2020 ජුනි 06 වන සෙනසුරාදා

ද ෆිනෑන්ස් වගකීමේන් ගැලවෙන්න මහබැංකුවට බැහැ

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මැයි මස 22 දා සීමා සහිත ද ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා කාර්යාල සියල්ල මුද්‍රා තබා වසා දමනු ලැබ තිබේ. මේ නිසා මෙම සමාගමේ මුදල් තැන්පත් කර ඇති තැන්පත්කරුවන් මෙන්ම සේවකයෝද අමාරුවේ වැටී සිටිති. මෙම ආයතනය මෙසේ මුද්‍රා තබන විට සමහර ශාඛාවල සේවකයන්ට මාස 2 ½ - 3 තිස්සේ වැටුප් ගෙවා නොතිබුණ බව දැන ගන්නට තිබේ. එසේම මාස 2කට වැඩි කාලයක් තිස්සේ තැන්පත්කරුවන්ට පොලී ගෙවා නොතිබිණි.

මෙම තත්ත්වය ඇතිවන විට සමාගම පෞද්ගලික අධ්‍යාක්ෂකවරුන්ගෙන් මිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනයට ලක්ව තිබීම සුවිශේෂ වෙයි. 2005 වසරේ දී ෆිනෑන්ස් සමාගමේ පාලනය මහ බැංකුව නතුකර ගෙන තිබුණු අතර එතැන් සිට අවුරුදු 11 කට ආසන්න කාලයක් ආයතනය ප්‍රතිසංවිධානය කිරීමට හෝ එය කාර්යක්ෂම කිරීමට මහ බැංකුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් දැනගත නොහැකි විය. ලලිත් කොතලාවලගේ හිමිකාරිත්වයෙන් මෙම සමාගම වෙන්කළ පසු එහි සියයට 50 කට වැඩි අයිතියක් හිමිකර ගැනීමට කිසිදු කොටස් හිමියකු අසමත්ව ඇති අතර එය ප්‍රති සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරනු ලැබ තිබු නව අධ්‍යක්ෂ මණ්ඩලය කිසිදු උනන්දුවක් දක්වා නොතිබූ බවද විශේෂයෙන් අවධානයට ලක්විය යුතුය.

ලලිත් කොතලාවලගෙන් සමාගම මහ බැංකුව පවරා ගන්න අවස්ථාව වනවිට එය රුපියල් බිලියනයක පාඩු ලැබූ නමුත් මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය එහි පාලනය බාර ගැනීමෙන් පසු වසා දමන අවස්ථාව වනවිට රුපියල් බිලියන 16 ක් දක්වා එම අලාභය වර්ධනය වී තිබිණි. ද ෆිනෑන්ස් සමාගම වසර 80 කට වඩා පැරුණි මූල්‍ය සමාගමක් වන අතර එය ඒ සමයේ වඩාත් ලාභදායි දැවැන්ත මූල්‍ය සමාගමක් විය. එවැනි ස්ථාවර මූල්‍ය සමාගමක් රටේ ආර්ථිකයට සම්පතක්ව තිබිය යුතු නමුත් මෙම තත්ත්වයට පත්වීම රටේ සමස්ත ආර්ථිකයට හානිදායකය. එසේම එය මෙලෙස පරිහානියට පත්වීම පෞද්ගලික මූල්‍ය සමාගම් කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය පළුඳුවීමක් බවද කිවයුතුය. ලලිත් කොතලාවලගේ සමාගම් අතර ඉතාම ප්‍රබලව තිබූ සමාගම මෙම තත්ත්වයට පත්වීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරෙන බව මූල්‍ය විශේෂඥයෝ කියති. සාමාන්‍යයෙන් බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂාව සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇත. ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් පිළිබඳ අධීක්ෂණය කිරීම සහ යම් ඌණතාවයක් සිදුවන්නේ නම් එය වළක්වා ගැනීමට උපදෙස්දීම එම දෙපාර්තමේන්තුවේ වගකීමක් බවට තර්කයක් නැත.

ලලිත් කොතලාවලගේ අයිතියෙන් මෙම සමාගම බැංකුවට පවරා ගත්තේ එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ බලාපොරොත්තුවෙනි. 2009 දී සමාගම මහ බැංකුවට පැවරෙන විට එහි වත්කම රුපියල් බිලියන 36.7 ක් වූ අතර වගකීම බිලියන 35.54 ක් විය. ඒ වනවිට වත්කම් සහ වගකීම් අතර ධනාත්මක වෙනස මිලියන 1427 ක් විය. තවත් වචන වලින් කියනවා නම් යම් ප්‍රමාණයක හෝ ලාභ ලැබූ ආයතනයකි. එහෙත් අභාග්‍යයක තරම වූයේ අධ්‍යක්ෂ මණ්ඩල 4 ක් මඟින් වර්ෂ 10ක් පාලනය කිරීමෙන් අනතුරුව රුපියල් බිලියන 19 ක අලාභයක් ලැබීමය. මෙහිදි අපට මතක් වන්නේ පරිස්සමට තිබූ දේ ඈලියාවට යාමේ කතාවය.

අනතුරුව 2011 ඔක්තෝබර් 23 වැනිදා මහ බැංකුව සමාගමේ බලපත්‍රය අවලංගු කිරිමේ නිවේදනය නිකුත්කර තිබූ අතර ඒ අනුව මැයි 22දා එය වසා දමා තිබේ. එයට පෙර මහ බැංකුව සමාගමේ තැන්පතුවල පොලිය අඩුකිරීමට කටයුතු කර තිබුණේ පාරිභෝගිකයන් දැනුවත් නොකරය. ඔවුන්ට තම මුදල් ආපසු ගැනීමට හෝ අවස්ථාව ලැබී නැත.

එසේම 2019-01-15 දින වනවිට සියලුම ස්ථාවර තැන්පතුවල මෙන්ම සමාගමේ තැන්පතුකරුවන්ගේ සුබ සාධන ගිණුම් වල තිබූ සියලු මුදල්ද අත්හිටුවීමට තීරණය කර තිබුණි. මෙය පාරිභෝගිකයන්ට සිදු වූ විශාල අසාධාරණයක් විය. විශේෂයෙන් ස්ථාවර තැන්පතු වල ගිවිසගත් පොලිය ගිණුම් තෝරා අවසන් වනතුරු ගෙවීම පැහැර හැරීමට නිත්‍යනුකූල අයිතියක් නැත. එහෙත් මෙලෙස නිත්‍යානුකූල නොවන ලෙස කටයුතු කර තිබුණේ පෞද්ගලික ව්‍යවසායකයකු නොව රටේ මූල්‍ය පද්ධතියේ එකම බලධරයා වූ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වීම සුවිශේෂ වෙයි.

ද ෆිනෑන්ස් සමාගමේ පාලනය සඳහා මහ බැංකුව පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා වූ නිමල් මාමදූව නැමැත්තාගේ දැනුම් දීම පරිදි 2019-01-31 දින සේවක මණ්ඩලය නව තැන්පතු බිලියන 946ක් රුස්කරදීමට සමත්ව සිටි අතර, ඒ මුදල් සඳහා මසක පොලිය හෝ ලබා දීමකින් තොරව පෙබරවාරි 15 දා තැන්පතු අත්හිටුවීමට ක්‍රියා කිරීම නිසා තැන්පතුකරුවන්ට සිදුවු අසාධාරණය විශාලය. එසේම මහ බැංකුවේ තිරිණය පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලි අනුපාතය සහ වසර 2-3 පැරණි ස්ථාවර තැන්පතුවල හා කෙටි කාලීන ත්‍රෛයිමාසික තැන්පතුවල පොලි අනුපාතද කිසිදු දැනුම් දීමකින් තොරව පහළ හෙලා තිබුණි. බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සතු මෙවැනි ස්ථාවර ගිණුම් පොලි පහළ හෙලීම ඔවුන්ට කළ විශාල අසාධාරණයකි. සමහර වැඩිහිටියන් සහ ඔවුන්ගේ පවුල් වල අය හදවත් සහ පිළිකා ආදී මාරාන්තික රෝග සඳහා පෞද්ගලික රෝහල් වලදී ශල්‍යකර්ම කරවා ගෙන ඇති අතර ඇතැම් අය දැඩි සත්කාර ඒකක (ICU) වලද ප්‍රතිකාර ලබා ගෙන ඇත්තේ මෙම තැන්පතු ආදායම් මත විශ්වාසය තබා ගෙනය. අන්තිමට ඔවුන් කබලෙන් ලිපට වැටී ඇති අතර ඔවුන්ට තමන් වැටුණු වලෙන් ගොඩ ඒම සඳහා ඉඩම් කඩම් පවා විකිණීමටද, කණකර උගස් තැබීමටද, ගිනිපොලියට ණය ගැනීමටද සිදුව තිබේ. මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සඳහා මුදල් නොමැතිකමින් ඔවුන්ගේ ඥාතින් දැඩි පීඩනනයකට පත්ව ඇත. එසේම පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන ස්වකීය දූ දරුවන් සඳහා වැයකිරීමට තැන්පත් කර තිබු මෙම මුදල් වල පොලිය අඩුකිරීම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වී තිබේ. විදේශ ශ්‍රමිකයන් තමන් උපයන ධනයද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කර ඇති අතර ඒවාට ගිවිසගත් පොලිය අඩුවීම නිසා ඔවුන්ගේ පවුල් වල අයගේ එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට නොහැකි වී තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය වසරේ අගභාගයේ මහ බැංකුව මෙම සමාගම අලෙවි කිරීම සඳහා ආයෝජකයන් කැදවුවද ජනාධිපතිවරණය සමයේ ඇතිවෙමින් තිබූ දේශපාලන අස්ථාවර භාවය නිසා එම ප්‍රයත්නය අසාර්ථක විය. එම සමයේදී බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසනීයතාවය පළුඳු වෙමින් පැවතියේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන් (ETI) ආයතනයේ තැන්පත්කරැවන්ට තම තැන්පතු ලබා ගැනීමට නොහැකිවීම පිළිබඳ ආණ්ඩුව සහ වගකිවයුත්තන් කිසිඳු ප්‍රතිකර්මයක් නොයෙදීම නිසාය. ඒ කාලයේ පැවැති අයහපත් ආර්ථික තත්ත්වයද ද ෆිනෑන්ස් සමාගමට මෙම ඉරණම අත් වීමට බලපෑ බව කිවයුතුය.

ද ෆිනෑන්ස් සමාගමේ සේවක සංගමයේ සභාපති දුමින්ද තිලකරත්න පවසන්නේ තම සමාගම මෙම තත්ත්වයට පත්වීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් අදූරදර්ශි තීර්ණ නිසා සිදු වූ බවය. සමාගම මහ බැංකුවට පවරා ගැනීම නිසා ගොඩයාවී යැයි බලාපොරොත්තු වුවද අවසානයෙදී එය තවත් ප්‍රපාතයට යොමු වූ බව ඔහු කියයි. ඔහු මෙසේද කියයි.

“2014 පත්වූ අධ්‍යක්ෂ මණ්ඩලය සමාගමට ‘රටවිරැ^ ව්‍යාපෘතිය හරහා යළි මුදල් ඉපයීමේ අවස්ථාව ලබා දෙමින් ආදායම් හා වියදම් පරතරය හීන වීමට ඉඩ සලසා දුන්නද, 2015 යළි ආණ්ඩු පෙරළියෙන් පසු පත්කළ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතැම් තීරණ ආයතනය අත්කර ගනිමින් තිබූ ප්‍රගතිය බිද වැටීමට හේතුවුණි. අලුතින් එක් කළ අධ්‍යක්ෂ මණ්ඩලය පෙර වැරදි සොයමින් සිටියා විනා තම වගකීම ඉටු කිරීමට කටයුතු කළේ නැහැ. නව ධනෝපායන ක්‍රම හඳුන්වා දීමට අවශ්‍ය දැනුමද ඔවුන්ට තිබුණේ නැහැ. එසේම සමාගම එතෙක් කළ දේපල වෙළදාමේ විෂයද අත්හැර දැමුවා”

ඔහු පවසන පරිදි තවත් ගැටලුවක් වූයේ සමාගම ණය නොගෙවූ අයට එරෙහිව පවරා තිබූ නඩු ඉදිරියට පවත්වා නොයන ලෙස මහ බැංකුව අධ්‍යක්ෂ මණ්ඩලයට උපදෙස් දීමය. ඒ නිසා ණය මුදල් ගෙවීම පැහැර හැර තිබූ අයට මෙය කදිම අවස්ථාවක් වූ අතර එයින් සමාගම තවත් අර්බුදයකට ලක්ව ඇත.

සේවක සංගමය පවසන තවත් දෙයක් වූයේ 2014 වසරේදී මහ බැංකුව රුපියල් බිලියන 6ක ණය මුදලක් සමාගමට අනුමත කළද එයින් නිදහස් කර ඇත්තේ බිලියන 1.4ක් පමණක් බවය. එහෙත් සමස්ත බිලියන 6ටම පොලිය දිගටම ගෙවීමට සමාගමට සිදුව ඇත. එමඟින් පමණක් මිලියන 475 ක අලාභයක් සිදුව ඇතිබව සංගමය කියයි.

ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයකු වන ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ රටක බැංකු හා මූල්‍ය ආයතන අර්බුදයකට ලක්වීම ඒ රටේ සමස්ත ආර්ථිකය කඩා වැටීමට හේතුවන බවයි. පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන පාලනයේදී මහ බැංකුව තම වගකීම් හරි හැටි ඉටු නොකරන බවට චෝදනා තිබේ. මූල්‍ය ආයතනයක් කඩා වැටුණු පසු එය වසා දමා ඈවර කිරීම නොව මහ බැංකුව කළ යුත්තේ මේ ආයතන වල වැඩ ගැන අධීක්ෂණය කර දුර්වලතා මග හැරීමට කටයුතු කිරීම මිස අර්බුදයකට ලක්වන්නට ඉඩ හැර එයට හේතු පැවසීම නොවන බව ඔහු කියයි.

“අද රටේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන හතු පිපෙනවා වගේ ඇතිවෙනවා. මේවා ගැන මහ බැංකුව සොයා බලන්නේ නැහැ. ලියාපදිංචි නොකළ ඒවා වසා දැමිල්ල හෝ ලියාපදිංචි කරවීම හෝ කළ යුතුයි. නැතිනම් සක්විති මූල්‍ය ආයතනයෙන් වගේ පාරිභෝගිකයන් අමාරුවේ වැටෙනවා. මූල්‍ය ආයතන වැටුණු විට එම වගකීමෙන් නිදහස් වෙන්න මහ බැංකුවට බැහැ. ඒ නිසා ද ෆිනෑන්ස් සමාගම කඩා වැටි එහි සේවකයන් සහ පාරිභෝගිකයන් අමාරුවේ වැටීමේ වගකිම මුළුමනින්ම මහ බැංකුව බාර ගත යුතුයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරිනියකගෙන් විමසූ විට තම නම ප්‍රකාශ කිරීම හා වැඩිදුර විස්තර දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඇය පැවසුවේ ද ෆිනෑන්ස් සමාගම වසා දැමීමෙන් පසු රුපියල් ලක්ෂ 6 ක උපරිමයට යටත්ව සියලුම තැන්පත්කරුවන් මුදල් ඉක්මනින් ගෙවීමට කටයුතු කරන බවය. මෙම කටයුතු මාස දෙකක් තුළ අවසන් කරන බව පැවසූ ඇය අනතුරුව ඉතිරි අයට තම තැන්පතුවලින් සියයට 93 දක්වා නිදහස් කරන බවද කිවේය. එම කටයුතු පිළිබඳ මාධ්‍ය නිවේදන මගින් දැනුවත් කරන අතර එක් එක් පුවත්පත් සඳහා වෙන වෙනම විස්තර සැපයිම දුෂ්කර බවද පැවසුවාය.

► යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03