බත් පාර්සලයේ මිල වගේම බස් ගාස්තුවත් වැඩි නිසා කොළඹ රස්සාවක නිරතව සිටි සරත්චන්ද්‍ර ගමට ආ ගියේ ඉස්සරට වඩා අඩුවෙනි. උපන් ගමේ ගෙදරට නෑවිත් කොළඹ බෝඩිමේ කාමරයක ඉන්නා සැමියා ගැන බිරිඳ මෙන්ම දරුවන්ද පසුවූයේ කනස්සල්ලෙනි. එහෙත් විය හියදම් හමුවේ අතමිට හිඟවීම නිසා ඔහුට වෙන කරන්නට යමක් තිබුණේ නැත. අගහිඟකම් කොහොම නමුත් මොහු සිංහල අලුත් අවුරුද්දට බිරිය හා දරුවන් බැලීමට යාමේ ආසාවෙන් පසුවී තිබුණේ මාසයකටත් පෙර සිටය.
බදුරලිය ප්‍රදේශයේ සිට කොළඹ රුකියාවකට ආ සරත්චන්ද්‍ර කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ගල් මෝලක සේවය කළේය. මාසික වැටුප් ලැබූ සරත්චන්ද්‍ර සිය හිතවතකුට කියා තිබුණේ ''මාස දෙකක් විතර ගෙදර ගියෙත් නෑ. අවුරුද්දට කලින් නිවාඩු අරගෙන දවස් දහයක් විතර ගෙදර ඉඳලා එනවා'' කියාය.
මෙසේ අවුරුදු නිවාඩුව බිරිය හා දරු තිදෙනා සමඟ සතුටින් ගත කිරීමට සිහින දුටු සරත්චන්ද්‍රට මාර්තු මස වැටුප නියමිත දිනට ලැබී තිබුණු අතර ගල්මෝල හිමිකරු වෙතින් ලබාදුන් අමතර දීමනාව සහ අත ඉතිරි කරගත් මුදලුත් සමග රුපියල් 80,000 කට අධික මුදලක් සරත්චන්ද්‍ර අත තිබී ඇත. ඒවායෙන් ගමන් වියදම සඳහා ප්‍රමාණවත් මුදලක් අත තබා සෙසු 80,000ක මුදල වෙනම සූදානමින් තබාගෙන ඇත.
බිරිය හා දරුවන් තිදෙනා දකින සිහියෙන් පසුවූ සරත්චන්ද්‍ර පරණ අවුරුද්ද තිබූ 13 වැනිදාට දිනකට කළින් බදුරලිය බලා යාමට සූදානම්ව ඇත. පහළ බෝමිරිය ප්‍රදේශයේ ගල්මෝලට ආසන්න බෝඩිම් කාමරයක නවාතැන් ගෙන සිටි සරත්චන්ද්‍ර කාමරය අගුළු දමා පිටත්ව තිබුණේ බස්රථයකට නගින අදහසිනි. ඒ සඳහා ලෝලෙවල් මාර්ගයට පා ගමනින්ම පැමිණ පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට ගොඩ වී තිබුණේ මිනිත්තු කිහිපයක් ඇතුළතය. බස් රථයට ගොඩවන අවස්ථාවේ එහි තදබදයක් නොවුණාද සරත්චන්ද්‍රට වාඩිවීමට තරම් අසුනක් තිබුණේද නැත. ක්‍රමයෙන් බස් රථය කඩුවෙල, අංගොඩ, කොටිකාවත්ත, වැල්ලම්පිටිය නගර පසුකරන විට බස්රථය මගීන්ගෙන් පිරී තිබිණි. ඔරුගොඩවත්ත ප්‍රදේශය පසුකරන විට බස්රියේ පැවතියේ තදබදයකි. එය බස්රථය පුරාම දකින්නට නොවුණු අතර සරත්චන්ද්‍ර රුඳී සිට තිබුණේද ඒ ආසන්නයේමය.
මොහොතකට පසුව සරත්චන්ද්‍රට යම් වෙනසක් දැනෙන්නට විය. ලිපි කවරයක ඔතා කමිස සාක්කුවේ ඔබා තිබූ රු.80,000ක මුදල් තොගය නැති බව වැටහුණේ ඉන් පසුවය. හීන් දාඩිය දැමූ සරත්චන්ද්‍රට යන එන මගක් අමතකව ගියේය. දෙමසක් පමණ ගෙදර නොගොස් රුස්කරගත් මුදල් ටිකක් මාසික වැටුපත් එකම මොහොතක අහිමිවීමෙන් වූ වේදනාව කීමට හෝ කෙනකු නොවීය. දරුවන් හා බිරිය සමඟ අවුරුදු කෑමට දුටු සිහිනය බොඳවූ පසුව තවත් අරමුණක් තිබී නැත. ජයට අවුරුදු කන සිහිනයක උන් සරත්චන්ද්‍ර කලබලයෙන් බස් රථයෙන් බැස තිබුණේ පුළුවන් තරමක් බස් රථය තුළ සොයාබැලීමෙන් හා බස් රථ රියැදුරුට හා කොන්දොස්තරවරයාටද කරුණු කියමිනි. එහෙත් ඔහුට පිහිටවීමට කිසිවකුට අවස්ථාවක් තිබුණේ නැත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී බසයෙන් බැසගත් සරත්චන්ද්‍ර පිස්සකු මෙන් පදික වේදිකාවේ ඒ මේ අත ගියේ කරකියාගත යමක් නොමැතිවය. සෑහෙන වෙලාවක් එසේ ගතකළ ඔහු හෙමින් සීරුවේ පාර මාරුවී නැවත බස් රථයකට නැගුණේය. ඒ කඩුවෙල හරහා හංවැල්ල දක්වා ධාවනය වන රථයකි. විනාඩි 45කට පමණ පසුව බෝමිරිය ප්‍රදේශයේදී බස් රථයෙන් බැස්ස සරත්චන්ද්‍ර බදුරලිය නිවසට නොයා නැවත ගොස් තිබුණේ බෝඩිම වෙතය. යන අතරමගදී හමුවූ මිත්‍රයකුට සිදුවූ අකරතැබ්බය විස්තර කොට තිබුණි. එහෙත් මිත්‍රයාට තිබූ කාර්යබහුල බව නිසා හිතවතා අස්වසමින් වැඩි වෙලාවක් ඉන්නට හෝ සිද්ධිය පැමිණිලි කිරීමට පොලීසියට යන ලෙස උපදෙස් දෙන්නට වෙලාව තිබෙන්නට නැත. මේ අතර දරු පවුල සමඟ ආදරයෙන් අවුරුදු සැමරීමට අතේ සතයක් හෝ නොමැතිවීම පිළිබඳ සරත්චන්ද්‍ර කනස්සල්ලෙන් පසුවිය.
සරත්චන්ද්‍රට අවසන් වතාවට හමුවූ මිතුරා ඔහුගේ රාජකාරි නිමවා පැමිණ තිබුණේ මධ්‍යම රාත්‍රියද ඉක්මවූ පසුවය. පෙරදින පෙරවරුවේ සිය හිතවතාට වූ අකරතැබ්බය මතක්වීමත් සමඟ ඔහු මිතුරා බැහැදැකීමට තීරණය කොට ඒ මොහොතේම බෝඩිම දෙසට ගොස් තිබිණ. එහෙත් සරත්චන්ද්‍ර ඒ වනවිට බෝඩිමේ පෙනෙන්නට සිට නැති නමුත් කාමරයේ දොර ඇරදමා තිබුණි. කිහිපවිටක් සරත්චන්ද්‍රට අඬගැසුවද පලක් නොවූයෙන් අවට විපරම් කර බැලූ මිතුරාට සරත්චන්ද්‍රගේ සිරුර වත්තේ කුඹුක් ගසක අත්තේ එල්ලෙමින් තිබෙනු දැක ඇත.
භීතියටත් කනස්සල්ලටත් පත් ඔහු සිද්ධිය අසල්වැසියන්ට මෙන්ම නවගමුව පොලීසිය වෙත දැන්වීමට කටයුතු කර තිබිණ. මෙසේ සියදිවි නසාගෙන මරණයට පත්ව ඇත්තේ බදුරලිය, පිල්ලවලකඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු කලුආරච්චිගේ සරත්චන්ද්‍ර (58) නැමැත්තකු බව නවගමුව පොලීසිය පවසයි.
මේ ආකාරයට කොළඹ පමණක් නොව බොහෝ නගර හා ජනාකීර්ණ ස්ථානවල ගැටකපන්නන් හා පික් පොකට්කරුවන් වර්තමානයේ බහුලව ගැවසෙන බවට වාර්තා වේ. මොවුන් අතර පිරිමි පමණක් නොව කාන්තාවන්ද සිටිති. ඇතැමුන් ගැටකැපීම වෘත්තිය වශයෙන් සිදුකරන අතර එය ජීවිකාව කොටගෙන සිටිති. සමහර ගැට කපන්නන් මත්කුඩු හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා ඒ සඳහා මුදල් සෙවීමට මේ ක්‍රියාවල නිරතව සිටිති. මේ නිසා සාමාන්‍ය දිනවලට වඩා අවුරුදු සමයේදී ගැට කපන්නන් බහුලවීම පුදුම නැත. මුදල් පසුම්බි අහිමිවන අහිංසකයන් සුසුම් හෙළමින් හඬා වැටුණද පික් පොකට්කරුවන්ට නම් එහි වගේ වගක් නැත.
I සමන්ත ප්‍රදීප් විල්තෙර