බස්නාහිර පළාතේ බොහෝ සෞඛ්‍ය ආයතනවල මාර්තු මාසයේ සිට ලැබිය යුතු දීමනා කිසිවක් වෛද්‍යවරැන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ තුළ පසුගිය සතියේ අර්බුදයක් පැන නැගුණි. සුවවිරුවන් ලෙස කෝවිඩ් සමඟ ජනතා ගෞරවයට පාත්‍ර වූ මෙම පිරිස සම්බන්ධව ඇතිවී ඇති කතාව විමසීම වටී. ඒ නිසාම අපි ඒ පිළිබඳ සොයාබැලීමට තීරණය කළෙමු.
මෙම ගැටලුව කරළියට ගෙන ආවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට බස්නාහිර පළාතේ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා, නිවාඩු දින දීමනා, පර්යේෂණ දීමනා මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලවල අතිකාල දීමනා හා නිවාඩු දින දීමනාද මේ දක්වා ලැබී නැත. අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවූ නමුත් එහිදීද පවතින ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබී නැත. කෙසේ වෙතත් පළාත් සභාව මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම දීමනා ගෙවීම ප්‍රමාද වී ඇති බව දැනගන්නට ලැබේ.
වෛද්‍ය සංගමය පෙන්වා දෙන ආකාරයට බස්නාහිර පළාත් සභාවට අයත් සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත වන සමස්ත වෛද්‍යවරුන් ප්‍රමාණය පමණක් 2500ට අධිකය. අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දහස් සංඛ්‍යාවක සේවක පිරිසක් සිටිති. ඔවුන් සියලුදෙනා පසුගිය මාස කිහිපය තුළ කෝවිඩ් මර්දන සඳහා කළ සේවය අතිමහත්ය. අධික අවදානමක් පැවති බස්නාහිර පළාත කෝවිඩ් අවදානමෙන් මෙපමණකට හෝ මුදාගැනීමට හැකිවූයේ ඔවුන්ගේ කැපවීම නිසාවෙනි. එවන් කාර්යයක් සිදුකළ මෙම පිරිසට මේ මොහොතේ සිදුව ඇති අසාධාරණය සියලු බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුය.
ඔවුන්ට මෙම දීමනා ගෙවීම සඳහා රැපියල් මිලියන 800ක පමණ මුදල් හිඟයක් පවතියි. මහා භාණ්ඩාගාරය මගින් මීට අදාළ මුදල් පළාත් සභාව වෙත ලබාදී නැත. කෙසේ නමුත් දැනට පවතින ආර්ථික අපහසුතා මත මෙවන් මුදල් ප්‍රමාද වීම් රැසක් සිදුවී ඇතැයි කියැවේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇතිවී තිබෙන ගැටලුව විසඳීමට මහා භාණ්ඩාගාරය මගින් මීට අදාළ මුදල් පළාත් සභාවට යොමු නොකරන්නේ නම් රේඛීය සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අය විය යුතු රැපියල් මිලියන 800කට ආසන්න හිඟ මුදලෙන් කොටසක් ලබාදිය යුතු බවයි.
අප පළාත් සභා බලධාරීන්ගෙන්ද මේ පිළිබඳව විමසීමක් කළෙමු. ඒ අනුව පසුගිය බදදා වනවිට බස්නාහිර පළාත් සෞඛ්‍ය අංශයෙන් අපට ලැබුණේ මෙවන් පිළිතුරකි. පසුගිය මාස කිහිපයේ පළාත් සභාවට නිසි පරිදි ආදායම් නොලැබී යාම නිසා මූල්‍ය දුෂ්කරතා හටගෙන තිබේ. කෙසේ නමුත් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශයේ අතිකාල දීමනා සහ අමතර දීමනා වෙනුවෙන් අවශ්‍ය වී ඇත්තේ මිලියන හාරසීයක මුදලකි. එය පළාත් සභාව විසින් සපයා ගත යුතුය. වැටුප් සඳහා පමණක් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙයි. දැනට මෙම ගෙවීම් වෙනුවෙන් මිලියන දෙසීය පනහක මුදලක් පළාත් සභාවෙන් අදාළ අංශවලට ලබා දී ඇත.
එහෙත් එය බෙදාදීම සම්බන්ධව පළාත් සෞඛ්‍ය අංශ ගැටලුවකට මුහුණ දී සිටියි. කුමන කාර්ය මණ්ඩලයට කුමන රෝහල්වලට ගෙවීම් සිදුකරන්නේදැයි තීරණය කිරීම ඔවුනට බැරිය. මේ අතර බස්නාහිර පළාත් සභා මූල්‍ය අංශයෙන්ද අපි මේ පිළිබඳ සොයා බැලුවෙමු. ඔවුන් පැවසුවේ ජනවාරි පෙබරවාරි අප්‍රේල් දක්වාම අදාළ මුදල් තම අංශය විසින් ලබා දී ඇති බවත් මැයි මාසයේ මුදල් ලබාදීමට ඇති බවත්ය. කෙසේ නමුත් ඉදිරි දින කිහිපයේදී එම ගෙවීම්ද සිදුවනු ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. මහ භාණ්ඩාගාරයෙන්ද මේ සම්බන්ධව ඉල්ලීම් කර ඇති බව මෙහිදී දැනගන්නට ලැබුණි.
මේ අතර අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ විමසීමකට අනුව කියැවුණේ මාර්තු අප්‍රේල් මාසවලට අදාළ දීමනාද තවම ලැබී නොමැති බවයි. එය කෙසේ වෙතත් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ඇතුළු පිරිස මෙම දීමනා වෛද්‍යවරැ ප්‍රමුඛ කාර්ය මණ්ඩලවලට ලබාදීමට විශාල ආයාසයක් දරන බවද අණාවරණය කර ගතිමු. පසුගිය මාසවල දිවා රූ නොබලා වෙහෙස වූ මෙම සුවවිරැවන් වෙනුවෙන් සාපේක්ෂව වෙනදාට වඩා වැඩි අතිකාල සහ දීමනා ප්‍රමාණයක් ලැබීමට නියමිත වීම මෙහිදී ගැටලුවක් වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය ජූනි තුන්වැනිදා බස්නාහිර පළාතට අයත් සෞඛ්‍ය ආයතනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් රුස්වී මේ ගැටලු සම්බන්ධව තීරණ කිහිපයකට එළඹී තිබේ. ප්‍රධාන වශයෙන් පවතින තත්ත්වය තුළ සියලු පළාත් සෞඛ්‍ය ආයතන මධ්‍යම රජයට පවරාගන්නා ලෙස බලකිරීමට ඔවුන් තීරණය කර තිබේ. එසේම බලධාරීන් විසින් ගැටලුවට නිසි විසඳුම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කරනුයේ නම් අවසන් පියවර ලෙස විධායක සභාවේද අනුකුලතාවය ලබාගනිමින් සමස්ත බස්නාහිර පළාත තුළ වෛද්‍ය ආයතන තුළ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම පිළිබඳ සලකා බැලීමටද ඔවුන් තීරණය කර තිබේ.
මේ අතර රේඛීය අමාත්‍යංශෙයන් බස්නාහිර පළාත් සභාවට සැලකිය යුතු මුදලක් අයවිය යුතුව තිබෙන බවද අනාවරණය විය. මෙම මුදල ලබා ගැනීම වෙනුවෙන්ද පළාත් සෞඛ්‍ය බලධාරීහු උත්සාහ දරමින් සිටිති. පළාත් සෞඛ්‍ය ආයතන මධ්‍යම රජයට අනුබද්ධ කිරීම පිළිබඳ කතිකාවක්ද මේ අතර නිතර ඇසෙමින් තිබේ. කෙසේ වෙතත් එය දැවැන්ත සාකච්ඡාවකි.
කෙසේ නමුත් අප මෙම සටහන තබන මොහොත වනවිටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින කිවයුතුය. ඒ ගැටලු දෙස සංවේදීවීම සියලු බලධාරීන්ගේ යුතුකමකි. මන්ද ඔවුන් මේ මොහොතේ සිදුකරමින් සිටින්නේ සමස්ත රටේම අනාගතය කෙරෙහි බලපාන සුවිශේෂී රාජකාරියකි. එනිසා මධ්‍ය සංදර්ශනවලදී ඔවුන් ඇගයීම නොව මේ මොහොතේ ඔවුන් ආරක්ෂා කිරීම කාගේත් යුතුකමකි.
චමිඳු නිසල් ද සිල්වා