රට තුළ පසුගිය සමයේ ඉමහත් ආන්දෝලනයට ලක්ව තිබූ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි මාසයේ මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අට එකට ගෙන සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරමින් පසුගිය ජූනි මස 02දා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
එම තීන්දුව සමඟම මැතිවරණයක් පැවැත්වෙයිද නැද්ද යන්න පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව තුළ පැවැති සැකය දුරු වූ අතර විසුරැවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි රැස්කිරීම සිදුවේද යන්න ගැන පැන නැග තිබූ කුකුසද අහෝසි වී ගියේය. ඇතැමුන් පවසන්නේ මෙම ඓතිහාසික නඩු තීන්දුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ස්ථාපිත කිරීමට හේතුවූ අතර අධිකරණයේ ස්වාධීනත්වයද යළිත් වතාවක් මෙමගින් තහවුරු වූ බවය.
මෙම ඓතිහාසික නියෝගය නිකුත් කරනු ලැබුවේ අග විනිසුරු ජයන්ත ජයසූරිය සහ තවත් විනිසුරුවරුන් හතර දෙනකුගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් මගිනි. බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබ_, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන් මෙම විනිශ්චය සඳහා සහභාගී වූ විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයෝ වූහ.
මෙම පෙත්සම් සලකා බැලීම පසුගිය මැයි 15 දා සිට ජූනි 01දා දක්වා දින 11ක් තුළ පැවැති අතර පෙරවරැවේ ආරම්භ වූ පෙත්සම් සලකා බැලීම සමහර දිනවල අපරභාගය දක්වාම පැවතීම සුවිශේෂ වෙයි.
පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ නීතිඥ චරිත ගුණරත්න, රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් ඇතුළු හත්දෙනෙකු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජන බලවේගයේ මහලේකම් සහ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ඇතුළු කණ්ඩායමක් විසිනි.
මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය සහ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ නීතිපති මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණ.
පෙත්සම්වලින් මූලික කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කර තිබුණි. ඒවා නම් ජූනි මස 20දා මහ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබ තිබූ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හල දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුවක් සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු අතර එසේ නොකිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙසද කරන ලද ඉල්ලීමය. මේ ක්‍රියා නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලීම සියලුම පෙත්සම්කරැවන්ගේ පොදු ඉල්ලීමක් විය.
ඉකුත් මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් නව කොරෝනා රෝගය ව්‍යාප්තවීම නිසා එම දිනය වෙනුවට ජූනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් ඉකුත්දා අංක 2072/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව තමන්ට දැනගන්නට ලැබුණැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් පවසා සිටියහ.
මෙම ඉදිරිපත් කිරීමෙන් පසු ඒවාට එරෙහිව, නියමිත පරිදි මහ මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් අතරමැදි පෙත්සම් 11ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය පණ්ඩුල ඇඳගම, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, ව්‍යාපාරික සම්පත් මෙරෙඤ්ඤගේ යන අය මෙම පෙත්සම් ඉදිරිපත් කළ අය අතර වූහ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අට ජාතික වැදගත්කමකින් යුතු බැවින් ඒවා පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව විසින් කරන ලද ඉල්ලීම් පිළිගත් අගවිනිසුරුවරයා විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කිරීම මැයි 14 වැනිදා සිදුකළේය.
පෙත්සම් විභාගය ආරම්භයේදීම ඒවාට එරෙහිව නීතිපතිවරයා මූලික විරෝධතා තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරමින් ඒවා සලකා බලා පෙත්සම් විභාග නොකරන ලෙස ඉල්ලා සිටියේය. මෙයින් දන්වා සිටියේ පෙත්සම් කාලාවරෝධී හෙවත් නියමිත කාලයට පෙර ඉදිරිපත් කර නොමැතිවිම, ඇතැම් පෙත්සම්වල අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපති නම් නොකිරීම සහ ඉල්ලා සිටින සහන ලබාදීම සඳහා මෙම පෙත්සම් පවත්වාගෙන යා නොහැකි බවය. නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මෙම මූලික විරෝධතා ගොනු කළාය. ඇය පැවසුවේ මෙම පෙත්සම් අදාළ නීති ප්‍රතිපාදනවලට අනුකූල නොවන අතර, අධිකරණයට කිසිවිටෙකත් ඉටුකළ නොහැකි ඉල්ලීම් මේවායේ අඩංගු බවය.
පෙත්සම් සලකා බැලීම ආරම්භයේදීම නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේවමුණි ද සිල්වා අවධාරණය කළේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව දැන් මරණයට පත්වී ඇති අතර එය යළි නැගිටවීමට කිසිවකුටවත් නොහැකි බවය.
පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු අවධාරණය කළේ වසර 4 ½ අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ ප්‍රකාශය දැන් බලරහිත වී ඇති බවය. ඊළඟට පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනයද ඔහු ප්‍රකාශ කළ නමුත් එය සිදුකළ නොහැකිවීමෙන් සමස්ත ප්‍රකාශයම බලරහිත වී ඇතැයි යන්නය. මාස 3 සම්පූර්ණ වන දිනය වූ ජූනි 3 දා දිනය මේ වනවිට ඉකුත්ව ඇති නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන වූ ජනාධිපති ප්‍රකාශයද ඉබේම අහෝසි වී ඇති බවට ඔහු තර්ක කළේය.
වගඋත්තරකාර පාර්ශ්වයන් වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේ මැතිවරණය පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශවලින් කොළ එළියක් ලැබෙනතුරැ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවය.
පෙත්සම් විභාග කළ අවසාන දිනයේ කරුණු සම්පිණ්ඩනය ඉදිරිපත් කරමින් අධිකරණය ඇමැතූ පෙත්සම්කරුවන් සියල්ලම වෙනුවෙන් ජනාධිපති නිතීඥ ඇම්.ඒ. සුමන්තිරන් පැරණි නඩු තීන්දු ඉදිරිපත් කරමින් දේශනයක් පැවැත්වූ අතර වරුණ කරුණාතිලකට එදිරිව දිසානායක නඩු තීණ්දුව හා ප්‍රේමචන්ද්‍රට එදිරි මොන්ටේගු ජයවික්‍රම නඩුවේ තීන්දුවද විශ්ලේෂණය කරමින් කරැණු ඉදිරිපත් කළේය. ඉන්දියාවේ ගුජරාට් නඩුවේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ නඩු තීන්දුවක්ද උපුටා දැක්විය.
පෙත්සම් සලකා බැලීම අතරමගදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට අවධාරණය කළේ පාර්ලිමේන්තුව විසුරැවා හැරීමෙන් පසුව ජනාධිපති නියම කළ නාමයෝජනා බාරගැනිමේ දින ජනාධිපතිටවත් ආපසු කැඳවීමට හෝ සංශෝධනය කිරීමට බලයක් නැති බවය.
එක් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම්කර තිබූ හිටපු කතානායක කරු ජයසූරිය තමන්ට නොතීසි නිකුත්කර තිබියදී අධිකරණයට නොපැමිණීම සුවිශේෂ සිද්ධියක් විය.
මූලික කරුණු විභාගය අවසානයේදී, පෙත්සම්කාර පාර්ශ්වවල හා මැදිහත්කාර පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු මෙන්ම වගඋත්තරකරුවන්ගේ කරුණුද යන සියලු කරුණු මනාකොට විශ්ලේෂණය කළ බව අවධාරණය කළ ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙකී පෙත්සම් මගින් ඉල්ලා ඇති සහනයන් හෝ ඉල්ලා ඇති වෙනත් කරුණු ලබාදීමට තබා, පෙත්සම් විභාගයට ගැනීමට හෝ තරම් වන හරයාත්මක කරුණු ඒවායේ අන්තර්ගතව නොමැති නිසා පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට තමා ඇතුළු විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කළ බවය.
යසවර්ධන රුද්රිගු