වෙරළ ඛාදනය අවම කිරීම සඳහා කළුතර කැලිඩෝ, රත්මලාන, අඟුලාන සහ ගල්කිස්ස වෙරළ තීරයට කරනු ලැබූ කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය ඉතා අසාර්ථක ව්‍යාපෘතියක් බව පරිසරවේදිහූද සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ දෙනාද චෝදනා කරති.
පෙබරවාරි මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා 2019 වසරේ මැයි මස 08 වැනිදා කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ නිසාම මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබුවේ ජාත්‍යන්තර සමාගමක් සමඟය.
මේ සම්බන්ධව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති දේශයට දැක්වූ අදහස් මෙසේය.
කළුතර කැලිඩෝ වෙරළ තීරය ඉතා දරැණු විදිහට වෙරළ ඛාදනයට මුහුණ දෙන කොටසක්. ගල්කිස්ස මුහුදු තීරයේදීද මෝසම් කාලයේදී අපි වැලිකොට්ට දමා ආරක්ෂා කරනවා. මේ වෙරළ ඛාදනය වළක්වාලීමට තමයි අපි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ.
කෙසේ වුවද පෙබරවාරි මස 29 වෙනිදින ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අප්‍රේල් මස 30 වෙනි දින ගිවිසුමට අනුව නිමකළ යුතුබවට කොන්දේසියක් තිබිණි.
ගිවිසගත් පරිදි එම විදේශ කොන්ත්‍රාත් සමාගම මෙම ව්‍යාපෘතිය අප්‍රේල් දින වකවානුව තුළදී නිමකර අවසන්විය. කෝවිඩ් - 19 වසංගතය රට තුළ ව්‍යාප්ත වූවද මේ කාල සීමාව තුළදීද සමාගම තම කාර්යය ඉටුකර අවසන් කළේය. මේ නිසාම මෙය ඇඳිරි නීතිය කාලයේදී කඩිමුඩියේ කාටත් හොර රහසේ කළ ව්‍යාපෘතියත් වශයෙන් චෝදනා එල්ල වීමටද හේතුවක් විය. මේ නිසාම මෙය වැඩිදෙනෙකුගේ කතාබහට ලක්වුණු, වැඩි දෙනෙකුගේ චෝදනාවට පත්වුණු ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
කෙසේ වුවද අවසන් වුණු මෙම ව්‍යාපෘතිය ගැන නැවතත් කතාබහට ලක්වීමට හේතුවූයේ පසුගියදා ඇඳහැළුණ ධාරානිපාත වර්ෂාවත්, බලපෑ කුණාටු තත්ත්වය හා මෝසම් තත්ත්වය හේතුවෙන් පිරවූ වැලි ප්‍රමාණයෙන් යම් කොටසක් නැවතත් මුහුදට ගසාගෙන යාමක් හේතුවෙනි. මේ නිසාම මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බවට බොහෝ දෙනා චෝදනා කරති.
මෙම ව්‍යාපෘතියට යෙදවූ මහජන මුදල් අපතේ ගියා කියා ඇතැමුන් කියනවා. අපිට පසුගිය කාලයේදී අනපේක්ෂිත විදිහට කුණාටු තත්ත්වයක් ඇතුවුණා. ඒ කුණාටු තත්ත්වය සමඟ පසළොස්වක පොහොයත් බලපෑවා. මේ බලපෑම් නිසා අපි බලාපොරොත්තු වුණු කාලයට වැඩියෙන් වෙරළට පොම්ප කළ වැලි ප්‍රමාණයක් ඉවත්වුණා.
යැයි වෙරළ සංරක්ෂණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද්දේ වෙරළ ඛාදනය අවම කරලීම සඳහායි. මෙම ව්‍යාපීතියට පෙරද මෙවැනි වැලිපෝෂණ ව්‍යාපෘතියක් මීගමුව ප්‍රදේශයේ සිදු කෙරිණි. එමෙන්ම උණවටුන වෙරළ තීරයේ ඇතිවුණු දරුණු වෙරළ ඛාදනයේදී එය වළක්වනු ලැබුවේ මෙලෙස වැලි පිරවීම මගිනි.
මෙවර සිදු කළ මෙම ව්‍යාපෘතියට ගල්කිස්ස, රත්මලාන සමඟ කළුතර කැලිඩෝ වෙරළ තීරයද අයත් වුණි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රජයෙන් වෙන්කල මුදල වන්නේ මිලියන අටසිය අනූවකි. එයින් කළුතර කැලිඩෝ වෙරළ තීරයට වැඩි මුදලක් වැය කර තිබිණි. මේ අනුව ගල්කිස්ස මුහුදු වෙරළට වැලි කියුබ් එක් ලක්ෂ පනස් පහක්, රත්මලාන අඟුලාන වෙරළ තීරයට වැලි කියුබ් තුන් ලක්ෂ පනස් දාහක් සහ කළුතර කැලිඩෝ මුහුදු වෙරළට වැලි කියුබ් ලක්ෂ තුනක් වශයෙන් පොම්ප කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතියය අවසන් වුවද එය අසාර්ථක ව්‍යාපෘතියක් බවට බොහෝ දෙනා චෝදනා කරති. ඒ ගල්කිස්ස වෙරළ තීරයට පොම්ප කළ වැලි වලින් විශාල වැලි කොටසක් නැවතත් මුහුදට ගසාගෙන යාමත් සමඟමය. මෙය ජනතාවගේ මුදල් නිරපරාදේ මුහුදට ගසාගෙන යාමත් බවත් බොහෝ දෙනාගේ අදහසය.
නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අදහස වන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් මෙලෙස පුරවන ලද වැලි වැටියට මුහුදු රළ වැඳුණු පසුව එම වැලි වැල්ලවත්ත දෙයට ගසාගෙන ගොස් මීටර් පහළොවක පමණ වෙරළක් නිර්මාණය වීමට නියමිත බවත්ය. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම ගල්කිස්ස මුහුදු තීරයේ දකින්නට තිබුණු ලෝප්‍රසිද්ධ ගල්පරවලට සිදුවූයේ කුමක්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ අතර ඒ පිළිබඳ මීට පෙර සාකච්ඡාවකදී කරුණු දැක්වූ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති දේශයට ප්‍රකාශ කර තිබුණේ මෙසේය.
මේ වැලි පිරවීමෙන් එම ගල් සියල්ලම වැසී ගිහින් තිබෙන්නේ. මේ තිබෙන විශාල වැලි ප්‍රමාණය ක්‍රමයෙන් උතුරු දිශාවට ගමන්කර ඒ අවශ්‍ය ප්‍රමාණයට වෙරළ තීරයට නිර්මාණය වෙනවා. පසුකාලයේදී ඒ ගල්පර නැවත මතුවෙනවා. අද ඒ ගල් නොපෙනී ගියත් යථාකාලයේදී ඒ සියල්ල දැකගන්නට පුළුවන් වේවි. එතන කිසිම ගලක් අපි ඉවත්කරලා නැහැ යනුවෙනි.
රටතුළ පවතින මෝසම් තත්ත්වය මුහුණදෙන ඒ ප්‍රදේශවල ජනතාවගෙන් මේ පිළිබඳව විමසීමත් සමඟ ඔවුන් මේ සම්බන්ධව යම් දැනුවත් කිරීමක් කළේනම් ඒ පිළිබඳව වඩාත් හොඳ වැටහීමක් ඔවුන්ට තිබිය හැකි බවත් එවැනි දැනුම්දීමක් එම ජනතාවට සිදුනොකළේ ඇයි දැයි අප කළ විමසීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මෙසේ අදහස් දැක්වීය.
අපි මෝසම් කාලයට පෙර මෙම ව්‍යාපෘතිය අවසන් කරන්නට බලාපොරොත්තුවක් වුණා. ඒ බලාපොරොත්තු වුණු විදිහටම අපි මේ ව්‍යාපෘතියේ මෝසම් කාලයට පෙර සිදුකර අවසන් කළා. මෝසම් කාලයේදී මෙම වැලි යෙදූ ප්‍රදේශයට මීට පෙර තිබූ තත්ත්වය මුහුණ දුන්නානම් වෙන්න තිබුණු විනාශය වැඩියි. මෙම ව්‍යාපෘතිය කරන්නට පෙර කළුතර කැලිඩෝ මුහුදු තීරයේ විශාල ප්‍රමාණයක් මුහුදට ගසාගෙන ගොස් තිබුණි. ඊළඟ මෝසම් තත්ත්වයට මේ කොටස මුහුණ දුන්නානම් ඇතිවෙන්නට තිබුණු විනාශය බරපතළ වන්නට බොහෝ ඉඩ තිබුණා. ඒ නිසා තමයි මේ මෝසම් කාලයට පෙර අපි මේ ව්‍යාපෘතිය අවසන් කළේ. කළුතර කැලිඩෝ වෙරළ තීරය, රත්මලාන සහ ගල්කිස්ස මේ කොටස් තුනම එකම ව්‍යාපෘතියකට අයත් කොටසක්. එහි අවසන් කරන්නට තිබුණේ ගල්කිස්ස වෙරළ තීරයෙනුයි. මේ නිසා අපි මුලින්ම කල කළුතර සහ රත්මලාන ඒ අවට ප්‍රදේශවසීන්, ධීවරයින් ඇතුළු පිරිසම මුණගැසී මේ පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡාකර ඔවුන්ගේ අනුමැතිය හා කැමැත්ත මත එම කොටස් වැලිවලින් පිරෙව්වා. ගල්කිස්සේ සිදුකරන්නටත් ප්‍රථම ඒ ගැන සමානවම ඒ ප්‍රදේශවාසීන් සමඟ කතාබහ කරන්නට සිටියත් අනපේක්ෂිතව ඇතිවුණ රෝග වසංගතයක් සමඟ ඔවුන් සමඟ සාකච්ඡා කරන්නට අපිට අවස්ථාව ලැබුණේ නැත. නමුත් මේ ව්‍යාපෘතිය අපි හොර රහසේ කළ ව්‍යාපෘතියක් නොවේ. යනුවෙන් පැවසීය.
කෙසේ වුවත් පැවැති මෝසම් තත්ත්වයත් සමඟ ඒ ගල්කිස්ස වෙරළ තීරයේ පිරවූ වැලි ඉතා ඉක්මනින් උතුරු දිශාවට ගසාගෙන යාමක් සිදුව තිබේ. මේ නිසාම වර්තමානය වනවිට යට වී තිබූ ගල්පර කිහිපයක් නැවත මතුවී ඇති බව දැන් පෙනෙන්නට තිබේ.
එක ස්ථානයක තිබෙන වෙරළක් අඩුවැඩි වශයෙන් වෙනස්වීමට ලක්වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව වන්නේ මුහුදු රළ සහ දියරැලි වල බලපෑම්. ලංකාවේ බටහිර වෙරළේ තිබෙන වැලි දකුණු දිශාවේ සිට උතුරු දිශාවට ගමන් කරනවා. මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා ගංඟා ඇළදොළවලින් ලැබෙන වැලි සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවෙනවා. බටහිර වෙරළ ගත්තොත් කළුගඟ, කැළණි ගඟ ආශ්‍රිත සිදුකරන වැලි ගොඩදැමීම් නිසා විශල වැලි ප්‍රමාණයක් අඩුවෙලා තිබෙනවා.
සමීක්ෂණ අනුව බටහිර වෙරළේ වැලි ගමන් කිරීම වර්ෂයකට වැලි මීටර් කියුබ් තුන් ලක්ෂ පනස් දහසක් බවයි. මේ වැලි ගංඟා වෙතින් ලැබිය යුතු වෙනවා. එය නොමැති විට වෙරළ ඛාදනයක් සිදුවෙනවා. ඊට අමතරව තවත් හේතුත් මේ වෙරළ ඛාදනයට හේතුවෙනවා.
යැයි වෙරළ සංරක්ෂණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු සුජීව රණවක වැඩි දුරටත් පැවසීය.
වෙරළ ඛාදනය වැළැක්වීමට නොහැකි ක්‍රියාමාර්ගයන් දෙකකි. එනම් කළුගල් වැනි තාවකාලික වැටි යෙදීම සමඟ වැලි පෝෂණය කිරීමයි. ඔවුන් පවසන පරිදි ලෝකයේ පිළිගත් හොඳම විසඳුම වන්නේ මෙම වැලි පෝෂණ ව්‍යාපෘතියයි. වෙරළට අඩුවුණ වැලි කෘත්‍රිවම වෙරළට ලබාදීම මෙම ක්‍රියාවලියෙන් සිදුකරයි.
වැලි වෙරළේ ගමන් කරනවා. බටහිර වෙරළේ දකුණේ සිට උතුරට වැලි ගමන් කරනවා. වෙරළේ යම් ස්ථානයක වැලි පෝෂණය කළවිට එම ස්ථානයේ සිට උතුරු දෙසට පවතින දීර්ඝ වෙරළ තීරයන් ආරක්ෂා වෙනවා. මෙම වැලි පෝෂණ ව්‍යාපෘතිවල අරමුණ වන්නේද එයයි. මේ නිසා වෙරළ ඛාදනය වැළැක්වීමට පරිසර හිතකාමීව ලබාදිය හැකි හොඳම විසඳුම වන්නේද මෙම වැලි පෝෂණ ව්‍යාපෘතියයි. මේ නිසා මෙයින් ධීවර ජනතාවට සඳහාත්, සංචාරක කර්මාන්තය සඳහාත් විනෝද ආශ්වාදය සඳහාත් අවශ්‍ය වෙරළක් ලබාගෙන නැත. මේ පීඩා මේ ව්‍යාපෘතිය ඉතා සාර්ථක ව්‍යාපෘතියක්
යැයි සුජීව රණවක වැඩිදුරටත් පැවසීය.
► දිශානි ජයමාලි කරුනාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ