අනාගතය පිළිබඳ විදුඇසින් බලන ජාතික දේශපාලනයේ ජීවමාන කෘතහස්ත දේශපාලනඥයෝ අතලොස්සකි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකරයන් ඒ අතරින් කවදත් ප්‍රමුඛයෙකි. එනිසාම කලකට පසුව දේශය අපි ඔහු හා කාලීන සංවාදයකට එළඹුණෙමු. මේ මොහොතේ ජාත්‍යන්තර සහ ජාතික දේශපාලනය පිළිබඳවත් සහ එළඹෙන මහ මැතිවරණය පිළිබඳවත් මෙහිදී ඔහු සුවිශේෂී විවරණයක් සිදුකළේය. මේ සංවාද සටහන ලියැවෙන්නේ ඒ ඇසුරිණි.
ප්‍රථමයෙන් අප අවධානය යොමුවූයේ ලෝක ආර්ථිකයේ සහ ජාතික ආර්ථිකයේ බිඳවැටීම පිළිබඳවයි. ඩිව් ගුණසේකරයන් එය පෙන්වා දෙන්නේ කෝවිඩ් 19 ආගමනයක් සමඟ අප රටේ මෙන්ම සමස්ත ලෝකයේම ආර්ථික දේශපාලන තත්ත්වයන් වෙනස් වී ඇති බවයි. ලෝක ඉතිහාසයේ භයානක වසංගත පැතිර ගොස් ඇති නමුත් වසංගත හේතුවෙන් මේහා විශාල පරිමාවක ආර්ථිකය බිඳවැටීමක් කිසිදා සිදුවී නැත. ඒ අනුව ගෝලීයකරණය වී ඇති ලෝක ආර්ථිකය නූතන ආර්ථික බිඳවැටීමට මෙන්ම වසංගතයේ ව්‍යාපෘතියට මේ වනවිට හේතුවී ඇති බව පෙනී යයි. ඒ අනුව පසුගියදා ලෝක බැංකුවේ අධිපතිවරයාද පෙන්වා දී තිබුණේ නූතන ආර්ථික බිඳවැටීමෙන් ගොඩ ඒමට ලෝකයට තවත් වසර දහයක් පමණ ගතවිය හැකි බවයි.
ගෝලීය අර්බුදය රුසක් තිබෙන වෙලාවක තමා කෝවිඩ් එකත් කඩාගෙන වැටුණේ. අපේ ආර්ථිකයත් ලෝක ආර්ථිකට බද්ධවෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එක්දහස් නවසිය හැත්තෑ අටෙන් පසුව නව ලිබරල් ආර්ථික ක්‍රමයත් එක්ක අන්තර් සම්බන්ධතාවක් ගොඩනැගිලා තියෙන්නේ. මේ මොහොත වනවිට අපේ රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. පළමුවැන්න ආණ්ඩුවට ආදායමක් නොමැති වීම. දෙවැන්න රටට විදේශ විනිමය නොලැබීම. මේ දෙකම ප්‍රධාන අභියෝග දෙකක්.
අප ජාතික ආර්ථිකයේ අද තත්ත්වය දෙස යොමුකරන විට ඩිව් ගුණසේකර දීර්ඝ ලෙස මෙම පැහැදිලි කිරීම සිදුකළේය. ඊට අනුව වසර තිහක යුද්ධයෙන් පසු යම් පමණකට අප ජාතික ආර්ථිකය ගොඩනැගෙමින් තිබිණි. නමුත් 2015 වසරෙන් පසු අප රටේ ආර්ථිකය නැවත බිඳවැටිණි. දේශපාලන අර්බුදය ප්‍රමුඛව ගෝලීය අර්බුදය ඊට හේතු විය. ඒ අනුව සියයට හයක්ව පැවති දළ දේශීය නිෂ්පාදනය සියයට දෙකකට ආසන්න අගයක් දක්වා පහළ ගොස් තිබුණි. කෝවිඩ් ආගමනය සිදුවන්නේ මෙවත් තත්ත්වයක් තුළදීය.
කෝවිඩ් ආගමනය අතරේම දැන් මහමැතිවරණයක් එළඹ තිබේ. ඒ අනුව වර්තමාන අර්බුදයෙන් ගොඩඒමට අවැසි නව පාර්ලිමේන්තුවක් පිළිබඳ මෙම සාකච්ඡාවේදී සංවාදයට ගැනුණි. නූතන සහ මෑතකාලීන දේශපාලන භාවිතායන් පිළිබඳ ඩිව් ගුණසේකර මෙසේ පැහැදිලි කළේය. ඔහුට අනුව ඉතිහාසයේ ඉතාම පිරිහුණු පාර්ලිමේන්තුව පසුගිය පාර්ලිමේන්තුවයි. රටේම අවධානයට ලක්වූ මහ බැංකු මංකොල්ලය ගැන පවා අවුරැදු පහක් යනතෙක් විවාදයක් පැවතියේ නැත. මෙය දේශපාලන සංස්කෘතියේ පිරිහීමයි. එක්දහස් නවසීය හැත්තෑ අටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මැතිවරණ ක්‍රමය ආදිය මෙම පිරිහීමට සාධක වී තිබේ.
උගත් බුද්ධිමත් අය මැතිවරණයකට එන්න කැමති නෑ. ඒ නිසා සල්ලි තියන මිනිස්සු හිතවත්කම් තියන මිනිස්සු ඉදිරියට එන්නේ. අද ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඉන්න කොටස් පොතක් පත්තරයක් කියවන්නේ නෑ. සමහර මන්ත්‍රීවරු හිටියා දිස්ත්‍රික්කයේ පළවෙනියාට ආව අය. අවුරුදු පහක් යනකල් කතා කළේ නෑ. නමුත් ගිහින් පැන්ෂන් එක ගන්නවා. පහුගිය පාර්ලිමේන්තුවේත් හිටියා. හැමදාම පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නෑ. ඒ ගැන ප්‍රශ්නය කරන්නත් බෑ. හැබැයි මන්ත්‍රීවරු ඔක්කොම පාර්ලිමේන්තුවේ කැන්ටින් එකේ තේ බොනවා කනවා. ඇතුළට එන්නේ නෑ. අපි ඒකේ හිටපු හින්දා දන්නවා මහජනයා දන්නේ නෑ. ඊළඟට අයවැය ගැනවත් කතා කරන්නේ නෑ. විදේශ ප්‍රතිපත්තිය ගැන විවාදයක් අවුරැදු දහයකින් විතර තිබිලා නෑ.
ඩිව් ගුණසේකර පෙන්වාදෙන පරිදි පාර්ලිමේන්තුවේ ඇති ස්ථාවර අණපනත්වල මන්ත්‍රීවරයාගේ භුමිකාව සඳහන් කර තිබේ. ඒ අනුව පළමුවැන්න නීති සම්පාදකයකු වීමයි. දෙවැන්න ප්‍රතිපත්ති සම්පාදකයකු වීමයි. තෙවැන්න මූල්‍ය අධීක්ෂණයයි. සිව්වැන්න ජනතා ප්‍රශ්න නියෝජනයයි. එහෙත් ඇතැම්හු එම කාර්යය හතරෙන් එකක්වත් හරියාකාරව සිදුනොකරති.
රට හමුවේ ලොකු අර්බුදයක් තිබෙනකොට මේ අයට ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ ශක්තියක් නෑ. කියවන්නේ නැත්නම් ලෝකේ වෙන දේවල් දන්නේ නැත්නම් ඒක කරන්න බෑ. එක්දහස් නවසීය පනස් හයේ පාර්ලිමේන්තුවේ සිටි එම්.එස්. තේමිස් තැපැල් පියුන් කෙනෙක්. ඔහු විදේශ ප්‍රතිපත්ති ගැන කතා කරනකොට සර් ජෝන් කොතලාවල ඔලුවේ අත ගහගත්තා. වමේ පක්ෂවල ඉඳලා ආපූ ඔහු හොඳට සූදානම්වෙලා පාර්ලිමේන්තුවට ආවේ. අද විදේශ ප්‍රතිපත්තිය ගැන කතා කරන්න එක මිනිහෙක් නෑ.
ඩිව් ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ දැන් අලුත් ජනාධිපතිවරයෙක් සිටින නිසා ඔහු සමඟ කටයුතු කිරීමට හොඳ පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවයි. ඔහුට අනුව අවම වශයෙන් හොඳ මිනිසුන් විස්සක් විසිපහක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණහොත් අනාගතය පිළිබඳ යම් බලාපොරොත්තුවක් අපට තබාගත හැකිය. එසේ නොමැති වුවහොත් අවශ්‍ය සම්පත් වෙනත් ආකාරයකට සොයා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත. එවිට මිල්ටරි ආණ්ඩුවක් හදන්නට යනවා වැනි චෝදනා එල්ල විය හැකිය.
පාර්ලිමේන්තු ඇතුළේ අය වශයෙන් සුදුස්සන් යම් කොටසක්වත් සිටිය යුතුයි. දැන් ජනමතයක් වර්ධනය වෙනවා. සමහර දිස්ත්‍රික්කවලට ගියාම අපිට පේනවා. හොඳ මිනිස්සුන්ට ඡන්දය දීමේ නැඹුරුතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම තරුණ කොටස් අතර. ඒ වගේම සමාජ මාධ්‍යවල බලපෑම තිබෙනවා. මම ඒ මතවාදය ප්‍රවර්ධනය කරනවා. මොන පක්ෂය වුණත් ඒවා ඇතුළේ හොඳ මිනිස්සු නැත්තේ නෑ. ඒ අය පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ජනමතයක් තිබෙනවා. ඒ නිසා සතුටුදායක ප්‍රතිඵල ඇතිවෙයි කියලා මම නම් හිතනවා ඊළඟ පාර්ලිමේන්තුවේ.
කෙසේ නමුත් පක්ෂ ලැයිස්තු සකස් කිරීමේදී දූෂිතයන්ට තවදුරටත් අවස්ථාව ලබාදීම පිළිබඳවද සංවාද දික්ඇදුණි. එහිදී ගුණසේකර මහතා පැහැදිලි කළේ පවතින මැතිවරණ ක්‍රමය තුළ උගත් බුද්ධිමත් මිනිසුන්ට දේශපාලනය කළ නොහැකි බවයි. සම්පූර්ණ දිස්ත්‍රික්කය තුළ සිදුවන ප්‍රචාරණය වියදම් අධික කටයුත්තකි. එසේම දේශපාලන පක්ෂද අපේක්ෂකයන් තෝරාගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ ඔවුන්ගේ මූල්‍ය හැකියාව පිළිබඳ පමණි. අද රටේ හැම පක්ෂ තුළ ඇත්තේ මෙම තත්ත්වයයි. මේ අතර අතීතයේ බුද්ධිමත් නායකයන් විසින් ගත් තීරණ අදද අපිට ආරක්ෂා කරන අයුරු ඩිව් ගුණසේකර පැහැදිලි කරයි.
පාර්ලිමේන්තුවට යන්න ඕනෑ හිතන්න පුළුවන් මිනිහෙක්. දැන් කවුරුවත් ප්‍රශ්නය ගැන හිතන්නේ නෑ. කෝවිඩ් ප්‍රශ්නය ගැනම කොයිතරම් ගැඹුරෙන් හිතන්න කාරණා තිබෙනවාද? ඇයි ඇමරිකාව වගේ දියුණු රටවල විතරක් ආසාදිතයන් වැඩි වුණේ? මරණ ගාන වැඩි වුණේ? ප්‍රධානම දේ ඒ රටවල මහජන සෞඛ්‍ය පද්ධතියක් නෑ. අපිට හැම ගමකම වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ ඉන්නවා. කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ ඩිස්පැන්සරි තිබෙනවා. එහෙම වුණේ එක්දහස් නවසිය තිස්හතරේ මැලේරියා වසංගතය වෙලාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සටන් කරලා අපේ නායකයෝ මහජන සෞඛ්‍ය පද්ධතිය හදපු නිසා. නිදහස් අධ්‍යාපනයයි මහජන සෞඛ්‍ය පද්ධතියයි එකට ආවේ...
ඩිව් ගුණසේකර පෙන්වා දෙන්නේ එදා නායකයන් නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය පද්ධතිය සකස් කළ නිසා අප කෝවිඩ් අනතුරෙන් යම් පමණකට ගැලවී සිටින බවයි. ඒ නමුත් අද අනාගතය ගැන සිතිය හැකි බුද්ධිමත් නායකයන් අප රට තුළ නොමැතිවීම අනාගත කෙරෙහි අයහපත් තත්ත්වයකි. එනිසාම සිතිය හැකි මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමට මොහොතේ ජනතාව වග බලාගත යුතුය. එය රටේ අනාගත කෙරෙහි ඉතා සාධනීය ලෙස බලපානු ඇත. නැතිනම් අප හමුවේ අති අනාගතය ඉතා අවිනිශ්චිතය.
සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා