2020 ජුනි 06 වන සෙනසුරාදා

අධ්‍යාපන අමාත්‍යංශයේ කොවිඩ් චක්‍රලේඛය

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසාදමා මේ වනවිට මාස තුනකට ආසන්නය. මේ වනවිට පාසල් දරුවන් සිය නිවසේ සිට දුරස්ථ අධ්‍යාපනය හරහා පාසල් වැඩවලට හුරුවෙමින් සිටියත් ලංකාවේ දසදහසකට අධික පාසල් සියල්ල කොවිඩ් වසංගතයෙන් අනතුරුව අරඹන දිනය වැඩි ඈතක නැත. ඒ සඳහා අනුගමනය කළයුතු විශේෂ ක්‍රියාපිළිවෙත් මොනවාද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් ඇතුළත් උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

මාස දෙකකට අධික කාලයක් අප රටේ බොහෝ දුවා දරුවන් සිය අධ්‍යාපන කටයුතු සිදුකරනු ලැබුවේ නිවසේ සිට දුරස්ථ අධ්‍යාපනය මගිනි. දුරස්ථ අධ්‍යාපනය යන්න ‍ලෝක‍යේ දියුණු රටවල් භාවිතා කරන අධ්‍යාපන ක්‍ර‍‍ම‍වේදයකි. අද එය (ඔන් ලයින්) අධ්‍යාපනයක් බවට පරිවර්තනය වී ති‍බේ.

පාසල් මෙන්ම අනෙකුත් අධ්‍යාපන ආයතන යළි විවෘත කළ යුතු වන්නේ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් පවතින බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව විසින් ලබාදෙන සහතිකයකට අනුව බව මෙම චක්‍රලේඛයේ සඳහන් වෙයි. ඒ අනුව සෑම පාසලකම පිවිසුම් ගේට්ටුව අසල, වැසිකිළි පද්ධති අසල මෙන්ම පන්ති කාමර අසල අත් සේදීමේ පහසුකම් සවිකළ යුතු බව සඳහන්ය. එසේම සුදුසු පරිදි අඛණ්ඩ ජල සැපයුම් ක්‍රම සකස් කළ යුතුය. පාසල ආරම්භයට පෙර සියලු ස්ථාන විෂබීජහරණය කිරීම ඇතුළු සෞඛ්‍ය බලධාරීන් පවසන සියලු පහසුකම් ස්ථාපිත කළ යුතුය.

මෙම චක්‍රලේඛයට අනුව පුද්ගල දුරස්ථභාවයද අවධාරණය කර ඇත. පන්ති කාමරයේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගත හැකි ආකාරයට සිසුන් යෙදීම, විවේක කාලය සියල්ලන්ටම එකවර ලබානොදීම, පුද්ගල දුරස්ථභාවය සඳහා සිසුන් ගමන් කළ යුතු දිශාවන් ඊතල මඟින් පෙන්වා දීම, ක්‍රීඩා පිටි භාවිතයේදී මෙන්ම වැසිකිළි භාවිතයේදීද මීටරයේ දුරස්ථභාව රැක ගැනීමට සිසුන් දිරිමත් කිරීම කළ යුතු බව මෙහිදී අවධාරණය කර ඇත.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව පාසල් යළි විවෘත කිරීමේ වගකීම සුළුපටු නැත. වගකීම් රැසක් දරා ගනිමින් මේ කාර්යය සිදුකළ යුතුව ඇත. මීටරයක දුරස්ථභාවය ලබා ගනිමින් පාසලේ දරුවන් මෙහෙයවීම පමණක් නොව ඔවුන්ගේ මගහැරුණු පාඩම් ඇතුළත් විෂය මාලා ආවරණය කිරීමේ කාර්යයද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත.

සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්:

පාසල් විවෘත කිරීම පිළිබඳ රජය චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. මේ වනවිට ඒ නිර්ණායක අනුව පාසල් පටන් ගන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද දරුවන් තමයි මේ රටේ අනාගතය. ඒ අනාගත පරපුර රැක ගැනීම තමයි අපේ වගකීම. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්න දෙන්න බැහැ. රජය පාසල් පටන් ගැනීමේ ක්‍රමවේදයේදී අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදිය යුතුයි.

පාසල් 500කට ජල පහසුව නෑ
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාසල් කටයුතු) අර්.එම්.එම්. රත්නායක :

“කොවිඩ් පමණක් නොවෙයි අපි මේ අවස්ථාවේ ඩෙංගු උවදුර ගැනත් අවධානය යොමු කළ යුතු නිසා සියයට 20 ක පමණ සේවක සංඛ්‍යාවක් කැඳවා පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන්න පාසල්වලට උපදෙස් ලබාදුන්නා. පාසල් 500 කට පමණ ජලය නැහැ. ඒවාට ජලය දීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම සිසුන් 50 කට එක් අත් සෝදන බේසමක් අවශ්‍යයි. මේ වනවිට මේ කටයුතු සිදුකරන්න පාසල් 3000 කට රුපියල් මිලියන 4ක පමණ ප්‍රතිපාදන පළාත් සභාවලට යවා තියෙනවා. ඒ වගේම රතු කුරුස සමාජයෙන්ද අවශ්‍ය සහාය ඉල්ලා තියෙනවා. සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටම පාසල් 20-25ක් අයිතියි. ඔවුන් විසින් ඒ කටයුතු අධීක්ෂණය කළ යුතුයි.”

සෑම පාසලකටම ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ බේසම්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට පියවර ගන්නා බවත්, එම සනීපාරක්ෂක පහසුකම් ලබා දීමෙන් අනතුරුව කොවිඩ් වසංගතයේ අවසන් සටන වන පාසල් යළි විවෘත කිරීම සිදු කෙරෙන බවත් විෂයභාර ඇමතිවරයා පවසා ඇත.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03