2020 ජුනි 06 වන සෙනසුරාදා

නව තාක්ෂණ පෙරළියකට ලෝකය තල්ලු කළ කොවිඩ් 19!

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

අමෙරිකාවේ Covid 19 හෙවත් නව කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේ ඉකුත් සතියේදීය. ඒ වනවිට කොරෝනාවෙන් බ්‍රසීලයේ 32,000ක් මියයද්දී ඉන්දියාවේ ආසාදිතයින් ගණන දෙලක්ෂය පැන්නුවේය. ඒ අනුව ඉන්දියාව ප්‍රමුඛව රටවල් 7ක් අසාදිතයන් දෙලක්ෂය පැන්නූ ගොන්නට එක්ව සිටියේය. ලෝකය පුරා රටවල් 213ක කොරෝනා වසංගතය පැතිර ගොසිනි. සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වනවිට 66 ලක්ෂ 89,079ක් ඉක්මවා ලක්ෂ 67ට ළඟාවෙමින් තිබේ.

ලොවපුරා කොවිඩ් 19 වසංගතය මගින් ගත් බිලි ගණන 392 125ක්ව ඇත. එනම් ලක්ෂ 4කට ආසන්නය. එයින් 600ක් රෝගීන් සමඟ කෙළින්ම ගැටෙන හෙද-හෙදියන් බව ජාත්‍යන්තර හෙද කවුන්සිලය පෙන්වා දී තිබුණි. ගතවූ මාසයේදී පමණක් මෙසේ  මියගොස් ඇති පිරිස 260කි. ඔවුන්ගේ වාර්තාවලට අනුව රටවල් 30ක හෙද සේවකයින් මෙසේ මරණයට පත්ව තිබේ. මේ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව වටා 450,000කට අධික සෞඛ්‍ය සේවකයින් පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

ගින්න නිවූ පි.සී.ආර්.

ඉකුත් සතියේ ලංකාව තුළ Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් පැතිරගියේ අභාවප්‍රාප්ත තොණ්ඩමන් හිටපු ඇමැතිවරයාගේ අවමඟුලත් සමඟිනි. රටේ සියලු නිරෝධායන නීති නොතකා මුරණ්ඩු ආකාරයකින් පැවැති මේ අවමඟුල නිසා පැතිර යන්නට ගිය ගින්න අන්තිම මොහොතේ නිවී ගියේ පීසීආර් පරීක්ෂණ වාර්තාවකට පින්සිද්ධවන්නටය.

හැටන් දිඹුල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු, ඔහුගේ නිවසේ සිටි පුද්ගලයකු සහ තවත් රියදුරෙක් දින 14ක් ස්වයං නිරෝධායනයට යොමුකර අති බවට පළවූ වාර්තාවක් රට තුළ ඇති කළේ සැකය මුසු ආතතියකි. අදාළ මාධ්‍යවේදියා අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතුවලට සහභාගි වීමෙන් පසුව ඔහු රෝගී වූවා යැයි ආරංචිය පැතිර ගියේය. ඔහු රෝගී වී ඇත්තේ Covid 19 හෙවත් නව කොරෝනාවෙන් බවට සමාජ ජාල ඔස්සේ ඌන පූරණයක්ද එක්ව තිබූ නිසා තත්ත්වය  තවත් දරුණු විය. අන්තිමේදී මාධ්‍යවේදියාගේ පි.සී.ආර්. පරීක්ෂණවලට අනුව ඔහු කොවිඩ් 19 න් වෛරසය ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව දික්ඔය රජයේ රෝහලේ වෛද්‍යවරු තහවුරු කළහ. එයින් සමාජය තුළ හටගත් ආතතිය පුපුරා නොගොස් යටපත්ව ගියේය.

එසේ වුවද ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන ලකුණු පහළ වී හමාරය. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන +1798 පන්නා ඉහළ ගොස් තිබේ. තවදුරටත් වෛරස ආසාදිතයින් 947දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839කි. මරණ සංඛ්‍යාව තවමත් 11ක් වුවද එම සංඛ්‍යාවද ඉහළ යාමේ අනතුර මතුව ඇත.

වේගවත්  ව්‍යාප්තියක්!

අසල්වැසි ඉන්දියාවෙන් එරට පැය 24කදී අලුතින් හමුවූ වැඩිම ආසාදිතයන් ගණන වන  8,171ක් වාර්තා වූයේද පසුගිය සතිය මුලදීය. එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව + 6,088 ක්ව තිබුණි. ඒ සමග එරට සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂය පන්නා තිබේ.

රෝහින්ග්‍යා සරණාගතයන්ගේ විශාලතම කඳවුර ලෙසින් සැලකෙන බංග්ලාදේශයේ කොක්ස් බසාර්හි පළමු කොවිඩ් මරණය වාර්තා වූයේද ඉකුත් සතියේය. ඒ එහි පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර ජපානයෙන්ද අලුතෙන් කොවිඩ් ආසාදිතයන් 32ක් සහ පුද්ගල මරණ 2ක් වාර්තා විණි. ටෝකියෝ අගනුවරින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් අඩක් පමණ වයස අවුරුදු විසි ගණන්වල පසුවන්නන් වීම එහි විශේෂත්වයකි. මේ ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තාවී තිබුණේ රාත්‍රියේ ක්‍රියාත්මක විනෝදාස්වාද ව්‍යාපාර ආශ්‍රිතව ගැවැසුණු අයගෙනි.

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය තවදුරටත් ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ මේ වනවිට බ්‍රසීලයේ එම වෛරසය අසාදනය වීමෙන් පුද්ගලයන් +32,568ක් මියගොස් ඇති බව වාර්තා විය. එරට සමස්ත ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 6 දක්වා ඉහළ ගොස් තිබේ. එසේ පවතින අවදානම් තත්ත්වය හමුවේ වුවද සංචරණ කටයුතු සීමා කරමින් පනවා තිබූ ඇතැම් නීති ලිහිල් කිරීමට බ්‍රසීල රජය අන්තනෝමතික ලෙස  පියවර ගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණේ මෙම වෛරසය තවමත් ඇමරිකාව හා ලතින් ඇමරිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

කොවිඩ් වෛරසයේ තවත් ගොදුරක්!

මේ අතර තවත් චීන වෛද්‍ය විශේෂඥයෙක් කොවිඩ් වෛරසයේ ගොදුරක්ව මිය ගියේය.

හූ වයිෆෙන් නමැති මෙම වෛද්‍යවරයා මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි. කොවිඩ් වෛරසය මුලින්ම හඳුනාගත් වූහාන් නගරයේ මධ්‍යම රෝහලේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් රැසකට මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර ලබා දී ඇත. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීය.

එතැන් පටන් මේ දක්වා අදාළ වෛද්‍යවරයා රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබා ඇති අතර මාර්තු මාසය මැද භාගය වනවිට ඔහුගේ තත්වය උත්සන්න වී තිබේ. ඒ වනවිට ඔහුගේ අක්මාවද අකර්මන්‍ය වී තිබූ බව සැලවිය. ඔහුගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් චීන බලධාරීන් නිශ්චිතව අනාවරණය කර නොමැත. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම වෛරසය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළ වෛද්‍යවරයා මරණයට පත්වීම සහ මෙම වෛද්‍යවරයා මරණයට පත්වී එක හා සමාන බවයි.

අලුත් වෛරස බෙහෙත්!

අලුත් වෛරස බෙහෙතක් සොයා ගැනීමේ පරීක්ෂණද විදුලි වේගයෙන් සිදුවෙයි. ජූලි මස මුලවන විට එක් එන්නතක් එළියට එන්නට නියමිතය.

කොවිඩ් 19 කොරෝනා වෛරස රෝගය නිසා හටගන්නා ශ්වසන අපහසුතා පහසු කිරීමට යොදාගන්නා වෙන්ටිලේටර් වෙනුවට එය පාලනය කරන්නට යොදාගත හැකි දැනට පවතින බෙහෙතක් ගැන කතාබහක්ද ඇතිව තිබුණි. එම ඖෂධය කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකිද යන්න තහවුරු කර ගැනීම සඳහා අත්හදා බැලීම් සිදුකිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම්ව සිටිති.

ලන්ඩන් නුවර Guy’s, St Thomas’ රෝහල සහ King’s College යන විද්‍යායතනවලට අයත් මේ කණ්ඩායම විශ්වාස කරන්නේ, වේදනා නාශකයක් ලෙස භාවිත කරන අදාළ ඖෂධය ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබාදිය හැකි බවටය. මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර කළ හැකි වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවය.

කොරෝනාව පරාජය  කළ කත!

නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා වාර්තා වන මරණවලින් වැඩිහරියක්ම වයස්ගත උදවියය. ඒ අතරේ අලුත් කොරෝනාව පරාජය කළ 111 වියැති කාන්තාවක් ගැනද වාර්තාවක් ආවේය. හෙට අනිද්දා එළැඹෙන ජූලි මාසයේදී එකසිය දොළොස් වැනි වියට පා තබන්නට නියමිත ඇය චිලී රාජ්‍යයේ වෙසෙන්නියකි. වයස අවුරුදු 111ක් වන හුවානා සුනීගා නමැති ඇය, ඇගේ ජීවිතයේ සැඳෑසමය ගත කරමින් සිටින්නේ එරට වැඩිහිටි නිවාසයකය.

හුවානාගේ සොයුරිය මීට වසර හයකට පෙර මිය ගියාය. සන්තියාගෝ අගනුවර පිහිටි වැඩිහිටි නිවාසයකට ඇය ඇතුළු වුණේ ඉන් අනතුරුවය. මේ වැඩිහිටි නිවාසයද කොරෝනා වෛරසයට ගොදුරු විය. එම වැඩිහිටි නිවාසයේ සිටි සියලුදෙනා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්වීමෙන් අනතුරුව හුවානාද ආසාදිතයෙකු බව තහවුරු විය. හුවානාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම වැඩිහිටි නිවාසයේම වෙනත් ස්ථානයකට ඇය ගෙන යන ලදී. හුවානා දින 28ක් එම ස්ථානයේ ගත කළාය. ඉන්පසු Covid 19 රෝගය වැළඳී සුවය ලැබූවන් අතර චිලී රාජ්‍යයේ සිටින වයස්ගතම කාන්තාව හුවානා බව එරට බලධාරීහු නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ. මේ වනවිට ලොව වටා මාධ්‍ය ඇය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නොව ඇය කොරෝනා වෛරසය පරාජය කළ නිසාය.

(ලොක්ඩවුන්) අස්සේ තාක්ෂණ විප්ලවේ !

කොරෝනා වෛරසයත් සමග ශ්‍රී ලංකාව වැනි සමීප සබඳතා මත ගොඩනැගුණු සමාජයක් පවතින රටවල ජන ජීවිතය දුෂ්කර බවට පත්විය. ඒ නිසා මේ කොරෝනා කාලේ පවුලේ උදවියගේ ආලේ රැක දෙන්නට අලුත් තාක්ෂණය පිහිටට ආවේය. සූම් හෝ ස්කයිප් තාක්ෂණය දැන් නව රැල්ලක් සේ පැතිර යමින් ඇත්තේ තරුණ පරපුර අතර  පමණක් නොවේ. නව තාක්ෂණයට ආඩාපාලි දෙසු වැඩිහිටි පරපුර අතරය.

මේ බොහෝ අයට (ලොක්ඩවුන්) කර දින කීපයක් ගත වන විට සිය ප්‍රියයන්ගෙන් ඈත් වීම දැනෙන්නට විය. දුව පුතා දරු මුණුපුරන් දකින්නට නොමැතිව සිටිම  අතිශය දුෂ්කර කාරණයක් බවට පත්විණ. එතැනදී ඔවුනට සිහියට ආවේ අලුත් තාක්ෂණ ජිමික් ගැනය. කොරෝනා නොවන්නට සිය ජීවිතයේ කිසිදු දිනෙක සූම් හෝ ස්කයිප් හෝ භාවිතා නොකරන්නට සිටි පරම්පරාවක් මේ අලුත්ම  තාක්ෂණ ලෝකයේ කොටස්කාරයන් කරන්නට කොරෝනා සමත්ව තිබුණේය. දැන් ස්මාර්ට් ෆෝන් එපා කී අයම දරුවන්ටත් පෙර ස්මාර්ට් ෆෝන් සොයායති. ඩෙස්ක්ටොප්, ලැප්ටොප්, ටැබ්ලට් ගැන කතාකරති.

අලුත් සයිබර් ලෝකය!

කොරෝනා නිසා ලොව පුද්ගලයන් රැකියාවල නිරතවන රටාවෙහිද වෙනසක් සිදුව ඇත. දැන් ගොඩනැඟී ඇත්තේ  බාල තරුණ මහළු සැවොම සමෝසමේ අන්තර්ජාලයේ පැටලුන සයිබර් ලෝකයකි. තවත් අවුරුදු ගණනාවක් ගොස් ගොඩනගන්නට බලාපොරොත්තුව සිට ජාලගත ලෝකය කලින් නොකියාම හදිසියේ දැන් කාගේත් ඔඩොක්කුව මතට කඩාපාත් වී හමාරය. ලෝකය වසර කිහිපයක් ඉදිරියට දුර පිම්මක් පැන ඇත්තේ අපට නොදන්වාමය. මේ වෙන කිසිවක නොව නව කොරෝනාවේ හාස්කමකි.

සිය කාර්ය මණ්ඩලයට නැවත කිසි දිනෙක කාර්යාලයට යාමට අවශ්‍ය නොවන බව ට්විටර් සමාගම මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. ඔවුන් සියලුදෙනාම අධි තාක්ෂණික ක්‍රම ඔස්සේ නිවසේ සිට රාජකාරිවල නිරත වීමට නියමිතය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය පවසන්නේ 2021 ගිම්හාන සමය වනතෙක් එහි දේශන සියල්ල අන්තර්ජාලය ඔස්සේ පවත්වන බවය.

මේ නිසා ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් කියා සිටියේ ඉදිරි වසර 5-10 තුළ ශ්‍රම බලකායෙන් 50%ක් පමණ නිවසේ සිට රැකියාව සිදු කළ හැකි බවය. පසුගියදා අභ්‍යවකාශගත කළ තමන්ගේ “ස්ටාර්ලයින්” අන්තර්ජාල චන්ද්‍රිකා ජාලය යහතින් උඩුගුවනේ ස්ථානගත වූ විට ලෝකයටම පෙනෙන්නට එලොන් මස්ක් ‘හුරේ’ දැම්මේ ඒ නිසාය. දැන් අන්තර්ජාල පහසුකම්ද ආහාරය, ජලය, විදුලි බලය, සහ ගෑස් සේම අත්‍යවශ්‍ය පහසුකමක් ලෙස ජනතාවට ලබාදිය යුතුව ඇත.

තාක්‍ෂණික විකල්පයන්!

නව වසංගතය සමඟ වෙනස් වූ ලෝකය තුළ දෛනික කටයුතු මෙන්ම, මිනිස් සබඳතා පවත්වාගෙන යාමටද තාක්ෂණය ඔස්සේ පිළිතුරු සෙවීමට සිදුව ඇත.

තාක්‍ෂණික විකල්පයන් පසුපස හඹායාම ශ්‍රී ලංකාවේ මෙන්ම, ලොවවටා බොහෝ රටවල මේ වනවිටත් ආරම්භ වී ඇත. ඒ ඔස්සේ බිහි වන නව නිර්මාණද බොහොමයකි. ඩ්‍රෝන් ඔස්සේ භාණ්ඩ බෙදාහැරීමේ සිට, ඊ වෙළෙඳාම, ඊ වෙදහෙදකම, ඊ ඉගෙනුම, ඊ ආරක්ෂාව, ඇතුළු ඊ ලෝකයකි. එහිදී සෑම නිවසකම පරිගණක තිර සහිත කාමරයක් හෝ වෙන්කළ කොටසක් දැකීම දක්වා මෙම ප්‍රවණතාව වැඩි වර්ධනය විය හැකිය. කොටින්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය පහව යන විට හෙට බිහිවනු ඇත්තේ අලුත් ලෝකයකි. තාක්ෂණික පිමි ගණනාවක් ඉදිරියට පැන්න ලෝකයකි.

සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03