2020 ජුනි 06 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ දේශපාලනයේ බින්න බැස්ස තොණ්ඩමන්ලා

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 331

ලංකා කම්කරු කොංග්‍රස් නායක සහ හිටපු ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය මැයි 26 දින හෘදයාබාධයකින් මරණයට පත්වූයේ  ඔහුගේ පනස් හය වැනි උපන් දිනයට තවත් දින දෙකක් ඉතිරිව තිබියදීය. 1964 මැයි 29 දින උපත ලද තොණ්ඩමන් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු ප්‍රථමවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1994දීය. එතෙක් කම්කරැ කොංග්‍රසයේ නායකයාව සිටි තම සීයා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු 1999 සිට කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත් ඔහු විවිධ රජයන් යටතේ ඇමැති ධුර දැරූ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට නාමයෝජනාද ඉදිරිපත් කර තිබිණි. ඔහුගේ මරණයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුවේ අපේක්ෂකයා ලෙස ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් පත් කිරීමට ලංකා කම්කරැ කොංග්‍රසය තීරණය කර තිබේ.

‍වතුකරයේ රජුන් තනන්නා ලෙස ප්‍රකටව සිටියේ ඔහුගේ සීයා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාය. වතුකරයේ ජනතාවට ඔහු දෙවියකු බඳු වූ අතර ඔහුට පිටින් කිසිවක් කිරීමට වතුජනයා කටයුතු කළේ නැත. බලයට පත්වන සෑම රජයකටම වතුකරයේ ඡන්ද ලබාගැනීම සඳහා ඔහුගේ කේවල් කිරීමට යටත්වන්නට සිදුවිය. ඔහුගෙන් පසු ආරැමුගම් තොණ්ඩමන්ද එම ප්‍රතිපත්තියම අනුගමනය කළේය. කුමන රජයක් බලයට පත් වුවද එම රජය යටතේ ඇමතිකම් ලබා ගැනීමට ඔහුට හැකිවූයේ එකී කේවල් කිරීමේ බලය තොණ්ඩමන්වරැන් අතර පැවතීම හේතුවෙනි. පසුකාලීනව තොණ්ඩමන්ලාට එරෙහිව වතුකරයෙන්  චන්ද්‍රසේකරම්, දිගම්බරන් වැනි පුද්ගලයන් මතු වුවද තොණ්ඩමන්ලාට දැඩි බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි විය.

තොණ්ඩමන්ලාගේ ඉතිහාසය බොහෝ අතීතයට දිවයන්නකි. සෞම්‍යමූර්ති තොණ්ඩමන් උපත ලැබුවේ එවක මදුරාසි ප්‍රාන්තය ලෙසින් හැඳින්වුණු තමිල්නාඩුවේ මුනාපුදුර් හිදීය. ඔහුගේ පියා කුමාරවේල් කරුපයියා වූ අතර මව සිත්තම්මායි වූවාය. 
ක්‍රි. ව. 1686 රාමනාද් රාජධානියේ පාලකයා වූයේ රඝුනාථ කිලාවන් සේතුපති නමැති රජුය. එම රාජධානියේ පුදුකෝට්ටෙයි ප්‍රදේශය පාලනය කළේ පල්ලවරායන් නම් ප්‍රධානියෙකි. එම ප්‍රධානියා තම රාජ්‍යයට අහිතවත් බවට සැකකළ සේතුපති රජු ඔහු නෙරපා හැර ඔහුගේ කල්ලාර් කුලයට අයත් බිසව වන කතයි නාචියාර්ගේ සහෝදරයා වන රගුනාථ රායා තොණ්ඩමන් පුදුකෝට්ටෙයි හි නව පාලකයා ලෙස පත් කළේය. සේතුපති රජුගේ අභාවයෙන් පසු, පුදුකෝට්ටෙයිහි පාලකයා වූයේ තොණ්ඩමන්ය. 

සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පියා වූ කරැපයියා පුදුකෝට්ටෙයි තොණ්ඩමන් රාජකීය පවුලට අයත් වූවෙක් විය. එහෙත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ විවිධ අර්බුදවලට මුහුණ දුන් තොණ්ඩමන්වරු ඒ වනවිට ආර්ථික වශයෙන් අගාධයට වැටී සිටියහ. දරිද්‍රතාවයෙන් මිදීම සඳහා කරුපයියා එවක සිලෝන් නමින් හැඳින්වූ ලංකාවට සංක්‍රමණය වූයේ රුකියාවක් සඳහාය.

ටී. සභාරත්නම් විසින් රචිත Out of Bondage- The Thonadaman Story නමැති කෘතියේ සඳහන් වන පරිදි ලංකාවට පැමිණි කරැපයියා වෙළෙඳසලක සේවකයකු ලෙස රුකියාවක නිරත විය. පසුව වතුයායක කම්කරැවකු ලෙසද කංකානි වරයකු ලෙසද සේවය කළේය.  ඔහුගේ අරමුණ වූයේ කෙදිනක හෝ තේ ඉඩමක් මිලදී ගැනීමය. තමන් ඉපැයූ වැටුපෙන් කොටසක් ඉතිරිකරගත් ඔහු රම්බොඩ ප්‍රදේශයේ අතහැර දැමුණු තේ වත්තක් මිලට ගැනීමට සමත් විය. වැවෙන්ඩන් වතුයාය නම් වූ එහි ඉතා මහන්සියෙන් තේ වගා කළ ඔහු ක්‍රමයෙන් ධනවතකු බවට පත් විය. මෙරට තේ වතුයායක් හිමිකරගත් පළමු සංක්‍රමික ඉන්දියානු දෙමළ ජාතිකයා ඔහු විය.

එවක සෞම්‍යමූර්ති තොණ්ඩමන් ජීවත්වූයේ තම මව හා සොහොයුරියන් තිදෙනා සමඟ මුන්නාපුදුර්හිය. එහි දෙමළ පාසලින් මූලික අධ්‍යාපනය ලද සෞම්‍යමූර්ති තම පියා ලංකාවේ ජීවත් වූ බැවින් වසර 8කින් ඔහු දැක තිබුණේ නැත. එහෙයින් 1924දී එකොළොස් හැවිරිදි දරැවකු වූ ඔහු පියා සමඟ ජීවත් වීම සඳහා ලංකාවට පැමිණියේය. තම පියා සමඟ එක්වූ සෞම්‍යමූර්ති  වසර 3ක් කුඩා වතු පාසලක අධ්‍යාපනය ලද අතර  1927 දී ගම්පොළ ශාන්ත ඇන්ඩ_ විද්‍යාලයට ඇතුළත් විය. ඔහු එහි පස්වසරක් අධ්‍යාපනය ලැබීය.

තමන් ඉපැයූ ධනය තම පුත්‍රයා මනාව පරිහරිණය කරනු ඇති බවටත්, වඩාත් බලවත් ඉන්දියානු දෙමළ ජාතික වැවිලිකරැවෙකු වනු දැකීමත් කරැපයියාගේ ප්‍රාර්ථනය විය. එහෙත්, සෞම්‍යමූර්ති වෙනත් මාවතක් තෝරා ගනිමින් දේශපාලනයට පිවිසියේය. තොණ්ඩමන් තෝරාගත් මාර්ගය කටුක විය. ඔහු සේවය කිරීමට තෝරාගත් ජනතාව ඉංග්‍රීසි පාලකයන්ගේ තේ සහ රබර් වගාවන්හි වහල්භාවයේ ගිලී සිටියහ. ඔවුන්ට දිනකට ලැබුණේ සොච්චම් වැටුපකි. ලංකා සමාජයේ වඩාත්ම පසුගාමී කොටස ලෙස හැඳින්වූයේ මෙම වතු ප්‍රජාවය. තොණ්ඩමන් ඔවුන්ව දියුණුවේ මාවත කරා ගෙන ගිය අතර ක්‍රමයෙන් ඔවුන්ගේ ගෞරවයද හිමිකර ගත්තේය. 

1939දී ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු ලංකාවේ සංචාරයක නිරත විය. එහිදී ඔහු ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරැවන්ගේ නායකයන් මුණගැසුණේය. වතු ජනතාව අත්විඳි කටුකත්වයෙන් මීදීම සඳහා ඔවුන් සංවිධානය විය යුතු යැයි නේරු ඔවුන්ට පැවසීය. ඒ වනවිටද මෙරට වතු ජනතා නායකයන් හා ඉන්දීය ජාතික කොංග්‍රස නායකයන් අතර සබඳතා පැවතිණි. නේරැගේ අවවාදය අනුව ඔවුහු 1939දී ලංකා ඉන්දියානු කොංග්‍රසය පිහිටුවනු ලැබූහ. ලංකා කම්කරැ කොංග්‍රසය එහි වෘත්තීය සමිතිය විය. ලංකා ඉන්දියානු කොංග්‍රසයේ ආරම්භක නායකයන්ගෙන් කෙනකු වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් 1945 දී එම වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ධූරයට පත්විය. 1950දී ඉන්දිය ජාතික කොන්ග්‍රස ලංකා කම්කරැ කොංග්‍රසය බවට පත්විය. තොණ්ඩමන් අඩ සියවසකට අධික කාලයක් පුරා ඊට නායකත්වය දුන්නේය.  ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රියාකාරී වෘත්තීය සමිතියක් වූ ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, වැටුප්, දීමනා, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙනත් අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළේය. වෘත්තිය සමිතිය සමග ක්‍රියාත්මක වූ අනෙක් අංශය වූයේ ලංකා කම්කරු කොංග්‍රසය නමින්ම පිහිටුවා තිබූ දේශපාලන පක්ෂයයි. එය මැතිවරණ සඳහා තරග කරමින් ආසන දිනා ගනිමින්, බලයට පත් ආණ්ඩුවල කොටස්කරුවන් වෙමින්, සිය දේශපාලන ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කළේය. 1947 සිට 1952 දක්වා සෞම්‍යමූර්ති තොණ්ඩමන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළද නැවත පාර්ලිමේන්තුවට ඔහු තේරීපත් වූයේ 1960 දීය. එතැන් පටන් 1999 වසරේ මරණයට පත්වන තෙක්ම වතුකරයේ තම දේශපාලන ආධිපත්‍යය පැතිරවූ ඔහු ලංකා දේශපාලනයේ රජුන් තනන්නාගේ භූමිකාවට පණ පෙව්වේය. සෞම්‍යමූර්ති තොණ්ඩමන් සහ ලංකා කම්කරු කොංග්‍රසය දෙකක් නොව එකක් යැයි පවසන තරමට ඔහු එම වෘත්තීය සමිතියට හා දේශපාලන පක්ෂයට ඇලී ගැලී සිටියේය.

සොල්බරි ආණ්ඩුක්‍රමය යටතේ 1947 පැවැති පළමු පාර්ලිමේන්තු මැතිවරණයට ඩී.එස්. සේනානායක මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයත් විරැද්ධ පක්ෂ ලෙස ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂය සහ ඉන්දියාවේ බොල්ෂෙවික් ලෙනින් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා ඉන්දියානු කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වූහ. එම මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුනට ආසන 47ක් හිමි වූ අතර ලංකා සමසමාජ පක්ෂයට ආසන 10ක්ද ජී.ජී. පොන්නම්බලම්ගේ සමස්ත ලංකා දෙමළ පක්ෂයට ආසන 7ක්ද ලංකා ඉන්දියානු කොංග්‍රසය ආසන 6ක්ද දිනා ගත්හ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1948 ලංකා පුරවැසි පනත හා 1949 පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත උපයෝගී කරගනිමින් ඉන්දීය සම්භවයක් සහිත ජනයාගෙන් විශාල පිරිසකගේ පුරවැසි භාවයත් ඡන්ද බලයත් අහෝසි කිරීමට පියවර ගත්තේය. 1964දී සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ හා 1974දී සිරිමා-ඉන්දිරා ගිවිසුම යටතේ වතුකරයේ ජනයාගෙන් කොටසක් ඉන්දීය පුරවැසි බව ලද අතර තවත් පිරිසක් ශ්‍රී ලංකා පුරවැසිභාවය ලැබූහ.

සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ චරිතාපදානය වන Tea and Politics -An Autobiography නමැති කෘතියේ සඳහන් වන පරිදි ඔහු වසර 50 කට අධික කාලයක් පුරා සටන් කළේ ලංකාවේ පුරවැසිකම අහිමි වූ වතුකරයේ ජීවත් වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාට ශ්‍රී ලංකාවේ පුරවැසිකම හිමිකර දීමටය. ඔවුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික තත්ත්වය නංවාලීමටය. වතුකරයේ දෙමළ ජනයාගේ ඉන්දියානු දෙමළ අනන්‍යතාවය ආරක්ෂා කරලීමටය. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔහුට හැකිවිය. 1988 දී රණසිංහ ප්‍රේමදාස රජය සමයේ පුරවැසිභාවය අහිමි වූ වතු කම්කරුවන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයකට නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාදීමට ඔහු සමත් විය. එම ජනයාට ලංකාවේ පමණක් නොව ඉන්දියානු පුරවැසිභාවයද ලබාදී ඔවුන් ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ජන කොටසක් බවට පත්කිරීමටද ඔහුට හැකි විය.

සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වූයේ ආරුමුගම් තොණ්මන්ය. ඔහුගේ පියා වූ රාමනාදන් තොණ්ඩමන් දේශපාලනයට නැඹුරු වූවකු නොවීම මත ඔහුගේ සීයා වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ දේශපාලනය ඉදිරියට ගෙනයෑම බාරවූයේ ආරුමුගම් තොණ්ඩමන්ටය. ඔහු තම සීයාගෙන් ලද උරුමය වසර ගණනක් පුරා රුකගත් අතර දැන් එය ඔහුගේ පුත්‍රයාට හිමිවී තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03