කුකුළන් මුදුනේ දරාගත් ඒ පහන් ආඩම්බරකාර ලෙසින් දිලිහුණේය. එහෙත් පිත්තල වර්ණයෙන් නොදිලිසෙන දහඩිය කඳුළු ඒ ආඩම්බරකාර නිමැවුම් බොහොමයක් ගැඹුරේ සැඟවී ඇතැයි අපට සිතුණේ පිත්තල භාණ්ඩ සාදන සමන්තගේ වැඩපොළට ගිය ගමනේදීය.
පිත්තල භාණ්ඩයක් ලෙස නිමැවෙන්නට පෙර පියවර ගණනාවක් පසු කරයි. ඒ හැම පියවරක් උදෙසාම වගුරවනු ලබන්නේ මිනිස් ශ්‍රමයයි. වැලි පස් සමඟ මෙන්ම බුර බුරා නැගෙන ගින්දර දල්ල සමඟ ද එහිදී ඔට්ටු විය යුතුය. කුට්ටි ලෙස පවතින පිත්තල උණු කිරීමේදී නැගෙන සැර ගිනි දැල් ළඟ මොහොතක් හෝ සිටීම මහත් දුෂ්කර යැයි අපට හැඟෙතත් ඔවුහු දවසේ පැය ගණනාවක් එ ගින්දර දල්ල සමඟ රුපියල් හරි හම්බ කිරීමට ඔට්ටු වෙති.
“පිත්තල උණු කරන එක තමයි අමාරුම... එතන පවතින තාපය එක්ක හරිම රස්නයක් තියෙන්නේ..”
සමන්තගේ වැඩපොළේදී අපට හමු වූ ඒ කාර්යයේ යෙදී සිටි ඔහු පැවසුවේය.
අප පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන් සොයා ගියේ මහනුවරට නුදුරු පිළිමතලාව ගම්මානයටයි. එදා ඉරිදා දවසක් වූ හෙයින් පිත්තල භාණ්ඩ විකුණුම් ඇතැම් ස්ථාන වසා දමා තිබුණි.
නොයෙක් පිත්තල භාණ්ඩ විකුණුම් හලකට අපි ගොඩ වුණෙමු.
“අපි පරම්පරා ගණනාවක් තිස්සේ පිත්තල භාණ්ඩ වෙළෙඳාමේ යෙදිලා හිටියට අපි දන්නෙ පිත්තල භාණ්ඩ අලෙවිය පැත්තෙන් අපිට එදා තිබුණු අලෙවිය නෑ කියන එක විතරයි.. එතන පැහැදිලිවම අර්බුදයක් තියෙනවා... මෙහෙන් පිත්තල භාණ්ඩ අරගෙන ගිහින් අපේ ගාණ වගේ දෙගුණයක් තෙගුණයක් තියාගෙන ඔය කොළඹ ලොකු තැන්වල විකුණනවා... අතරමැදියන් ලෙස හෝ මේ කර්මාන්තයට දායකවීම ඇත්තටම හරි වටිනවා. ඒත් ඔවුන් විශාල ලාභයක් ආත්මාර්ථකාමී විදිහට හොයන එක නෙවෙයි කරන්න ඕනෑ.. මිලට ගනිද්දී සාධාරණ විදිහට මිලට ගන්න එක.. අපිට පිත්තල භාණ්ඩ නිෂ්පාදන වැඩපොළක් නෑ. අපි කරන්නෙත් අරගෙන විකුණන එක.. නමුත් අපි ගන්න ගණන සහ විකුණුම් මුදල අතර ලොකු පරතරයක් නෑ... ඒත් ඔය කොළඹ ලොකු සාප්පුවල අයිතිකාරයෝ බලන්නෙම සොච්චමට අරගෙන දෙගුණයක් තෙගුණයක් තියාගෙන විකුණන්න...”
ඉස්සර හැම ගෙදරකම වගේ මේ කුකුළා පහනක් තිබුණා... දැන් නවීකරණය වෙච්ච සමාජය මේ වගේ පිත්තල භාණ්ඩ ගෙදරට ගන්නෙ නැති තරම්... පසුගිය කොරෝනා කාලයේ නම් ආදායම් නැත්තටම නැති වුණා... පිත්තල භාණ්ඩ හදන අය කරන්නෙ බඩු ගොඩ ගැහුණම ඉල්ලන ගණනකට අන්තිමේ දීලා දාන එක.”
ඔවුන් පවසන කතාව අභ්‍යන්තරයේ මේ දේශීය කර්මාන්තය මුහුණ දී ඇති ඛේදවාචකය පිළිබඳ ඉඟි රැසකි.
සමන්තගේ වැඩපොළේ අයිතිකරුවන්ගේ පිත්තල වෙළෙඳ භාණ්ඩ අලෙවි සලට අපි ඊළඟට ගොඩ වුණෙමු.
“වෙළෙඳාම් නම් දැන් හුඟාක් අඩුයි. ඒත් අපි පරම්පරාවෙන් මේ කර්මාන්තයේ නියැලෙන අය. මගේ මල්ලිට පිත්තල වැඩපොළක් තියෙනවා.. එතන තමයි අපේ බඩු ඔක්කොම හදන්නේ.. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අලුත් පරම්පරාව මේ කර්මාන්තයට එන්න කැමති නෑ.. ඒ නිසා ඉස්සරහට මේ වැඩපොළවල්වල වැඩ කරන්න මිනිස්සු නෑ.. දේශීය කර්මාන්තයක් විදිහට වෘත්තිය වටිනාකමක් දීලා මේ කර්මාන්තය රැක නොගතහොත් තව කාලයකින් මේ කර්මාන්තය අභාවයට යයි.”
ඩබ්ලිව්. ඒ කරුණාරත්න යනු පිත්තල කර්මාන්ත ක්ෂේත්‍රයේ සැබැවින්ම වැඩකාරයෙකි. ඔහු ඒ වෙනුවෙන් ලද ඇගයීම් බොහොමයකි. අප ඔහු සොයා යද්දී ඔහු නිවෙසේ නොසිටියේය. එහෙත් ඔහුගේ බිරිඳ පැවසුවේ “දැන් එහෙම බඩු හදනවා හරි අඩුයි. ඉස්සර වගේ පිත්තල බඩුවලට ඉල්ලුමක් නෑ. මහත්තයාගෙන් පස්සේ මේක කරගෙන යන්න කෙනෙක් නෑ.. දරුවො අධ්‍යාපනය පැත්තෙන් තමයි ඉස්සරහට යන්න හදන්නේ...”
ඔහු ඒ කර්මාන්තයේ කෙතරම් නිපුණයෙක්ද යන්න ඔහු හිමිකරගෙන ඇති ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන කදිම සාක්ෂියකි.
අද ගම්වල තරුණ පිරිස වෙහෙසෙන්නේ කවර හෝ රැකියාවක් සොයා නගරයට සේන්දු වන්නටය. ඔවුන් දියුණුව දකින්නේ ගම්මානය පිටමං කළ විටය. එසේ සිතන බහුතරයක් නගරයට පැමිණ ගෙවන කටුක ජීවිතය ඔවුන් සොයන සැබෑ ජීවිතය නොවන බව යථාර්ථය වුවත් ඔවුන්ගේ සිහින ගැට ගැසී ඇත්තේම සෙයිලම කේන්ද්‍ර කරගෙනය. මේ බහුතර නාගරික සංක්‍රමණය දේශීය කරමාන්තයන්ගේ අනාගත කොඳු නාරටිය බිඳ දමන්නට හේතු වී ඇත. එහෙත් රටක සැබෑ ආර්ථික සංවර්ධනය යනු දේශීය කර්මාන්ත නගාසිටුවීම ඔස්සේ ධන උත්පාදනය විෂයෙහි මං පාදා ගැනීම යන සිද්ධාන්තයේද එකතුවකි.
සංජීවිකා සමරතුංග
සේයාරූ - චන්දන වරාවිටගේ