අමතක නොවන පාඩම් ඉගෙනගත් අවස්ථා ලෝක ඉතිහාසයේ සටහන්ය. උද්වේගී බව තරමක් ලිහිල් වී ඇති කොවිඩ් -19 වෛරසය ද අතීතයට එකතුවන දිනයක් උදාවනු ඇත. ලෝකයේ ප‍්‍රකට විද්‍යාඥයෝ කණ්ඩායම් විසිපහකට වඩා පිරිසක් මෙම මාරාන්තික වයිරසයට ප‍්‍රතිකාර සොයමින් සිටිති. බලවත් රාජ්‍ය එයට මුල්‍ය අනුග‍්‍රහය දක්වා තිබේ. රටවල් පමණක් නොව ප‍්‍රකට ධනවතුන් නොපැකිලව පරිත්‍යාග කරන බව අනාවරණය වෙමින් තිබේ. සෞඛ්‍ය පිරිවැය අධික නමුත් බොහෝ රටවල් නැවත හිස ඔසවා සාමාන්‍ය ජීවිතයට ඇතුළු වෙන්නට උත්සාහ කරමින් සිටී
ශ‍්‍රී ලංකාව කොවිඩ් වසංගතය පාලනය කරගන්නට බලවත් ප්‍රයත්නයක නිරත විය. සමාජ දුරස්ථකරණය ක‍්‍රියාවට නැංවීය. කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කවල එක දිගට දින හැටහයක් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණි. දිවයින පුරා ඇඳිරිනීතිය පනවන ලද අතර සමාජයට වියහැකි බලපෑම, ආර්ථිකය අඩාලවීම හා මැතිවරණ පැවැත්විය නොහැකි පසුබිම නොසලකා තද පියවර ගන්නට ආණ්ඩුව තීරණය කළේය. එයින් ලැබුණ වාසි හා අවාසි මිශ‍්‍ර නමුත් ජනතාව ආරක්ෂා කරගන්නට සමත්වීම කැපී පෙනිණි. දැන් ජනතාව ගේ පීඩනය ලිහිල් වෙමින් තිබේ. මිනිසුන් සිය ජීවනෝපාය අරඹා ඇත. මෙම මොහොතේ ගැටලු පැන නැගෙමින් තිබේ.
• බිල් ගෙවීම පළමුවෙන් මුහුණ දෙන ප‍්‍රශ්නයක්
ජලය, විදුලිය හා දුරකතන බිල්පත් නිරාකරණය අපහසුවීමෙන් පාරිභෝගිකයෝ ගැටලුවකය. එදිනෙදා ජීවන වියදම ප‍්‍රශ්නයක සිටි ජනයා පෙබරවාරියේ සිට සිට ගෘහස්ථ බිල්පත් පිළිවෙළකට ගෙවා නැත. මාර්තු සහ අප්‍රේල් මාසවල ද එකතු වී තිබේ. මනු කියවන්නන් පැමිණ එහි ඇති අංක කියවා අතට දෙන බිල දකිනවිට තැති ගැන්මක් හටගනී. හත් අට සියයක් ගෙවූ විදුලිය බිල හත් අට දාහක් වී තිබේ. ජලය මෙපමණ පාවිච්චි කළාදැයි හිතන තරමට මීටරය වේගයෙන් ගමන් කර ඇත. පසු ගෙවුම් දුරකතනවල බිල්ද පැටලී ඇති ජංජාලයකි. පෙර ගෙවුම් දුරකතන සඳහා ප‍්‍රශ්නයක් නැති අතර ඒවායෙන් ලැබුන අමතර කොවිඩ් එස්.එම්.එස්. සහ ඩේටා වාසිය දැන් නැත. එයට හුරු වී සිටි ස්මාට් දුරකතන භාවිතා කරන පිරිස රීලෝඩ් කරන ප‍්‍රමාණය ක්ෂණයකින් වැය වන බව දක්වන බව පෙනේ.
දරැවන්ගේ පාසල් ගමන නතර වී ඇති නමුත් බොහෝ පාසල් ඇප් වලින් උගන්වයි. ටියුෂන් ගුරුවරු සජීවීව උගන්වනු සඳහා වට්ස් ඇප්, සූම්, වයිබර් වැනි මෙවලම් භාවිතා කරන අතර මේවාට ඩේටා අවශ්‍යය. එය අලුත් වියදමකි. දරුවන්ට ජංගම දුරකතන තහනම් කර තිබුණ අතර එයින් විශාල ඇබ්බැහිවීම් විය හැකි බව සමාජ විශෝධකයෝ දැක්වූ අදහසකි. දැන් පාසල් වියේ සියලුම දරැවන් දුරකතනයට නතුය. නැත්නම් විද්‍යුත් තැපැලෙන් එන ගොනු පිටපත් කරගෙන අධ්‍යයනය කළ යුතු තැනට පත්ව තිබේ. නිවසේ වියදම ඉහළ ගොස් ඇති අතර එය අනවශ්‍ය දොස් පරොස්වලට හේතු නොවූ නිවසක් නැත.
• බැංකුව ලියුම් එවන දිනය අත ළඟ
ඇඳිරිනීති කාලය තුළ ජනතාවට සහන ප‍්‍රකාශයට පත්කළ ආණ්ඩුව ණය වාරික අයකිරීම තාවකාලිකව නතර කරන සේ බැංකුවලට නියම කළේය. ණය වාරික මාස හයක් දක්වා නොගෙවා සිටිය හැකි බව බැංකු දන්වා තිබුණි. කදිම වාසියක් යැයි කල්පනා කළ බොහෝ ගනුදෙනුකරැවන් වික්ෂිප්ත වන දිනය නුදුරේදීය. ණය වාරික අය කිරීම අත්හිටුවන ලද නමුත් තමන් ගත් ණය සම්පූර්ණයෙන් ආපසු ගෙවිය යුතුය. අත්හිටුවන ලද කාල සීමාව සමඟ ණය ගිවිසුමේ සඳහන් කාලය මාස හයකින් දිග් වෙයි. ණය නොගෙවන ලද නමුත් හිඟ වාරික වලට නියමිත පොලිය ගෙවිය යුතුය. මාස හයක හිඟ පොලිය සාමාන්‍යයෙන් ණය වාරික දෙකක එකතුවක් වෙන්නට බැරි නැත. නැවත ණය ගෙවීම අරඹා මාස දෙකක් තුළ මෙම අතිරේක පොලිය අනිවාර් යෙන් ගෙවීමට සිදුවනු ඇත. එය නොගෙවුවහොත් එකී පොලිය වෙනුවෙන් තවත් දඩ පොලියක් අය කෙරේ. ඉදිරි සතිවල ණය ගෙවන සේ සහ එම පොලිය ගැන සඳහන් ලිපි අහිංසක ජනතාව අතට ලැබෙනු ඇත. බැංකු ණය නොගෙවිය යුතු උද්දාමයෙන් සිටි ගනුදෙනුකරුවන් පත්ව ඇති තත්ත්වය සලකා බැලිය යුතුය.
මෙරට ව්‍යවසායකයන්ද බැංකුවලින් ණය ගෙන තිබේ. නිවාස ණය, වාහන ණය හා ෆිනෑන්ස් සමාගම් වල ලීසිං නැති පුරවැසියෝ දුර්ලභය. පසුගිය වසරේ සියයට පහළොව හා විස්ස අතර තිබුණ ණය පොලිය දැන් සියයට දහය සහ පහළොව අතර ප‍්‍රමාණය දක්වා පහත වැටී ඇත. එයට හේතුව මහ බැංකුව ප‍්‍රතිපත්ති පොලී අනුපාත අඩු කරන තීරණයේ බලපෑම වන අතර මෙම වසර තුළ හතර වතාවක් පොලිය අඩු කර තිබේ. කලින් ගත් ණය වලට මෙම වාසි ලැබෙන්නේ නැත. ණය පොලිය වැඩි කළහොත් ක්ෂණිකව එයට අවතීර්ණ වන බැංකු පොලිය පහත වැටීමේ වාසි ණය හිමියන්ට නොදෙන්නේ මන්ද? ආණ්ඩුව නියම කරන ලද පරිදි ණය ගෙවා ගත නොහැකි ව්‍යවසායකයන්ට සහන ණය යෝජනා ක‍්‍රම ප‍්‍රකාශයට පත්කර තිබේ. බැංකු වලින් ඒවා නිකුත් කරන්නේ නැත. මේවා ගැඹුරින් සලකා බැලිය යුතු පැති වශයෙන් දැක්විය යුතුය.
• උත්සවවලින් වැළකෙන නියමය වලංගු එකක්ද?
සෞඛ්‍ය බලධාරීහු කොවිඩ්-19 වෛරසයේ තර්ජනය හමුවේ ජනජීවිතය දුරස්ථ කළහ. උත්සව හා සම්භාෂණ වැළැක්වූහ. මංගල හා අවවංගල්‍ය උත්සව පවා පාලනයකට යටත් කළහ. සැකසහිත මරණයකදී ක‍්‍රියා කළ යුතු අන්දම පමණක් නොව සාමාන්‍ය අවමංගල්‍යයකදී පවා එකතු විය හැකි පිරිසද සීමා කරන ලදී. එම නියමයන් බලවත් ගැටලු ඇති කළ අතර ආගමික පිළිවෙත් උල්ලංඝනයවීම දැඩි විරෝධයකටද හේතු විය. ජනතාවට එවැනි නියෝග පනවන නමුත් ආණ්ඩුවේ බලධාරීන් තීරණ ගත්තේ අනෙක් ක‍්‍රමයකටය. කොවිඩ් වෛරසයේ බලපෑම තුනී වන කාල වකවානුවක මෙම හැසිරිම නිරීක්ෂණය කළ හැකි නමුත් සමාජ මාධ්‍ය වල විවේචනය ඉහ වහා ගිය බව පෙනිණි. ශ‍්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සම්බන්ධතා අනුව උපත, විවාහය හා අවමඟුල ආර්ථිකයේ තරමට වියහියදම් තර කරන අතර එය වළක්වා තිබීම සෑහෙන පීඩනයකට නතුකළ අවස්ථාවකි.
ඇඳිරිනීතිය ඉවත්කර සුපුරදු ජන ජීවිතය ඇරඹන විට නැවත මහ පාර ජනාකීර්ණ වනු ඇත. ජනතාවගේ ඉවසිල්ල තුරන් වෙයි. වාහන අනතුරැ නැවතත් වාර්තා වෙන්නට ඉඩ තිබේ. ලිහිල්කරණය අතරවාරයේ ගමන් බිමන් වලට නැඹුරැව අනෙක් වැදගත්ම පැත්තකි. මාස ගණනක් නිවෙස්වල සිටි තරැණ පිරිස් පමණක් නොව වැඩිහිටියන්ද ඇඳුම් බෑග් අතට ගෙන සංචාර අරඹන්නට ඉඩ තිබේ. එය වෛරසයේ දෙවැනි රුල්ලකට අතවැනිමකි. ලෝකයේ අනෙක් රටවල එහි විපත් මතු වී අනතුර ඉහවහා ගොස් ඇත. වේගයෙන් ගමන්කරන, ජලාශ වලට පනින හා මහ මුහුදේ නාන්නට යන පිරිස රට තුළ සංවේගී අවස්ථා මතු කරනු ඇති බව නිසැකය. බලධාරීන් සලකා බැලිය යුතු පැති වශයෙන් මේවා වෙන්කර දැක්විය හැකිය.
• පුරුදු සුව පහසුව නැති කාල වකවානුවක්
ජනතාව සහනවලට කැමතිය. ශ‍්‍රී ලංකාව ගත කරන කාල වකවානුව සහන අත් හිටවිය යුතු මොහොතකි. රජයේ ආදායම සීමා සහිත වී තිබේ. වියදම ඉහළ නැග ඇත. විනිමය ලැබෙන ප‍්‍රධාන මාර්ග අවහිර වී තිබේ. සංචාරක කර්මාන්තය බිංදුවට වැටීම එයින් ප‍්‍රමුඛය. විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ප්‍රතිශතය සියයට විස්සකින් පමණ අඩුවනු ඇතැයි සැළකේ. ඇඟලුම් අපනයනය සියයට තිහකින් පහත වැටෙනු ඇතැයි ගණන් බලා ඇත. මෙවැනි අවකාශයක් තුළ රාජ්‍ය ආදායම පමණක් නොව විනිමය ප‍්‍රශ්න මතුවීම වැළැක්විය නොහැකිය. ආර්ථික වර්ධනය රින අගයක් ගන්නට ඉඩ අති බව මුල්‍ය අරමුදල පෙන්වා දී තිබේ. එහෙත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විශේෂඥයන් 2020 වර්ධනය සියයට හතරක් දක්වා ඉහළ යනු ඇතැයි පළ කර ඇත. එවැනි වාසියක් ලැබුණහොත් ජනතාවගේ වාසනාවකි. නොඑසේ නම් මෙම වසර ඉතාම දුෂ්කර අවසානයක් දක්වා යොමුවනු නිසැකය.
රුපියලේ අගය අවප‍්‍රමාණය වී උද්ධමනය ඉහළ ගියහොත් ජීවන වියදම නරක සේ බලපාන්නට ඉඩ ඇති බව මතක් කළ යුතුය. මාස දෙකක් පහසුවෙන් සිටි ජනතාවට ජීවිතය දුෂ්කර බව දැනෙන්නට ඉඩ තිබේ. මග හැරුණ අවස්ථා දිනා ගැනිමට මහන්සියෙන් වැඩ කරන්නට සිදුවුහොත් එය දැනෙන කාරණයකි. පාත්ෆයින්ඩර් පදනමේ විශේෂඥයන් ජනාධිපතිවරයාට භාර දී ඇති වාර්තාවක නිවාඩු අඩුකරන අතර සෙනසුරාදාත් වැඩකර ආර්ථිකය නංවන සේ යෝජනා කර ඇත. ආර්ථිකය නංවන්නට ගත යුතු පියවර ගැන සඳහන් යෝජනාවලියක් අතර එයද එකකි. ලෝකයේ අනෙක් රටවල් විශේෂයෙන් ජපානය, සිංගප්පූරැව හා මැලේසියාව තමන් සිටි යුගයේ සිට ඉසුරැමත් තැනකට ගමන් කළේ කැපවීමෙන්ය. නොකඩවා වැඩ කිරීමෙන් බව දැක්විය යුතුය. සමාජයක් වශයෙන් අප සියලු දෙනා එයට සූදානම්ද?
ගාමිණී සරත් ගොඩකන්ද