2020 ජුනි 06 වන සෙනසුරාදා

කොවිඩ් හරහා මතුවූ ඊ ලර්නිං

 2020 ජුනි 06 වන සෙනසුරාදා, ප.ව. 06:00 1402

මාස තුනකට ආසන්න කාලයක් මෙරට විධිමත්  අධ්‍යාපන පද්ධතිය භෞතික බිඳවැටීමකට ලක්වී තිබේ. සරලවම කියත්තොත් පාසල් විශ්වවිද්‍යාලය ඇතුළු සියලු අධ්‍යාපන ආයතන තවදුරටත් සුපුරුදු ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත නොවේ. සමස්ත ලෝකයම අධ්‍යාපනය පිළිබඳ අලුතින් හිතන්නට පටන්ගෙන ඇත. ඒ අනුව කෝවිඩ් අභියෝග මැද සමස්ත ලෝකයම ඊ ලර්නිං (මාර්ගගත අධ්‍යාපනය) ඇතුළු දුරස්ථ අධ්‍යාපන ක්‍රමයන්ට හුරුවෙමින් සිටිති. මෙරටද ඉතිහාසයේ කවරදාවත් නොවූ පරිද්දෙන් තාක්ෂණය සහ අධ්‍යාපනය අතර දැවැන්ත බැඳීමක් ගොඩනැගී තිබේ.

ඊ ලර්නිං ප්‍රමුඛ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවල සාධනීය තැන් මෙන්ම ගැටලුද බොහෝමයක් පවතියි. රට තුළ පවතින තාක්ෂණික පහසුකම් ඌනතාව ප්‍රධාන වශයෙන් මෙම අධ්‍යාපන නව්‍යතා හරහා ගමන් කිරීමට විශාල බාධාවක් වී තිබේ. මේ වනවිට ප්‍රමුඛවම අධ්‍යාපනයේ සමාන අවස්ථා පිළිබඳ ගැටලුව රටක් ලෙස අප හමුවේ පැනනැගී ඇත. ඒ අනුව අප මේ සංවාද ගොඩනගන මොහොතේ මෙරට පාසල් සහ සරසවි සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් නව අධ්‍යාපන රටාවෙන් ගිලිහී සිටිති.
මීට උදාහරණයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් ලබාගත හැකිය. පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය මාධ්‍යයට පවසා තිබුණේ, අන්තර්ජාල පහසුකම් නොමැතිකම නිසා ශිෂ්‍ය ප්‍රජාවෙන් 15 කට අධ්‍යයන අවස්ථා අහිමිව ගොස් ඇති බවයි. එසේම පෞද්ගලික පරිහරණයට පරිගණකයක්වත් නොමැති ශිෂ්‍ය ප්‍රතිශතය 18ක් බවද එතුමිය පෙන්වා දී ඇත. පාසල් පද්ධතිය ගතහොත් මේ තත්ත්වය ඇත්තේ මීට බරපතල තත්ත්වයකය. නගරබද නොවන පාසල්වල දරුවන්හට මේ වනවිටත් මතුව ඇත්තේ විශාල ගැටලුවකි.

අධ්‍යාපනය ලැබීමේ අයිතිය යම් ආකාරයකට මෙහිදී ප්‍රශ්නගත වේ. කෝවිඩ් වසංගතය හමුවේ මෙම අයිතිය දැඩි අභියෝගකට ලක්ව ඇති අයුරැ පෙනීයයි. නමුත් නිදහස් අධ්‍යාපනය ව්‍යවස්ථානුකූලවම පිළිගත් රටක් ලෙස අධ්‍යාපනයේ අයිතීන් පිළිබඳ පෙර පැවති තත්ත්වය ඉතා සුබදායී යැයි අපට කිව නොහැක. ඒ කෙසේ වෙතත් වර්තමාන සමාජ බිඳවැටීම තුළ අධ්‍යාපනය පිළිබඳ කතාබහක් ඇති නොවීම ඛේදවාචකයකි. හුදු ආර්ථික නැගීමක් පිළිබඳව පමණක් කතාකරමින් සිටින පරපුරක් බවට අප පත්වී තිබේ. කෝවිඩ් හමුවේ අධ්‍යාපනයේ බිඳවැටීම පිළිබඳ සහ නව්‍යතා පිළිබඳ සැලකිය යුතු සාකච්ඡාවක් මෙරට නැත.

බරපතළව නොව ඉතා සරලවම කල්පනා කළහොත් මෙරට ඇත්තේ විභාග මූලික අධ්‍යාපන රටාවක් නිසා මෙරට වර්තමාන තත්ත්වය තරමක් බරපතළ වී ඇති බව පෙනීයයි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට මුහුණදෙන දරුවන් අද වනවිට සිටින්නේ ව්‍යාකූලවය. ඇතැම් ටියුෂන් ගුරුවරුන් ජනප්‍රිය පාසල් සහ ස්වේච්ඡා කණ්ඩායම් මෙම දරුවන්ට තාක්ෂණික මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන ලබාදෙමින් සිටිති. එහෙත් එහි සමාන අවස්ථා නැත. එසේම ඉලක්ක ගත විභාගය පිළිබඳ ඔවුනට නිශ්චිත අවබෝධයක් නැත. විශේෂ කොටස් ඉවත්කොට විභාග පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. එහෙත් ජාත්‍යන්තර ප්‍රමිතිගත උසස් පෙළ වැනි විභාගයකදී එවැන්නක් සිදුකිරීම පිළිබඳ වියතුන් අතර මතභේදයක් හටගෙන ඇත.

කෝවිඩ් නව රටාවේ අධ්‍යාපනයේ යහපත් ප්‍රවණතා නැත්තේ නොවේ. ප්‍රධාන වශයෙන් මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුරැවරැන් සහ ශිෂ්‍යයන් සැලකියයුතු ලෙස මේ වනවිට තාක්ෂණය සමඟ මුසුවී තිබේ. එසේම තාක්ෂණය යොදාගෙන අධ්‍යාපන ලබාදීමේ ක්‍රියාවලිය සාධනීය නොවන බවට වූ මිත්‍යාවන්ද බිඳී ගොස් තිබේ. මෙය රටක් ලෙස ඉදිරියේදී සමස්ත අධ්‍යාපන පද්ධතියේ නව පිම්මක් සඳහා අප ලබාගත් ප්‍රවේශයකි. කෙසේ නමුත් කෝවිඩ් අමතකව ගිය පසුව වර්තමානයේ ක්‍රියාත්මක වූ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අප අමතක කරදැමීමට වැඩි ඉඩකඩක් තිබේ. මන්ද සාමාන්‍යයෙන් අප රටතුළ මුල් පුටුවේ සිටින්නන් හුරැවී ඇත්තේ එවන් දෑ කිරීමටයි.

වසංගත සමයේ අධ්‍යපනය සම්බන්ධව මීට වෙනස් මතද පළවී තිබේ. පසුගියදාක කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා පළකර තිබුණේ මෙවන් අදහසකි. අද ලොවපුරා පාසල්, විශ්වවිද්‍යාල වැසීගොස් ඇති හෙයින් විධිමත් අධ්‍යාපනය අද සිදු නොවේ. නමුත් යම් කාලසටහනකට අනුව විෂය නිර්දේශයන් ඉගැන්වීම නැවත ආරම්භ වී තිබේ. පාසලේ විෂය මාලාවද එලෙස ඉගැන්වීමට කටයුතු කරමින් තිබේ. සැබවින්ම නැවත විෂය මාලා උගන්වමින් මේ මොහොතේ කාලය කා දැමිය යුතු නොවේ.

වංසගතය හේතුවෙන් ලැබුණු විරාමය යොදාගත යුත්තේ මේ සාම්ප්‍රදායික විෂය නිර්දේශය ඉගැන්වීමෙන් බැහැරවූ නව ප්‍රවේශයකට යොමුවීමටය. මාධ්‍ය ඔස්සේ මහාචාර්යවරයා මතුකර තිබූ අදහස සරලව බැහැර කළ නොහැකිය. ඔහු ඊට අදාළ කරුණු මනාව ගොනුකර තිබුණි.

පාසලෙන් නොලැබුණු අධ්‍යාපනයන් මේ කොරෝනා විරාමයේදී දරුවන්ට ලබාදීමට උත්සාහ කිරීම දෙමව්පියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද යුතුකම බව  එහිදී පෙන්වා දී තිබුණි. සැබවින්ම වර්තමානයේ සමාජමය අධ්‍යාපනක් නිසි අයුරින් නොලැබේ. එසේම බොහෝ දැනුම් පද්ධතීන්ද වියැකෙමින් තිබේ.

මෙම සියලු කරුණු සලකා බැලූ විට බොහෝ ප්‍රවේශයන්ගෙන් කෝවිඩ් අධ්‍යාපන අර්බුදය දෙස බැලිය යුතු බව අවබෝධ වේ. කෙසේනමුත් මේ මොහොතේ රටේ අධ්‍යාපනයට අවශ්‍ය විද්වත් ප්‍රායෝගික මෙන්ම සාධාරණ විසඳුමකි. මන්ද අධ්‍යාපන යනු අපගේ අයිතියයි. ලොකයේද අප රටේද අනාගතය තීරණය වන්නේ අධ්‍යාපනය මතයි. එම නිසාම කෝවිඩ් අධ්‍යාපන පිළිබඳ පවතින ගැටලුවලින් කිසිවෙකුට පැන යා නොහැක.

තිබෙන අධ්‍යාපන පහසුකම්වලින් ප්‍රයෝජන ගත යුතුයි


අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්. අයිලප්පෙරුම මහතා

අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය එකතුවෙලා රූපවාහිනී වැඩසටහන් විකාශය කරනවා. පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින්. ඩයලොග් ආයතනයේ සහාය සහිතව දුරකථන ගාස්තුවක් අය නොවන විදිහට සාමාන්‍ය පෙළ සිසුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය විෂයන් සම්බන්ධව තිබෙන ගැටලු නිරාකරණය කරදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. පළපුරුදු ගුරුවරු තමයි මීට සම්බන්ධව වෙන්නේ. ඊට අමතර පාසල් මට්ටමින් වට්ස් ඇප් මගින් පාඩම් සහ පැවරුම් දරුවන්ට යැවීම සිද්ධවෙනවා. වීඩියෝ තාක්ෂණය මගින් පන්ති පැවැත්වීමත් පාසල් මට්ටමින් වගේම අමාත්‍යාංශ හරහාත් සිද්ධවෙනවා.

ස්මාර්ට් ෆෝන් එකක් නැතිව අන්තර්ජාල පහසුකම් නැතිව සාමාන්‍ය දුරකථනයක් හරහාත් දරුවන්ට අධ්‍යාපන ලබාදීමේ වැඩසටහනක් ගම්පහ මණ්ඩාවල විද්‍යාලයෙන් ආරම්භ කරලා තිබෙනවා. දැන් අපි ඒක ටික ටික ව්‍යාප්ත කරගෙන යනවා. සියලුම පහසුකම් ලබෙන තෙක් ඉඳලා කිසිවිටෙක පරිපූර්ණත්වයක් ලබාගන්න බෑ. ගැටලු තිබෙනවා. මේ අවස්ථාවේ මේ දේවල් ප්‍රයෝජනයට ගන්න නොහැකි පොඩි දරුවෝ පිරිසක් ඉන්නවා. අපි උත්සාහ කරන්නේ ඒ අයට විකල්ප ක්‍රියාමාර්ගයක් යොදමින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. විභාග සම්බන්ධවත් අවධානය යොමුවෙලා තිබෙනවා. ඊට අදාළ අංශ ඒ පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරයි.

 

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03