ලෝකයේ රටවල් ගණනාවක උද්ධමනය ක‍්‍රමයෙන් පහළ වැටෙමින් තිබේ. ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවල අවධමනයක් සිදුවූ ඇමරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු බටහිර රටවල් වසරේ ඉදිරි කාලයේ පැවැතිය හැකි ස්වභාවය ගැන තියුණු අවධානයකින් පසුවන බව අනාවරණය වෙයි. උද්ධමනය බිංදුවක් වී ඇති රටවල් ගණන විසිතුන ඉක්මවා ගොස් ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළේය. ඇමරිකාවේ එය ඍණ අගයකි. මෙම අගයන් පැවැතුණහොත් භාණ්ඩ හා සේවා මිල තවදුරටත් අඩුවනු ඇති අතර එය ඉල්ලුම සීමාවන කාරණයක් බව දැක්වෙයි. ඉල්ලුම අඩු වී පරිභෝජනය සීමාසහිත වුවහොත් එය නරක පැත්තකට බලපාන්නට ඉඩ ඇති බවද පැවසේ. එහෙත් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරන විට උද්ධමනය පහළ අගයක තිබීම යහපත් තත්ත්වයකි. මෙම මිශ‍්‍ර ප‍්‍රතිඵල කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් උද්ගත වූ තත්ත්වයක් බව ප‍්‍රකාශ වී තිබේ. ශ‍්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකයද අප්‍රේල් මාසයේදී අඩු වී ඇත. මහ බැංකුව දක්වන අන්දමට ජාතික පාරිභෝගික මිල දර්ශක පදනම අනුව මාර්තු මාසයේ සියයට 7 ක සිට අප‍්‍රියෙල් මාසයේ දී සියයට 5.9 දක්වා උද්ධමනය පහත වැටී ඇත. එහෙත් මෙම අඩු අගය තාවකාලිකය. වසර අවසන් වනවිට ඉලක්කම් දෙකක අගයක් දක්වා උද්ධමනය වැඩිවෙන්නඩ ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක් තිබේ.
• තෝරාගත් භාණ්ඩ හෝ සේවාවල මිල පහත වැටීම
නියැදියක් වශයෙන් තෝරාගත් භාණ්ඩ හෝ සේවා ප‍්‍රමාණයක නිශ්චිත කාලසීමාවක් තුළ සිදුවූ මිල වෙනස්වීම උද්ධමනය මගින් පෙන්නුම් කෙරේ. අනෙක් අතට සමාන මුදල් ප‍්‍රමාණයකට එදා ගත් භාණ්ඩ ප‍්‍රමාණ අද ලබා ගැනීමට ඇති පහසුව හෝ අපහසුව මැනගැනීමටද මෙම දර්ශකය උපකාරී වෙයි. ශ‍්‍රී ලංකාවේ උද්ධමනය නිතර උච්ඡාවචනය වෙයි. පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි තැනකට තවම පත් වී නැත. ඉදිරියේදී අවදානමක් සහිත අගයකට පත්වනු ඇතැයි පුරෝකථනය වී තිබේ. නොයෙක් රටවල් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුණු උද්ධමන අනුපාතික හමුවේ බරපතළ අර්බුදවලට මුහුණ දුන් බව පෙන්වා දිය යුතුය. හොඳ මුල්‍ය පාලනයක් සහ දේශීය ණය සීමා කිරීමක් තුළින් උද්ධමනය පාලනය කළ හැකි අතර ජනතාවට දැනෙන වෙනස්කම් ඇති කළ හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයන් දක්වන පරිදි ඉතාම ඉහළ උද්ධමනය යහපත් නැත. අවධමනයද හිතකර නොවේ. නිෂ්පාදනය පහත වැටෙන හේතුවකි. ඵලදායීතාව වර්ධනය විය හැකි නමුත් එය සාපේක්ෂව වාසිදායක නැත. ශ‍්‍රී ලංකාවේ උද්ධමනය අප්‍රේල් හා මැයි මාසවල යටපත්ව ඇති අතර විශේෂ වාසියක් එයින් ලැබෙන්නේ නැත. ඉදිරි මාස කිහිපය තුළ එය අනෙක් පැත්තකට හැරෙන්නට ඉඩ තිබේ.
• ජනතාවට දැනෙන අඩු උද්ධමන අනුපාතිකය
ඉකුත් අප්‍රේල් මාසයේ උත්සව සිරිය තිබුණේ නැත. පොලිස් ඇඳිරි නීතිය හෙයින් ජනතාව නිවෙස් වලට කොටු වූ අතර තමන් අසලට පැමිණි වෙළඳුන්ගෙන් අත්‍යවශ්‍ය දේ පමණක් තෝරාගත්හ. භාණ්ඩ හා සේවා වල ඉල්ලුම අඩුවිය. බිත්තර, මස් සහ එළවළු වර්වල මිල ගණන් කැපී පෙනෙන සේ පහළ ගියේය. පාරිභෝජනය නොවන අනෙක් අංශවල මිලද පිරිවැයද අඩුවී තිබේ. බස් ගාස්තු, ඖෂධ වියදම හා විනෝදාත්මක කටයුතු වෙනුවෙන් කරන වැය අඩුවන විට එය උද්ධමනය අඩු බව සටහන් කරන බව පෙන්වා දිය යුතුය. වෙළඳ පොළේ බඩු මිල අඩුවන විට ජනතාවට එය වාසියකි. එහෙත් ඇඳිරි නීතිය සමයේ අඩු මිල ගණන් හෙයින් පරිභෝජනය ඉහළ ගියේ නැත. සමහර දේ විකුණා ගැනීමේදී බලවත් ප‍්‍රශ්න ඇති කරන ලද බව දැක්විය යුතුය. දිනපතා බඩු අඩුවන වේගයට සමානුපාතිකව දෛනිකව ආදායමද පහළ ගියේය. උත්සව අත්තිකාරම් ලැබුණේ නැත. අතිකාල සීමා විය. රජයේ හා පෞද්ගලික අංශයේ සේවයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය සේවාවලට සීමා වූ අතර දින හැටහයක් එම පසුබිම පැවැතිණ. සුපුරැදු ආදායම අතට නොලැබෙන විට එදිදෙනා අවශ්‍යතා නිසි පරිදි ඉටු කරගත නොහැකි වන අතර මුලින් දක්වන ලද පරිදි අඩු ඉල්ලුම තවත් පාලනයට හේතුවක් වෙයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වන අන්දමට 2020 ජනවාරි මාසයේ උද්ධමනය සියයට 5.7 කි කලින් වසරේ සමාන කාල සීමාවට වඩා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති බව එයින් දක්වයි. පෙබරවාරි මාසයේ දී එම උද්ධමන අනුපාතිකය සියයට 6.2 කි. මාර්තු මාසයේ දී සියයට 7.0 ක් වූ අතර අප‍්‍රියෙල් වනවිට එය සියයට 5.9 තෙක් පසු බැස තිබේ. වාර්ෂික සාමාන්‍ය බඩු මිල ඉහළ යන වේගය සියයට 5 ක් බව දැක්වෙයි. වාර්තා පෙන්වන අන්දමට අඩු උද්ධමනය නිසා ජීවන මටට්ම සීමා වෙමින් තිබේ. මැයි මාසයේ දත්ත මෙම ස්වභාවය තවත් තහවුරු කරනු ඇත.
• අලුතින් පැන වූ බදු හා දේශීය ණය ගැනීම ප‍්‍රශ්නයකි
ශ‍්‍රී ලංකාව ඉතා අධික උද්ධමන අනුපාතිකයෙන් පීඩා විඳි රටකි. 1980 ගණන්වල උද්ධමන වේගය සියයට 26 ක ප‍්‍රතිශතය ඉක්මවා තිබුණි. පසුව පාලනය කරගන්නට සමත් විය. උද්ධමනය අනුපාතය 2007 ජනවාරි මාසයේ දී සියයට 20.5 ක් ලෙස වාර්තා වී තිබුණි. නමුත් දේශීය වෙළඳ පොළෙන් ලබාගන්නා ණය සීමා කිරීම, බදු ලිහිල් කිරීම, රැපියලේ අගය ස්ථාවරකරගැනීම වැනි කරුණු රාශියක් පදනම් කරගෙන උද්ධමනය තනි අංකයකට සීමාකරගන්නට සමත් විය.
කොවිඩ්-19 වයිරසයේ බලපෑම අනුව 2020 වසරේ මෙරට ආර්ථිකය ඍණ 0.5 ක් විය හැකිබව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විමර්ශන වාර්තා දක්වයි. පසුගිය වසරේ පැවැති සියයට 2.3 ක වර්ධනයද අයහපත් සේ බලපා ඇති අවස්ථාවක අනාගතය අඳුරැය. වර්ධනය අඩුවන විට රජයේ ආදායම පහත වැටෙන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අය වැය පරතරය ඉහළ යා හැකිය. දැනටමත් එම ස්වභාවය මෝදු වී තිබේ. මහ බැංකුව පෙන්වා දෙන පරිදි රාජ්‍ය ආදායම් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 12.6 තෙක් පහත වැටෙනු ඇත. එය වළකා ගනු අරමුණු කරගෙන ආණ්ඩුව ආහාර ද්‍රව්‍ය විසි හයක ආනයන බදු නංවන්නට ඉකුත් දා තීරණය කළේය. සීනි, පරිප්පු, සැමන්, අල, ලූනු ඇතුළු දේ වෙනුවෙන් බදු වැඩිකරන තීරණය මාස හයකට බව ප‍්‍රකාශයට පත්කර ඇති නමුත් එහි එකම අරමුණ රජයේ ආදායම වැඩි කරගැනීම බව පැහැදිලිය. ජනතාව ගේ වැඩකරන කාලය සීමා වී අතිකාල පවා නැති වී ඇති අවස්ථාවක බදු වැඩිකරන තීරණයක් ගැනීම ආදායම ගැන බරපතළ ප‍්‍රශ්නයක් හේතුවෙන් බව පෙනේ.
අනෙක් අතට රජය දේශීය වශයෙන් ණය ගැනීම වැඩි කර ඇත. රජයේ වැටුප් සහ ජනතා සහන වෙනුවෙන් ධනය අවශ්‍යය. මුදල් ලැබෙන සියලු මාර්ග අවහිර වී තිබේ. විදේශගත ශ‍්‍රමිකයන් එවන විනිමය සියයට විස්සකින් පහත වැටී ඇත. විදේශ වෙළඳාම සියයට තිස් දෙකකින් පමණ සහ සංචාරක කර්මාන්තයේ ආදායම බිංදුවට වැටී තිබේ. ඇඟලුම් කර්මාන්තයට අවාසිදායක කාලයකි. මේවායෙන් අවහිරවන රජයේ ආදායම පියවා ගැනීමට ණය ගැනීමම හැර අනෙක් මාර්ගයක් නැත.
• පොලිය අඩු කිරීමෙන් ණය ගැනීමේදී වාසියක්
ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම වසර තුළ හතර වතාවක් සිය ප‍්‍රති මිලදී ගැනීමේ අනුපාත අඩුකර තිබේ. කලින් සියයට 13 ඉක්මවා තිබුණ මෙම අනුපාතික දැන් සියයට 6.5 ක පමණ මට්ටමක බව පෙනේ. ආර්ථිකය සක‍්‍රීය කරනු සඳහා ව්‍යවසායකයන්ට අඩු පොලියට ප‍්‍රාග්ධනය ලබා ගැනීමට පහසුවක් වශයෙන් පොලි අනුපාත කපාහරින බව දක්වන නමුත් අවසානයේදී එහි වාසිය රජයේ ණය ගැනීමේ ක‍්‍රියාවලියටය. මෙරට වානිජ බැංකුවල තැන්පත් පොලිය සීඝ්‍ර ලෙස පහත වැටී ඇති අතර එම අඩු පොලියට එකතු කරගන්නා මුදල් ආණ්ඩුව ණය වශයෙන් ලබා ගනිමින් සිටී. වසරකට කලින් ගත් ණය ප‍්‍රමාණයට වඩා මෙම වසරේ පළමු කාර්තුවේදී ණය ගන්නට වත්මන් ආණ්ඩුවට සිදුවී තිබේ.
වාර්තා දක්වන අන්දමට දේශීය හා විදේශීය බැංකු වලින් ණය වශයෙන් ලබාගෙන ඇති මුදල රු. බිලියන 650.15 කි. පසුගිය ආණ්ඩුව රජයේ ණය ගැනීමේ සීමා තවත් නැංවීය. පාර්ලිමේන්තුව අනුමත කර ඇති සීමාව රු. බිලියන 721 දක්වා නියම කර ඇති අතර මෙය සාමාන්‍යයෙන් අයවැය හිඟයද ඉක්මවන ප‍්‍රමාණයකි. වාර්තා දක්වන අන්දමට පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ලබා ගෙන ඇති දේශීය ණය ප‍්‍රමාණය රු. බිලියන 194 කි. මෙම වසරේ එය ඉක්මවා ගොස් ඇති බව පෙනේ. දේශීය වශයෙන් ගන්නා ණය ආපසු ගෙවීමේදී අලුතින් නිකුත් කරන මුදල් නෝට්ටු භාවිතාකරන අතර එය මුදල් සංසරණය වැඩි කරයි. එය කෙලින්ම උද්ධමනය නංවන තවත් හේතුවකි. පොලිය අඩු කරන ආණ්ඩුව එය උපායක් කරගෙන ණය ගන්නා අතර එය අනාගතයේ දී උද්ධමනයට හේතු වන බව සැලකිල්ලට ගත යුතුය.
• ආර්ථික දර්ශනය හැම අතින්ම වැදගත්ය
උද්ධමනය පාලනය කරන අතර ආදායම වර්ධනය කරගැනීම මෙම අවස්ථාවේදී ගත හැකි වැදගත් පියවරකි. ආදායම වැඩි කරගන්නා තෙක් දේශීය හා විදේශීය ණය සමබර කරගත යුතුය. ජාත්‍යන්තර මුලය අරමුදල වැනි අංශවලින් ණය සහන ඉල්ලා සිටීම සුදුසුය. කොවිඩ්-19 වයිරසය හෙයින් උද්ගත වූ ආර්ථික ගැටලු වෙනුවෙන් සහාය දෙන්නට ජාත්‍යන්තර ණය දෙන ආයතන විවිධ ව්‍යාපෘති කැඳවා තිබේ. ශ‍්‍රී ලංකාවට ද එහි වාසි ලබා ගත හැකිය. වාර්තා දක්වන අන්දමට ලෝකයේ රටවල් අසූවක් හදිසි ණය ආධාර ඉල්ලා තිබේ. පසුගියය මාසය වනතෙක් මූල්‍ය අරමුදලේ ණය සහාය ගැනීම සම්බන්ධයෙන් එකඟතාවයක් රටට නොතිබුණ බව අනාවරණය වන කරුණකි. ණය දෙන ආයතන පනවන කොන්දේසි හා ආර්ථිකය සක‍්‍රීය කරනු සඳහා පියවර ගැනීමට බලකිරීම මෙරට ජන සමාජය නුරුස්සන දෙයක් බවට පත්ව ඇත. පිළිගත් මූල්‍ය ආයතන වලින් ණය ගැනීම වෙනුවට වානිජ පදනමකින් ණය ගන්නා අතර එහිදී ඉහළ පොලියක් ගෙවන්නට සිදුවෙයි. එය බරපතල අවාසිදායක තත්ත්වයකි.
ආර්ථිකය නිසි මගට ගැනීම රටක එකම අභිලාශය විය යුතුය. මොනවා හෝ නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම වැදගත්ය. අපනයන වර්ධනය සඳහා පියවර ගැනීම අවශ්‍ය සාධකයකි. ආනයන පාලනය පවා ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අවස්ථාවකදී අනුගමනය කළ යුතු පියවරක් නොවේ. රාජ්‍ය ආදායම හා වියදම නිසි සේ පාලනය කරගත යුතුය.
ශ‍්‍රී ලංකාව ණය ගෙවීමට ණයගන්නා රටක් වී තිබේ. මෙම වසරේ මුල් කාලයේ දේශීය විදේශීය ණය පියැවීම බලවත් ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. මේවා සමාලෝචනය කළ යුතු පැති වශයෙන් දක්වන්නට අවශ්‍යය. උද්ධමනය පලනය වෙනුවෙන් පියවර ගත යුතු අතර වෙළඳපොළ තත්ත්වයන් නොසලකා කෘත්‍රිමව කරන්නට ගියහොත් එහි අනිටු විපාක අත්විය හැකි බව ද සඳහන් කළ යුතු කරුණකි.
ගාමිණී සරත් ගොඩකන්ද