2020 ජුනි 06 වන සෙනසුරාදා

මාවතගමට කවාවැදුණු පළගැටි සුනාමිය

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

බඩඉරිඟු වගාවට විශාල හානියක් කළ සේනා දළඹුවා පිළිබඳ මතක ඉවත්වීමටත් පෙරම තවත් වගා කෘමි හානියක් ගැන වාර්තාවීමට පටන්ගෙන ඇත. ඒ කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ තලංපිටිය, දොරටියාව, මලංදෙණිය, උඩගම ඇතුළු ග්‍රාමසේවා වසම් 10ක පමණ ව්‍යාප්ත වී ඇති පළඟැටි උවදුරකි. මෙම පළඟැටියා මුලින්ම වාර්තා වූයේ මාවතගම මීපල්ලේගම ප්‍රැන්සිස්කු වත්තෙනි.

සේනා දළඹුවා හානි කළේ බඩඉරිඟුවලට පමණි. ඒත් මේ පළඟැටියා අතට අහුවෙන ඕනෑම ශාකයක පත්‍ර අනුභව කරන පළිබෝධකයෙකි. විශාල ගහණ ඝනත්වයකින් යුක්තව ගස්වල සැරිසරයි. පොල්, කෝපි, අඹ, කොස්, බඩඉරිඟු, කෙසෙල්, පුවක්, මයියොක්කා, පොල් ඇතුළු ඕනෑම කෘෂි ශාකයක පත්‍ර කා දමා වනසන බව නිරීක්ෂණය වී තිබේ.

සීඝ්‍රයෙන් පැතිරෙන ස්වභාවයක් තමයි තිබෙන්නේ. තවදුරටත් ව්‍යාප්ත වුවහොත් නාවික හමුදාවේ සහායත් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා* මාවතගම ප්‍රාදේශීය ලේකම් ස්වර්ණ එදිරිසිංහ සඳහන් කරයි. ඒ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම පළඟැටි උවදුර මර්දනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබේ. කෘෂි උපදේශකවරු 50 දෙනකුට දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා පුහුණු කරවා උවදුර ව්‍යාප්තව පවතින ප්‍රදේශවලට යොමු කරවීමට නියමිත බව වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. සීලරත්න පවසයි.

පසුගිය 30දා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.ඩබ්ලිව්. වීරකෝන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය බුද්ධි මාරඹේ ඇතුළු කණ්ඩායමක් එක්වූහ. ඔවුන්ගේ අරමුණ වූයේ පළඟැටි හානිය විමසා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමයි.

පොල් හා වී ප්‍රධාන වශයෙන් පැතිරී තිබෙන මාවතගම අතිරේක බෝග වගාවද සාර්ථකව සිදුකරන කෘෂිකාර්මික කලාපයකි. එවැනි සරැසාර ප්‍රදේශයක මෙවැනි පළිබෝධකයෙක් වර්ධනය වුවහොත් අත්වන්නේ විශාල හානියකි. 

මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ මහාචාර්ය බුද්ධි මාරඹේ,

අපට මේ ගැන තොරතුරු ලැබුණු විටම මාවතගම පළඟැටියන් ව්‍යාප්තව තිබෙන මාවතගම ප්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයට නිරීක්ෂණ චාරිකාවකට ගියා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමඟ. මෙහිදී අපට දැකගැනීමට ලැබුණා මේ සතා ගස් උඩට යන බව. පොල්ගස්වලටත් කඳ දිගේ නගිනවා. මෙහිදී පොල්ගස්වල කරටියටත් යනවාද පරීක්ෂා කිරීමට ඩ්‍රෝන කැමරා යොදාගත්තා. එම ඡායාරෑපවල ප්‍රතිඵල ලැබේවි. පොල්ගස්වල අතුවලට ඉහළින් සිටිනවාද, කොස්ගස්වල මුදුන් අතුවලත් සිටිනවාද යන්න අපට ස්ථීරවම දැකගන්නට හැකිවේවි. එම ප්‍රතිඵල මතයි ඌ පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කළ යුත්තේ.

අප්‍රිකානු රටවල සිට ඉන්දියාව දක්වා ව්‍යාප්තව පවතින කාන්තාර පළඟැටියා මේ සතා බවට සමහරැ සැකකළත් කෘෂි විද්‍යාඥයන් පවසන්නේ ඒ සතා නොවන බවය. මෙම පළඟැටියා අප රටේ මෙයට පෙරද වාර්තා වී ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩී. වීරකෝන් සඳහන් කර සිටී. මහාචාර්ය මාරඹේද ඒ අදහස තහවුරැ කරයි. ඒ නිසා කාන්තාර පළඟැටියා ගැන මේ අවස්ථාවේ බියක් ඇතිකර ගත යුතු නැති බව ඔහු සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් පැවසූ මහාචාර්ය මාරඹේ මෙසේද කීවේය.

මේ පළඟැටියා මෙයට පෙරත් මාවතගම ප්‍රදේශයේ ගොවීන් දැක තිබෙනවා. නමුත් මෑතකදී ඒ සත්ත්ව ගහණය විශේෂිත හේතුවක් නිසා විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒකට හේතුව අපට තවම හිතාගන්න අපහසුයි. මේ කරැණු ගැන කෘෂි විද්‍යාඥයන් තවදුරටත් විශ්ලේෂණය කරනවා

මාවතගම ප්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයේ අක්කර 4ක ප්‍රදේශයක මුලින්ම මෙම පළඟැටියා ව්‍යාප්තව සිටින බව වාර්තා විය. ඌ කළු සහ කහ පැහැති සිරැරකින් යුක්තය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක නිලධාරීන් ද ගොවීන්ද ගෙන්වා පළඟැටි උවදුර ගැන දැනුවත් කිරීමක් සිදුවිය. එහිදී පැවසුණේ මේ සතා දුටුවිට ඌ මර්දනය කිරීමට පෞද්ගලිකව ක්‍රියාමාර්ග නොගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසය. එවිට මාවතගම අවට තවත් ප්‍රදේශවල පළඟැටියා සිටින බවට ගොවීන් විසින් වාර්තා කෙරිණි.

මේ වගේ අවස්ථාවක මුලින්ම කරන්නේ ගහණය අඩුකරලා පාලනය කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ පළඟැටියන් විනාශ කිරීමට දැනට පාලනය කරන්නේ ශාකවලට සහ ක්ෂීරපායින්ට අඩුම හානියක් ගෙන දෙන කෘමිනාශක. කෙසේ වුවත් නැවුම් ලෙස ආහාරයට ගන්නා පත්‍ර සහිත බෝග සතියක් පමණ යනතෙක් ආහාරයට ගන්න එපා කියලා අපි ඉල්ලා සිටියා. මේ හානිය ගැන අපි දැනුම්වත් වුණේ ජනතාවගේ උනන්දුව නිසයි. කෘෂිකාර්මික උපදේශකවරු ඒ සඳහා ක්ෂේත්‍රයේ විශාල මෙහෙයක් කරන බව පේනවා. මේ සතත් ජෛව විවිධත්වයේ එක් කොටසක්. ඌ සමූලඝාතනය  කිරීමට අපහසුයි. පළඟැටියා තවමත් පියාසර තත්ත්වයේ නෑ. තවමත් පසුවන්නේ ශිශු අවස්ථාවේ. මේ පළඟැටියාට ශිශු අවස්ථා පහක් තිබෙනවා. දැන් සිටින්නේ තෙවන සහ සිව්වන අවස්ථාවලයි. ඉගිලී යන්නේ පස්වන ශිශු අවධියෙන් පසුවයි. ඊට පෙර කෘමිනාශකවලින් මර්දනය කළ යුතුයි. නැත්නම් පැතිරීම ඉහළ යාමට ඉඩ තිබෙනවා. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ දිනවල කඩිනම් පියවර ගනිමින් සිටිනවා. මිනිසුන්ට වගේම කෘෂිකර්මාන්තයටත් හානියක් නොවී හැකිතරම් ගහණ ඝනත්වය අඩු කිරීම තමයි මේ අවස්ථාවේ කරන්නේ.

දැනට නිසියාකාරව වැඩුණු පියාපත් නැති නිසා පළඟැටියා ගස්කඳන් මත ඇවිදිමින් යනු පෙනේ. මේ නිසා ඌ මර්දනය පහසුය. පොල් පර්යේෂණායතන නිලධාරීන්ද පැමිණ උගෙන් පොල්ගස්වල කරටියට හානි සිදුවූවාදැයි පරීක්ෂණ කිරීමට නියමිතය.
බෝගවලට භයානක බියක් ගෙන දෙන ඌ දිනකට කි.මී. 150ක් පියඹා යාමේ හැකියාවක් සහිතය. එම පළඟැටියා විවිධ භෝග වර්ග 200කට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව හෙළිවී තිබේ. ඒත් තවමත් ඌ සිටින්නේ ඉන්දියාවේය. ඒ නිසා ඒ පිළිබඳ පැතිර යන කටකතා හා සමාජ මාධ්‍ය කතා අසත්‍ය බවද කෘෂි විද්‍යාඥයෝ පවසති.

පළඟැටි විශේෂය පසුගිය බදාදා (03දා) වනවිට වයඹින් සබරගමුවට සහ දකුණ පළාතටත් ව්‍යාප්ත වී තිබෙන බව වාර්තා විය. මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ කෑගල්ල සහ මාවනැල්ල යන ප‍්‍රදේශවලටය. එම ප‍්‍රදේශවල පොල් සහ රබර් යන භෝගවලට  පළඟැටියන් හානි කිරීමට පටන්ගෙන තිබේ.

කෑගල්ල දිස්ත‍්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී.එන්.එල්. රාජපක්ෂ පවසා සිටින්නේ මේ වනවිට කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ගොවිජන සේවා කොට්ඨාස තුනකින් මෙන්ම අඹේපුස්ස, මාවනැල්ල, රඹුක්කන, සහ වරකාපොළ යන ප‍්‍රදේශවලින්ද මෙම පළඟැටියන් වාර්තා වන බවයි. ඊට අමතරව මාතර, පූරැගමුව සහ වලකන්ද යන ප‍්‍රදේශවලින්ද පළඟැටියා ගොවීන්ට හමුවී තිබේ. 

කීට විද්‍යාඥයින් පවසන්නේ වෙනත් වසරවලට සාපේක්‍ෂව මෙම වසරේදී මෙම පළඟැටි විශේෂයේ ගහණය සීග‍්‍ර ලෙස වැඩිවී ඇති බවත් ඊට බලපෑ හේතුව කුමක්දැයි තවමත් සොයාගෙන නැති බවත් ඒ සඳහා පර්යේෂණ සිදුවන බවත්ය.

පළඟැටි වර්ග දහස් ගණනක් වාර්ෂිකව ලොව ආහාර බෝගවලට විශාල හානියක් කරති. පසුගිය වර්ෂ පනහක කාලය තුළ අමෙරිකාවේ සහ කැනඩාවේ පමණක් වාර්ෂික ධාන්‍ය අස්වැන්නෙන් ඇ.ඩො. මිලියන 50 සිට 200 දක්වා වටිනාකමකින් යුත් ධාන්‍ය උන් විනාශ කර තිබේ. අපේ කෘෂි විද්‍යාඥයන්ටද පළිබෝධකයන් සමඟ සටන් කර හොඳට පුරැදුය. අපි ධනාත්මකව මේ උවදුර මර්දනය කිරීම දෙස බලා සිටිමු.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03