2023 අප්‍රේල් 23 වන ඉරිදා

රටට අස්වැන්න අහිමි කරන දේශගුණික බලපෑම්

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 78

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය වසර 3000ක පමණ අතීතයකට හිමිකම් කියයි. මෙරට ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. එබැවින් වී ගොවිතැනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බොහෝ අර්බුදවලට හේතුවූයේ ඇතැම් පාලකයන් හා නිලධාරින්ගේ අනුවණ ක්‍රියාකාරකම්ය. එක් දිනකින් රසායනික පොහොර අතහැර කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමට ගත් අනුවණ තීරණය රටේ ආහාර අර්බුදයක් නිර්මාණය කළේය.

මෙම තත්ත්වයට අමතරව දේශගුණික විපර්යාස හා මීමැස්සන් හා බඹරුන් වැනි පරාගනයට දායකවන සතුන්ගේ ගහනය අඩුවීම මත තෙත් කලාපයේ වගාවන්හි අස්වනු සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය රවින්ද්‍ර විතානච්චි, මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක, වනවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය සිරිමල් ප්‍රේමකුමාර ඇතුළු පර් යේෂණ කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්‍ෂණයකදී අනාවරණය කරගෙන තිබේ. ඔවුන් මෙම පර් යේෂණය සිදු කළේ දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවේ සුළු පරිමාන ගොවිජනතාවට බලපාන ආකාරය පිළිබඳව සොයා බැලීමේ අරමුණිනි. පසුගිය වසර 15ක 20ක කාලය තුළ අපේ රටේ දේශගුණය විශාල වෙනසකට ලක්ව තිබේ. 

සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය පමණක් නොව වැවිලි ආර්ථිකය නියෝජනය කරන වගාවන් පිළිබඳව අවධානය යොමු කර ඇති මෙම පර් යේෂණය සඳහා ලංකාවේ කෘෂි දේශගුණික කලාප 24 නියෝජනය වන අයුරින් තෝරාගන්නා ලද වසර 30ත් 50ත් අතර කාලයක් කෘෂිකර්මාන්තයේ අත්දැකීම් සහිත ගොවීන් දහසකගෙන් පමණ ලබාගන්නා ලද දත්ත අදාළ කර ගෙන තිබේ. වසර තුනක පමණ කාලයක් පුරා සිදු කිරීමට නියමිත මෙම පර් යේෂණයෙන් මේ වන විට වසර එකහමාරක පමණ කාලයක කටයුතු අවසන්ය. එයට මධ්‍යම කඳුකරය, තෙත් කලාපය හා වියළි කලාපයෙන් අඩක පමණ ප්‍රදේශයක්  ආවරණය වී තිබේ. 

පර්යේෂණයෙන් අනාවරණය වූ පරිදි දේශගුණික බලපෑම් විවිධ ප්‍රදේශවලට විවිධාකාරයෙන් බලපානු ලබයි. මෙම පර් යේෂණය සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා පීඨයේ ආචාර්ය රවින්ද්‍ර විතානච්චි      ''දේශගුණික විපර්යාස කිව්වම බොහෝ දෙනකුට ඇතිවන්නේ නියඟය, වැස්ස නොමැතිවීම වගේ හැඟීමක්. එහෙත්  මේ අර්බුදය ගතවූ වසර 15- 20 අතර කාලය තුළ නිර්මාණය වී ඇත්තේ වැස්ස වැඩිවීම හා සුළඟේ වෙනස්කම් නිසා. සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු යන මාස වැස්ස නොමැති කාලයක් මේ කාලයේ තමයි බොහෝ පළතුරුවර්ගවල මල් හටගන්නේ. කාලගුණයේ වෙස්වීම නිසා මේ කාලයේ දිගටම වැස්ස පවතිනවා. මේ හේතුවෙන් තෙත් කලාපයේ සහ කඳුකරයේ කුඹුරුවලට  විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. එමෙන්ම තේ සහ රබර් වැනි ආර්ථික බෝගවලටද බලපා ඇති අතර රබර් කිරිවලට ජලය එකතුවීම හා තේවලට රෝග ඇතිවීම මත ඒවායේ ගුණාත්මකභාවය අවම වීමට මෙය හේතුවී තිබෙනවා. වියළි කලාපයෙත් එවැනි තත්ත්වයක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පදනම් වී තිබෙන්නේ යල සහ මහ කන්නය ලෙස කන්න දෙකකට. මෙම කන්න දෙක නිර්මාණය වී තිබෙන්නේ නිරිත දිග හා ඊසාන දිග මෝසම අනුවයි. වසර 2500කටත් ඈත අතීතයේ සිට මෙම දෙකන්නයේ වගා කෙරුණා. ඊට අමතරව අතරමැදි කන්නයකත් වගා කෙරෙනවා. එහෙත් ගතවූ වසර 15ක 20ක කාලය තුළ දේශගුණික වෙනස්කම් හේතුවෙන් පෙර පැවති දින වකවානු අනුව වගා කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වී  තිබෙනවා. සුළඟ ඇතිවන කාලය, එය පවතින කාලය, දිශාව හා වේගය වෙනස් වෙලා. මෙහි බලපෑම වැඩි වශයෙන් ඇතිවන්නේ මධ්‍යම කඳුකරයටයි. උදාහරණයක් ලෙස නුවරඑළිය, වලපනේ වැනි ප්‍රදේශවල වැවෙන පෙයාර්ස් වගාවට මෙම තත්ත්වය විශාල ලෙස බලපා තිබෙන අතර ගොවීන්ට දීර්ඝකාලයක සිට තම අස්වැන්න නිසි ලෙස ලබාගත නොහැකි වී තිබෙනවා. මල් හටගන්නා කාලයේ ඇතිවන අධික සුළඟින් මල් විනාශ වීම ඊට හේතුවයි. මෙම තත්ත්වය පිටවලපතන, නකල්ස් වැනි ප්‍රදේශයන්හි ගොවීන්ටද බලපා තිබෙනවා. සුළඟේ වෙනස නිසා ඔවුන්ට පෙර පරිදි සාම්ප්‍රදායික වගාවන්හි  යෙදීම දුෂ්කරයි.. දීර්ඝකාලීනව පවතින වැසි සහිත තත්ත්වය හා තුහින වැටීම වැඩිවීම නිසා නුවරඑළිය ප්‍රදේශයේ අර්තාපල් වගාකරුවන් වගාවෙන් ඉවත්වෙමින් සිටිනවා. එමෙන්ම නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වයේ අන්තරයද වෙනස් වෙලා. දිවා කාලයේ අධික උෂ්ණත්වයක් හා රාත්‍රිකාලයේ අධික සීතලක් පැවතීමත් මත සාම්ප්‍රදායික වගාකටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.'' යනුවෙන් සඳහන් කළේය.

සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස ලෙස සැලකෙන්නේ වායු ගෝලයේ දිගුකාලීනව පවත්නා තත්ත්වයේ වෙනස්කම්ය. ඊට උෂ්ණත්වය, ආර්ද්‍රතාව, වර්ෂාව, වායු පීඩනය, සුළං හා වළාකුළු ආවරණය වැනි සාධක බලපායි. එමෙන්ම දේශගුණික වෙනස්කම්වලට  වන විනාශය සහ මිනිසුන්ගේ පරිසර විරෝධී ක්‍රියාවන් ද බලපායි. ශ්‍රී ලංකාවට බලපාන දේශගුණික විපර්යාසයන්වලට ගෝලීය වශයෙන් නිර්මාණය වන ක්‍රියාකාරකම්ද බලපා තිබේ. කාර්මීකරණය සමඟ ඇතිවූ වන විනාශය මෙන්ම කෘෂි කර්මාන්තය සඳහා ගෝලීය වශයෙන් භාවිත කෙරෙන තාක්ෂණික ක්‍රමවේදයන් හා අධික ලෙස පරිසරයට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම මත  හිම දියවී යෑම වැනි කරුණුද වත්මනෙහි අප මුහුණ දෙන පාරිසරික විපර්යාසවලට බලපා ඇත.. එය වනාන්තරවලටද සෘජු බලපෑමක් සිදු කරයි. සිංහරාජය අවට හා පහත රට තෙත් කලාපය අවට සිදු කළ පර් යේෂණයේදී පර් යේෂක කණ්ඩායමට අනාවරණ වූ කරුණු අනුව පසුගිය වසර 15ක 20ක පමණ කාලයක සිට වනාන්තර අභ්‍යන්තරයේ පල දරන හල්, බෙරලිය, හිඹුටු, ඇටඹ, බැදි දෙල්, මොර වැනි පළතුරු හටගැනීම විශාල ලෙස අවම වී තිබේ. දේශගුණික වෙනස්කම් නිසා මල් හටගන්නා කාලයේ වර්ෂාව ඇතිවීම හා මල් හටගත්තද ගෙඩි හටගැනීමක් සිදු නොවීම එම තත්ත්වයට බලපා තිබේ. එමෙන්ම දිවා කාලයේ සාමන්‍යයෙන් පැවති උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් හා රාත්‍රි කාලයේ පැවතිය යුතු සාමාන්‍ය සීතලට වඩා වැඩි සීතලක් ඇතිවීම නිසා මල් හැලීයාමත්, තිබෙන මල්වලින් ගෙඩි හටනොගන්නා බවත් අනාවරණ වී තිබේ. කලකට ඉහත වනාන්තරවල සිටි රිළා, වඳුරු රංචුවලින් වන පළතුරුවලට හානි සිදු වුවද මේ වනවිට වනාන්තර තුළ ඔවුන් දකින්නට නොලැබෙන අතර වන පළතුරු නොමැතිකමින් ඔවුන් ගම්මානවලට සංක්‍රමණය වී ඇති බවද අනාවරණ වී තිබේ. පහතරට තෙත් කලාපයේ සිංහරාජ වනාන්තර මායිමේ ජීවත්වන ජනතාව පනස් වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ එම වනාන්තරයට ගොස් එහි වැවෙන එනසාල්, කරඳමුංගු ආදිය නෙළාගෙන විත් අලෙවි කර තම ජීවිකාව ගෙන යාමට හුරුව සිටි පිරිසකි. ඒවාද පෙර මෙන් සුලබ නොවන බව ඔවුන් සමීක්ෂණ කණ්ඩායමට පවසා තිබේ.

සාමාන්‍යයෙන් අඹගස්වල මල් හටගන්නා කාලය වන්නේ පෙබරවාරි මාර්තු වැනි කාලයයි. එම කාලයේ පවතින්නේ සාමාන්‍යයෙන් වියළි කාලගුණයකි. මේ වනවිට එම තත්ත්වය වෙනස් වී තිබේ. වියලි කාලයේ පවා වැසි පතිත වීම හේතුවෙන් මල්වල පරාග විනාශවීම මත මේ වන විට අඹ ඵලදාව අවම වී තිබේ 

එමෙන්ම පරාගනයට දායක වන සමනලුන්, මීමැස්සන්, බමරුන් වැනි සතුන් විශාල වශයෙන් වඳවී ඇති බවද අනාවරණ වී තිබේ. වනාන්තරවල මී කඩා ජීවත්වන බොහෝ පිරිස් පර් යේෂකයන්ට පවසා ඇත්තේ මී කඩන කාලයේ තමන් මසකට මී වද 30ත් 60ත් අතර ප්‍රමාණයක් කඩා ගන්නා නමුදු මේ වනවිට මී වද දෙකතුනක් හෝ කඩා ගන්නට නොමැති බවටය.  වනාන්තර අභ්‍යන්තරයේ මෙන්ම ග්‍රාමීය වශයෙන්ද මී මැස්සන් විශාල වශයෙන් අවම වී තිබේ. එම තත්ත්වය මත පරාගන ක්‍රියාවලිය බිඳවැටී විශේෂයෙන්ම පළතුරු අස්වැන්න අඩුවීමට බලපා තිබේ.

රසායනික ද්‍රව්‍යන්හි බලපෑම මෙන්ම  මග දෙපස විදුලි කණුවල බුබුළුවලට ඇදී ඒමෙන්  හා දුරකථන සංඥා කුළුනුවලින් නිකුත් කෙරෙන සංඥා නිසාද මී මැස්සන් විනාශ වන බව අනාවරණ වෙයි. මී මැස්සා තම වදය සොයාගෙන යන්නේ විද්‍යුත් චුම්භක ධාරාවක් ඇසුරිනි. දුරකථන සංඥා කුලුණු මගින් නිකුත් කෙරෙන සංඥා හේතුවෙන් ඔවුනට තම වදය සොයාගත නොහැකි වන බව විද්‍යාඥයන් විසින් අනාවරණ කරගෙන තිබේ. එමෙන්ම මී මැස්සන්ට පැණි සපයාගත හැකි භෝගවර්ග අවම වීම, වනාන්තර පද්ධතිය අවම වීම හා මීපැණි ලබා ගැනීම සඳහා මී මැස්සන්ට හානි කිරීම වැනි කරුණුද ඔවුන් විනාශ වීමට බලපා තිබේ.

දේශගුණික විපර්යාස හමුවේ අස්වැන්න අවම වීමේ තත්ත්වය අප්‍රිකාව, දකුණු අමෙරිකානු කලාපයේ, චීනයේ, ටිබෙට් සානුවේ  සහ ඉන්දියාවේද ඇති වී තිබේ. ප්‍රධාන වශයෙන් මෙම බලපෑම ඇතිවී තිබෙන්නේ මල් හටගන්නා භෝගවලටය. ජාත්‍යන්තර සංවිධානයන්හි මැදිහත්වීමෙන් සිදුකරන ලද පර්යේෂණ අනුව අල වර්ගවලට බලපා නොමැත. එහෙයින් අස්වැන්න අවම වීමට පිළිතුරක් ලෙස ගොවීන්ට දන්වා ඇත්තේ ක්‍රමිකව අල වගාවට යොමු වන ලෙසටය. එහෙත් එය සියයට සියයක් සාර්ථක ක්‍රමවේදයක් නොවේ. එහෙත් කුඩා පරිමාණ ගොවීන් ආර්ථිකමය වශයෙන් නගාසිටුවීම සඳහා ඉන් බලපෑමක් ඇතිවිය හැකිය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා