්ද පිරිසකට අයත් වෙන බද්දක්ය. ඒ මාර්ග නඩත්තුව සඳහා ලබාගන්නට යන නවතම බද්දකි.

දැනටමත් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති මෙම නවතම බද්ද සඳහා විශේෂයෙන් පිරිසක් විසින් එම බද්ද ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ගණනය කරගෙන යන බව දැනගන්නට ඇත. මෙම බද්ද මහාමාර්ග අමාත්‍යංශය විසින් හඳුන්වා දෙන නිසා අප මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කරුණු විමසුවෙමු.

''සාමාන්‍යයෙන් මාර්ග නඩත්තු කිරීමේ බද්ද ලෝකයේ බොහෝ රටවල්වල සිද්ධ වෙනවා. මේ යෝජනාව ගෙනාවේ අයවැයෙන්. ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න මිලියන 100ක් වෙන්කළා. සමාන්‍යයෙන් අවුරුද්දකට මාර්ග නඩත්තු කරන්න රුපියල් බිලියන 10ක් වගේ යට කරන්න වෙනවා. ඒ නිසයි අපි මහාමාර්ගය භාවිත කරන පිරිසකගෙන් මේ බද්ද අය කරගන්න යන්නේ. ඒ බද්ද සම්බන්ධයෙන් ගණනය කිරීම් අපි විශේෂඥ කණ්ඩායමක් මගින් සිදුකරනවා.''

අමාත්‍යවරයා පවසන පරිදි දැනටත් මාර්ග නඩත්තු බද්ද සැකසීම ආරම්භ කර තිබේ. එහෙත් අමාත්‍යවරයා කියන පරිදි මාර්ගය භාවිත කරන පුද්ගලයන් ලෙස හඳුන්වන්නේ කවුද? බද්ද ලෙස කොපමණ මුදලක් අය කරයිද? එම බද්ද අය කරගන්නේ කෙසේද? යන්න ප්‍රශ්නයකි. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් අප අමාත්‍යවරයාගෙන් වැඩිදුර කරුණු විමසුවෙමු.

''මේක අපි අය කරගන්නේ රථවාහන භාවිත කරන අයගෙන්. ඒ ඒ වාහනය වසරකට භාවිත කර ඇති දුර ප්‍රමාණය අනුව ඒ අය කිරීම කරගන්නවා. සමහර විට හිතන්නකෝ යතුරු පැදියක් තියෙනවා ඒක භාවිත කරන්නෙම නෑ කියලා. ඒ වගේ අවස්ථාවල අපි ඒ යතුරු පැදියෙන් බදු ගන්නේ නෑ. අපි ගන්නේ පාවිච්චි කරනවා නම් විතරයි. ඒ ගන්නෙත් විශාල මුදලක් නෙමේ. හැමටම සාධාරණ වෙන විශාල ආදායම් හොයාගන්න පුළුවන් විදිහේ අඩු මුදලක්. ඒක දහසකට අඩුවෙන්නත් පුළුවන්.''

කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන පරිදි වසරකට මාර්ග නඩත්තුව සඳහා යටකරන මුදල සුළු පටු නැත. එම මුදල මාර්ගය භාවිත කරන්නන්ගෙන් විධිමත් ලෙස අය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැත. එහෙත් දැනටත් ජනතාවට වක්‍ර බදු හරහා ලබාගන්නා මුදලින් කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 10ක් වාර්ෂිකව වෙන් වෙනවා නම් නැවත වෙනම බද්දක් අය කර ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇත. කෙසේ වෙතත් අපේ රටේ බදු ප්‍රතිපත්තිවල පැහැදිලි රෑපයක් නොමැති නිසා බදු ලබාගන්නා අකාරයත් ඒවා වියදම් වෙන අකාරයත් සම්බන්ධයෙන් ගැටලු ඇත. එහෙත් මේ ආකාරයෙන් එක් දෙයක් වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඒ හරහා අදාළ කර්තව්‍යය නිසියාකාරව සිදුවනවා නම් විනිවිද භාවයෙන් එය ගැටලුවක් වන්නේ නැත. එහෙත් ප්‍රශ්නයක් ඇත. මෙතරම් ජනතාව බදු බරින් මිරිකී සිටිද්දී මෙවැනි බද්දක් හඳුන්වා දුනහොත් එය සාධාරණද යන්නය. ඒ නිසා මේ බද්ද උපරිම සාධාරණ වියයුතු යැයි අපේ අදහසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන පරිදි වර්ෂයකට අපේ රටේ මාර්ග නඩත්තුව සඳහා බිලියන ගණනක මුදලක් නියත වශයෙන්ම වැයවන බව පිළිගත හැක. එයට හේතු රුසකි. විවිධ අවස්ථාවල විවිධ අංශවලින් පැමිණ එකම මාර්ගය තුන් හතර වතාවක් හාරා බට එළීම, වයර් එළීම, පානීය ජල මාර්ග  දැමීම ආදිය සිදුකරනු ලබයි. ඒ සැම අවස්ථාවක මාර්ගය තුන් හතර වතාවක් කඩා බිඳ දමනු ලබයි. එසේම පසුගිය කාලයේ ඇතැම් කොන්ත්‍රාත් සමාගම් විසින් දමන ලද තාර නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ඉක්මනින් මාර්ග අබලන් වන අයුරු දැකගත හැක.මේ සියල්ල කිසිදු වගකීමකින් තොරව සිදුවන නිසාය. 

ඒ නිසා අමාත්‍යවරයා පවසන පරිදි වසරකට බිලියන 10ක් වැය වනු ඇත. ඒ ප්‍රමිතියෙන් සහ වගකීමෙන් තොර වැඩ නිසාය. එසේ නම් එවැනි තත්ත්වයක් මත මාර්ගයකට වෙන හානිය වැඩියෙන්ම සිදුවන්නේ ඉහත කී සිදුවීම් නිසාය. කුඩා වැස්සකට පවා තාර ගැලවී යන තැනකට මාර්ග පත්වී ඇති මොහොතක වාහනවලින් මාර්ග නඩත්තුව සඳහා මුදලක් ලබාගැනීම සුපුරුදු පරිදි ජනතාව මත තවත් බරපැටවීමකි. ඒ නිසා අවසාන වශයෙන් කිවයුත්තේ මෙම මාර්ග නඩත්තු බද්දට පෙර මෙම මාර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදුකිරීමයි. නිසි ලෙස මාර්ගයක් පවා සුද්ද පවිත්‍ර නොවන රටක මාර්ග නඩත්තුව සඳහා මුදලක් ගන්නේ නම් ඒ සියල්ලම සපිරිය යුතුය. එසේ නොවන්නේ නම් මෙම මුදල ගැනීම අසාධාරණයක් වනු ඇත.

I ගයාන් ගාල්ලගේ