කොළඹ ඇතුළු තදාසන්න බන්ධනාගාරවල සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, විවිධ පාතාල අපරාධ හා නීතිවිරෝධී ක්‍රියා සැලසුම් කරන බවට තොරතුරු අනාවරණය වන්නේ අද ඊයෙක නොවේ. එහෙත් එම ක්‍රියාවන් මැඩපැවැත්වීම කෙසේවෙතත්, දිනෙන් දින ඒවා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට ඉඩ හැර ඇති බවද රහසක් නොවන්නේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා බන්ධනාගාර බලධාරීන් ගෙන්වා කළ සැර කතාවෙන් මෙතෙක් බන්ධනාගාරය තුළ අපරාධකරුවන් නිදැල්ලේ හැසිරී ඇති අයුරු කදිමට හෙළි විය.
බන්ධනාගාර තුළ හැමදාමත් සිදුවන මෙම සැබෑම දේවල් ගැන අප කතා කළේ, වසර ගණනාවක පටන්ය. ඊට උරණ වූ ඇතැම් ඉහළ නිලධාරීන් පුවත්පත් පැමිණිලි කොමිසමට පවා ගියේ වරක් දෙවරක් ද නොවේ. ඇතැමුන් දොස් නගා ලිපි යොමු කරන්නට වූ අතර, බන්ධනාගාර හවුල් සංගම් දෙපාර්තමේන්තුවේ ගෞරවය ගැන අපට කියා දුන් වාර ද අනන්තය. දැන් එහි සැබෑ නිරුවත හෙළි වී අවසන්ය. හිටපු බන්ධනාගාර ලොක්කාට ගෙදර යන්නට සිදුවිය. පරිපාලන ලොක්කා ද ඉවත් වීමට සූදානම්ය. ඒ අතර අලුත් ලොක්කා වැඩ බාරගෙන ද වැඩි දිනක් නැත. නව අධිපති තුෂාර උපුල්දෙණිය මහතා දෙපාර්තමේන්තුවේම නිලධාරියෙකි.
වැලිකඩ බන්ධනාගාරය මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට නිජබිමක්ය, අපරාධ සැලසුම්වලට තෝතැන්නක්ය යන්න පිළිබඳ විවාදයක් ද නැත්තේ ඒවා ඇතිහැටියෙන් සිදුවන බව රට දන්නා නිසාය. මහා පරිමාණ මත්කුඩු ජාවාරමුන් අතර මරණ දඬුවම නියම වූ වෙලේසුදා, සුසෙයි ඇතුළු සිරකරැවන් බන්ධනාගාරය තුළ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවූ බවට පසුගිය කාලය පුරාම දිගින් දිගටම තොරතුරැ අනාවරණය වුවද, ඒවා වළක්වන්නට ගත් පියවරක් ගැන අසන්නට නැත.
පාතාල අපරාධකරැවන් රුසක්ම මේ වන විට වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර තුළ සිට සිය අණසක පතුරවාගෙන සිටින බව නොදන්නා කෙනෙක් නැත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගාල් කර සිටින පාතාල කල්ලි ගණන 20කට වැඩිය. කෙසේවෙතත්, මෙම අපරාධකරුවන් පිළිබඳ සියලු තොරතුරු රාජ්‍ය බුද්ධි අංශ, රහස් පොලීසිය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රජයට වාර්තා කිරීමත්, බූස්ස බන්ධනාගාරය පිළිබඳ කතාබහ කරළියට ඒමත් සිදුවී වසරකට වැඩිය.
බූස්ස බන්ධනාගාරය තුළ විශේෂ ගණයේ අපරාධකරුවන් ආරක්ෂිත කුටිවල තනි තනිව රඳවා තැබීමේ සැලසුම ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා විශේෂ ආරක්ෂිත සිරකුටි 46ක්ද ඉදිවිය. මරණ දඬුවම්, ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරමුන් මෙන්ම නමගිය පාතාල අපරාධ සැකකරැවන් සියලුම දෙනා බූස්සට මාරැ කර යැවීම ආරම්භ විය. එය ද ඉබි ගමනේය.
ඒ අනුව, මුල්ම කණ්ඩායමට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වෙලේසුදා, සුසෙයි, කංජිපානි ඉම්රාන්, දුම්බර පොට්ට නවුෆර්, සී.ආර්.පී. කොස්ගොඩකාරක ඇතුළු රුඳවියන් ගණනාවක්ම බූස්සට යැවුණේ විරෝධතා මැද්දේය. දූෂිත බන්ධනාගාර නිලධාරීන් රුසක්ම ඉන් කිහිප දෙනකුගේ ගමන වළකාලන්නට විවිධ උත්සාහ දැරෑ බවට ද චෝදනා නැත්තේ නොවේ. සියල්ල මුදලට යටවීමට තිබූ ඉඩකඩ රජයේ මැදිහත්වීම මත ව්‍යවර්ථ විය.
මේ වන විට ප්‍රබල පාතාල අපරාධකරුවන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඇතුළු සිරකරැවන් හා සැකකරැවන් 23 දෙනකු පමණ බූස්සේය. තනි තනිව දැඩි ආරක්ෂක රැකවල් යටතේ මොවුන් රඳවා සිටියද, ඇතැම් නිලධාරීන්ට ඔවුන්ගේ තර්ජනවලට පවා මුහුණදීමට සිදුවී ඇති බවට කතා පසුගිය දිනවල අසන්නට ලැබුණි. පොලිස් විශේෂ කාර්ය බළකාය මෙහි ආරක්ෂාවට යෙදවීමත් සමඟම, සියල්ල විසඳී ඇති බවද සඳහන්ය.
එස්.ටී.එෆ්. ආරක්ෂාව නොලැබෙන්නට ඇතැම් බන්ධනාගාර නිලධාරීන් රාජකාරියට වාර්තා කිරීම පවා පසුගිය කාලය තුළ හරිහැටි සිදු නොකළ බවට ද චෝදනා ඇත. මෙහි ඇතැම් පාතාල අපරාධකරුවන් කොළඹ අධිකරණ වෙත රැගෙන යාමේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණු බවද නොරහසකි. මෙම බන්ධනාගාරයේ සී.සී.ටී.වී. කැමරා 60 ක් පමණ සවිකර තිබියදීත්, කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සඟවා තිබී අවස්ථා 4කදී පමණ ජංගම දුරකතන හා සිම්පත් වරින්වර සොයාගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කීවේ දූෂිත නිලධාරීන් ගැන ද ඉඟි කරමිනි.
පොට්ට නව්ෆර්ගේ සිරකුටියේ තිබී එක් වරක් ජංගම දුරකතනයක් වැටලීමකදී හසුවී තිබුණු බවට ද තොරතුරු වාර්තා විය. ඊට එරෙහිව සිරකරුගෙන් ගෝරණාඩු එල්ල වූ බවට ද කතා නිමක් නැත. ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ඉකුත්දා හදිසියේම බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූයේ එහි ආරක්ෂක තත්ත්වය සොයා බලන්නටය.
එදින එස්.ටී.එෆ්. නිලධාරීන් යොදවා සිරකුටි පරීක්ෂාවක් සිදුකළ අතර, එදින ද කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී ජංගම දුරකතන දෙකක් සොයාගත්තේ කවුරැත් විශ්මයට පත් කරමිනි. එහිදී ආරක්ෂක ලේකම්වරයාට දැනගත හැකි වූයේ, මෙම සිරකුටියේ තිබී 4 වතාවක් ජංගම දුරකතන සොයාගෙන ඇති බවය.
එම බන්ධනාගාරය භාරව සිටි සහකාර අධිකාරී පුලින කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මොහොතේම ගාල්ල බන්ධනාගාර අධිකාරී පල්ලේතැන්න මහතා යටතට පත් කර, අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරී කේ.එම්.එස්. ධම්මික මහතා බූස්සට පත් කරනු ලැබීය.
මේ වන විට බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂිත සිරකුටි 100 ක් නාවික හමුදා ඉංජිනේරැ අංශ විසින් ලහිලහියේ සිදුකරගෙන යන අතර, කොළඹ හා තදාසන්න බන්ධනාගාරවල සිට මත්කුඩු ජාවාරම් හා පාතාල අපරාධ ඇතුළු නීතිවිරෝධී ක්‍රියා මෙහෙයවන විශේෂ ගණයේ සියලුම රැඳවියන් බූස්සට ගෙන ඒමට සැලසුම් කර ඇත. ඒ සඳහා බුද්ධි අංශ සමඟ රහස් පොලීසිය එක්ව ආරක්ෂක අමාත්‍යාංශය වෙත නම් ලැයිස්තුවක් පවා ඉදිරිපත් කර අවසන්ය.
නව කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඉකුත්දා වැඩ බාරගැනීමත් සමඟම ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩ පෙන්වන්නට සමත් වී ඇත්තේ සහකාර අධිකාරිවරයකු ලෙස හා කොමසාරිස් (සැපයුම්) මාධ්‍ය ප්‍රකාශක ලෙස ලත් හසල අත්දැකීම් ද සමඟය. ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ මෙම 9දා සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 62 ක් ඇතුළු උපාංග රැසක්ද, මත්කුඩු ග්‍රෑම් 16ක්ද, මැගසින් බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 12ක්ද, දුම්බර බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 04ක්ද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 02ක්ද, බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
බන්ධනාගාර වාර්තාවකට අනුව 2010 – 2014 කාලය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 699.8 ක් වන අතර, හෙරොයින් පැකට් ප්‍රමාණය 4368 කි. එම කාලය තුළ ජංගම දුරකතන 10789ක්ද, මුදල් රැපියල් 17,44920,50ක්ද, අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී ඇතත්, නැවතත් එම දුරකතන ඔවුන්ටම ලැබෙන්නේද යන්න සැකයක් පවතින්නේ, පසුදින කරන ලද වැටලීමකදීත් එවැනිම තොගයක් හමුවීම නිසාය.
නව කොමසාරිස් ජනරාල්වරයා පාතාල අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් මුළුමනින්ම මැඩපවත්වන්නට තීරණය කර මුලින්ම බන්ධනාගාර ශුද්ධ කිරීමටත්, ඉන්පසු හසුවන නීතිවිරෝධී ද්‍රව්‍ය හා උපකරණ සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර අධිකාරීවරැන් වගකිවයුතු බවටත් කියා තිබුණි.
වැරදි කරන දූෂිත නිලධාරීන්ට කිසිදු සමාවක් නොලැබෙන බවට ඔහු කර ඇති ප්‍රකාශය ද වැදගත්ය.
ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බන්ධනාගාර සංකල්පය උපුල්දෙණිය මහතා විසින් ඉටුකර දෙනු ඇති බවට සැමගේ බලාපොරොත්තුවය. දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨතම, එහෙත් මෙතෙක් පහළ නොවූ ලාබාලම කොමසාරිස් ජනරාල්වරයා ගන්නා ක්‍රියාමාර්ග දෙස රටම බලා සිටී.
%සිරකරැවෝ ද මනුෂ්‍යයෝය^ යන්න මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයේ ලියා ඇත්තේ කලක පටන්ය. ඉන් අදහස් වන්නේ කවර නම් වරදක් අරභයා දඬුවම් ලැබ සිරගත වුවද, ඒ සියලු දෙනාටම වරදේ ස්වභාවය අනුව හෝ වෙනත් කිසිදු හේතුවක් නොසලකා කටයුතු කිරීමය. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට හා අනෙකුත් සියලු ජගත් සම්මුතීන්ට අනුව, එය එසේ සිදුවිය යුත්තකි.
කොන්ත්‍රාත් මිනීමරැවන්ටත්, ගමේ කොස්ගෙඩියට, පොල්ගෙඩියට මිනීමරා එල්ලුම්ගස් ගිය සිරකරැවන්ටත්, බන්ධනාගාරය තුළදී සැලකුම් දෙවිදියකට නම්, අපරාධකරැවන්ට බන්ධනාගාරය තෝතැන්නක් නොවන්නේද?
එහෙත්, පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ කැබිනට් තීන්දු මත වරින්වර පත්වූ පරිපාලන සේවයේ ඇතැම් උසස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ද දෙපාර්තමේන්තුවේ පරිහානියට හේතු වූ බවට කරුණු කියන්නේ ද එහි නිලධාරීන්මය.
කෙසේවෙතත්, දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස වසර 25 ක් කටයුතු කළ අතිරේක කොමසාරිස් ජනරාල් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා තමාට වඩා වසර 10 ක් පමණ කනිෂ්ඨයකු වූ වත්මන් කොමසාරිස් ජනරාල්වරයා යටතේ තවදුරටත් සේවය කළ නොහැකි බව කියමින්, වසර 2 ½ක සේවය ඉතිරි කර විශ්‍රාම ලියකියවිලි බාර දී ගෙදර ගියේ, බන්ධනාගාර පරිපාලනයේ පවතින දුර්වලතා පිළිබඳව මුළු රටටම පණිවුඩයක් ද දෙමිනි.
වත්මන් කොමසාරිස් ජනරාල්වරයා වැඩ බාරගත් දිනයේ, එනම් ඉකුත් 8 වැනිදා වෙනුර ගුණවර්ධන මහතා සේවයෙන් ඉවත් වීමද සුවිශේෂී සිද්ධියක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයට එක්වූයේ ප්‍රථම වරටය.
ඉකුත් 9 වැනිදාද, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් තවත් සිරකුටි කීපයක් හදිසි පරීක්ෂාවට ලක්කළේ කිසිවෙකුටත් නොදැනෙන පරිද්දෙනි.
සී.සී.ටී.වී. කැමරා මගින් ලබාගන්නා තොරතුරැ මත සිදුකළ එම හදිසි සෝදිසි මෙහෙයුමේදී සුසෙයි නොහොත් ධර්මරාසා, කොස්ගොඩ තාරක හා ගෞතම් නැමති විශේෂ ගණයේ රුඳවියන්ගේ සිරකුටිවල සඟවා තිබී නවීන දුරකතන 3ක්ද, සිම්පත් තොගයක් ඇතුළු දුරකතන උපාංග රුසක්ද, සොයාගනු ලැබුයේ කිසිදු හාහූවක් නැතිවය.
මේ වනවිට කොස්ගොඩ තාරක කොළඹින් බූස්සට එවා වැඩිදිනක් නොමැතිවීමද මෙහි මහ පුදුමය වන්නේය. බන්ධනාගාරවල සිට ජංගම දුරකතන මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්, ඝාතන සැලසුම්, ඇතුළු අපරාධ සැලසුම් කරන බවට මාරැකර එවන ලද කංජිපානිලාගේ, තාරකලාගේ, සුසෙයිලාගේ සිරකුටි තුළින් තවමත් මතුවන්නේද විවිධ ගනයේ නවීන පහසුකම් සහිත ජංගම දුරකතනය.
ඒ අනුව, සති දෙකක් තුළ එම සිරකුටිවලින් ජංගම දුරකතන 5ක් හමුවී අවසන්ය. ඒවා සියල්ල රහස් පොලිස් පරීක්ෂණ හමුවේය.
කෙසේ වෙතත්, එස්.ටී.එෆ්. සහායට මේ වනවිට බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් 11ක්ද, ස්ථානගත කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මතය. එස්.ටී.එෆ්. භටයන් 130ක් සමඟ ඔවුන් හෙට දිනයේ තවත් විපර්යාස රුසක් සිදුකරනු ඇත.මෙම සිරකුටි තුළින් හමුවන ජංගම දුරකතන ඇතුළු උපකරණ ආවේ කෙසේද? යන්නට අදටත් හරිහැටි පිළිතුරක් නැත්තේ, නඩු කටයුතුවලට පිටතට රැගෙන යන මොවුන් රහස් ස්ථානවල සඟවා ගෙනෙන දුරකතන හා මත්ද්‍රව්‍ය ගැන පරීක්ෂා කරන්නට මෙම විශේෂිත බන්ධනාගාරය තුළ එකම පරීක්ෂණ උපකරණයක් හෝ නොමැතිකම නිසාය.
මීට වසර දෙකකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය හෙළිකරගෙන ඇති අන්දමට ජාත්‍යන්තර මත්කුඩු මධ්‍යස්ථානයේ කේන්ද්‍රස්ථානය හා දුරකතන මධ්‍යස්ථානය වැලිකඩ බන්ධනාගාරය වන අතර, සෑම මාසයකට වරක් ඇමතුම් 3000ක් පමණ ඒ හරහා ලබාගන්නා බවත් ඒ සෑම ඇමතුමක් සඳහාම රුපියල් 2000ක් බැගින් ගෙවන බවත් සොයාගෙන තිබේ.
ජයන්ත සමරකෝන්