2020 මැයි 30 වන සෙනසුරාදා

අපේ ඇඟලුම් කර්මාන්තයට තාමත් ඇඳිරියද?

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 291

එක්දහස් නවසීය හැත්තෑ හත ආර්ථික පරිවර්තනයෙන් අප ලද විශාල දායාදයක් වූයේ ඇඟලුම් කර්මාන්තයයි. එසේ කීමට සාක්ෂි සාධක පමණය. කෝවිඩ් 19 ආක්‍රමණයට පෙර මෙරට ජාතික අපනයනය ආදායමෙන් 48%ක් බරක් ඇඟලුම් කර්මාන්තය විසින් දරා සිටියේය.

ලොව ඉස්තරම් ඇඟලුම් නිෂ්පාදන කරන රාජ්‍ය අතලොස්සක් අතරින් ශ්‍රී ලාංකික නාමය ද කීර්තිමත්ව දිදුලමින් පැවතියේය.  එහෙත් කෝවිඩ් වංසගතයත් සමඟ මෙම කර්මාන්තය සැලකියයුතු ලෙස කඩා වැටුණි. මේ වන විට අභියෝග රැසක් හමුවේ ශ්‍රී ලංකීය ඇඟලුම් කර්මාන්තය නැවත නැගී සිටීමට උත්සහා දරමින් සිටියි. 

කෝවිඩ් වසංගතය මෙරට ආක්‍රමණය කිරීමට පටන් ගත් මුල් අවස්ථාවේ දීම දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය විය. මාර්තු 26 වැනි දා එම තීරණය  ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. පොලීසිය සහ හමුදාවන් මැදිහත් වී ආයෝජන කලාප වල සිටි ඇඟලුම් සේවක සේවිකාවන් හට පහසුකම් සැපයීම සිදුකළේය. බෝඩිං නිවාසවල රැදී සිටි සේවක සේවිකාවන්ට රාත්‍රී ආහාරය පවා සැපයීමට ඔවුහු පියවර ගත්හ. ඒ අතර ගම් බිම් බලා යන සේවක සේවිකාවන්ට විධිමත්ව ප්‍රවාහන පහසුකම් සැපයුවේය. සෞඛ්‍ය සහ ආරක්ෂක හමුදාවල මැදිහත් වීමෙන් සිදුකළ මෙම මෙහෙයුම මෙරට ඇඟලුම් කර්මාන්තයේ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් විය.

මෙලෙස නිදහස් වෙළෙඳ කලාප වසා දමන විටත් වසරේ මුලදී භාරගත් ඇනවුම් රැසක් ඇඟලුම්  කර්මාන්තකරුවන් සතුවිය. සාමාන්‍යයෙන් මෙරට ඇඟලුම් නිෂ්පාදන වලින් 60% කට වඩා අපනයන කරුණු ලබන්නේ එකසත් ජනපදය සහ කැනඩාව යන රාජ්‍ය වලටයි. යුරෝපාකරයට සිදුවූයේ 20% ක පමණ අපනයනයකි. ‍කෙසේවෙතත් කෝවිඩ් අර්බුදය හමුවේ ඇතැම් ඇනවුම් අහෝසි වීමද සිදුවිය. මේ අතර ඇනවුම් භාර නොගැනීම සහ පමාකිරීම් ද සිදුව තිබේ. එසේම බාරගත් ඇනවුම් කර්මාන්ත ශාලා වසා දැමීම සමඟ අවසන් කිරීමට ද නොහැකි විය. ඒ අනුව නිෂ්පාදන සහ වෙළඳපොළ යන අංශ දෙකම කෝවිඩ් සතුරා විසින් බිඳ හෙලිණි.

ඇමරිකානු ඩොලර් බිලියන පහකට අධික අපනයන ආදායමක් 2018 සහ 2019 වසරවලදී ඇඟලුම් කර්මාන්ත විසින් උපයාගෙන තිබුණි. එහෙත් 2020 වසරේ දී මෙම ආදායම 27% කින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව අපනයන සංවර්ධන මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චිත්‍රාංජලී දිසානායක මහත්මිය පෙන්වා දෙන්නේ මේ වසරේ ආදායම ඇමරිකා ඩොලර් බිලියන 3.2 ක් හෝ 3.5 ක් වනු ඇති බවයි. කෙසේ වෙතත් කෝවිඩ් ආක්‍රමණය අතරේම මාර්තු මාසයේ මුල් සතියේ සහ දෙවැනි සතියේ මෙරට ඇඟලුම් කර්මාන්ත ක්‍රමිකව නැවත පණ ගන්වන්නට රජය කටයුතු කළේය. ඒ නිසා වෙන මේ මොහොත වන විට කර්මාන්ත පියවරෙන් පියවර නැවත ගොඩ නැගෙමින් තිබේ.

පසුගිය සතියේ මුල සිදුකල නිරීක්ෂණයකට අනුව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පවතින ව්‍යවසාය අසූවෙන් හැත්තෑ හතරක් පමණ සිය කටයුතු ආරම්භ කර තිබුණි. ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන තිස් පන්දහස පමණ පිරිසෙන් දාහත් දහසක පමණ පිරිසක් පසුගිය සඳුදා (25) වන විට සේවයට වාර්තා කර තිබුණි. සීයට සීයක් සේවයට ගෙන්වා ගැනීමට රජය මේ දක්වා අවසර දී නැත. මෙම කර්මාන්ත ශාලා සියල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ මහජන වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වෙයි. සියලු කර්මාන්තශාලා සිය සේවයකටන්ට සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සැපයීම ද අනිවාර්යෙන් සිදුකල යුතුය.

මෙරට සමස්ත නිදහස් වෙ‍ළෙඳ කලාප 14 ක් පවතියි. එහි ඇඟලුම් කර්මාන්තය ශාලා 285 ක් තිබේ. කෝවිඩ් මෙරට පහර දීම ආරම්භ කරනවිට ජාතික ආර්ථිකයේ කොඳුනාරටිය බවට මෙම කලාප පත්වී තිබුණි. ඇඟලුම් කර්මාන්ත තුළ පමණක් සමස්ත සේවකයන් එක් ලක්ෂ හතළිස් දෙදහක් පමණ පිරිසක් සේවය කරමින් සිටියෝය. මාර්තු 22 දා වන විට එයින් සේවයට කැඳවා තිබුණේ අනූ දහසක පමණ පිරිසකි. මේ වනවිට කර්මාන්තයේ බිඳවැටීම මේ පිරිසේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇත. ඇතැම් කර්මාන්තශාලා මේ වනවිටත් අත්තනෝමතික ලෙස මේ රැකියා කප්පාදුවේ නිරත වන බවට තොරතුරු තිබේ.

කෙසේ වෙතත් කර්මාන්ත ක්ෂේත්‍ර ගැටලු විසඳීමට කම්කරු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වෘත්තීය සමීති සහ හාම්පුතුන්ගේ එකතුවෙන ත්‍රෛපාර්ශවික කාර්‍යසාධන බලකායක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව ආරම්භයේ දී සේවක කප්පාදුවට හාම්පුතුන්ගේ සංගම් විසින් යෝජනා ඉදිරිපත් වී ඇත. එහෙත් සේවක කප්පාදුවකින් තොරව කටයුතු ඇඟලුම් කර්මාන්තයේ කටයුතු ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් සඳහා මේවන විට එකඟතා නිර්මාණය වී ඇති බව කියවේ. ඉදිරි මාස කිහිපය සඳහා මෙම එකඟතා නිර්මාණය වුවද කෝවිඩ් සංග්‍රාමයේ දිශානතිය අනුව මෙම තීරණ වෙනස් වීමට ද ඉඩ තිබේ. මූලිකව ඇඟලුම් වෙළදපොළේ ඉදිරි හැසිරීම ඊට බලපානු ඇත.

මුව ආවරණය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඇනවුම් ලබා ගැනීමට ඇඟලුම් කර්මාන්තකරුවෝ මේ වන විට උත්සාහ දරමින් සිටිති. ඒ අනුව ඇමරිකා එකසත් ජනපදයට මුව ආවරණය අපනයනය කිරීමට අවකාශක් ලබා ගැනීම පසුගිය කාලයේ ආයතන කිහිපයක් සමත්කම් දක්වා ඇත. එසේම විද්‍යුත් වෙළෙඳපොළ පිළිබඳව ද නිෂ්පාදකයන්ගේ අවධනය යොමුවී ඇති බව පෙනීයයි. මේ අනුව ඉදිරි කාලය සඳහා නව වෙළෙඳපොළවල් සොයා ගැනීම සහ සම්ප්‍රදායික නිෂ්පාදන වලින් මිදීම ආදිය මෙම කර්මාන්ත රැක ගැනීමය ඇති උපාය මාර්ගය ලෙස පෙනීයයි.

ඇඟලුම් කර්මාන්තය හමුවේ අභියෝග තවදුරටත් තිබෙන බව අප අවසාන වශයෙන් පිළිගත යුතුය. එහෙත් ඒ සියල්ල ජයගෙන නැවත ලොව කීර්තියක් ඇඟලුම් නිෂ්පාදකයකු ලෙස කරළියට පැමිණීමට අපට බැරි නැත. සෞඛ්‍ය අභියෝග පළමු ජය ගතයුතුව තිබේ. අනෙක් සියල්ල ක්‍රමයෙන් ජයගත යුතුය.

සමහර කම්හල් සේවකයන් ඉවත් කරනවා
ඇන්ටන් මාක්ස් - සම ලේකම් නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය

කර්මාන්තශලා බොහොමයක් පටන් අරගෙන තියනවා. සමහර කර්මාන්ත ශාලා සීයට පනහක පමණ සේවක පිරිසක් තමා කැඳවලා තියෙන්නේ. ඉතිරි සේවකයන් සියලු දෙනා නැවත කැඳවලා නෑ. ඊට අමතර චීෆ් වේ කියන කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසීයක් පමණ ඉවත් කරලා තියනවා කිසිම හේතුවක් දැනුම් දෙන්නේ නැතිව. සේවකයන්ගෙන ලියුම් අරන් තියනවා සිය කැමැත්තෙන් ඉවත් වෙනවා කියලා. නමුත් සේවකයෝ කියනවා ඔවුන් එහෙම කැමැත්තක් නොදුන් බව. ස්මාර්ට් ශර්ට් කියන කර්මාන්තශාලාව නිල නොවන මට්ටමෙන් ලියලා තියනවා අගෝස්තු මාසය වෙනකල් සේවකයන්ට ගෙදර ඉන්න කියලා. ඔවුන්ට වැටුප් ගෙවන්නේ සීයට පනහයි. එහෙම කරන්න බෑ කම්කරු නීතිය අනුව. සේවකයන්ගෙන් සීයට පනහක් ගෙන්වනවා නම් මාරුවෙන් මාරුවට ඒ අය කැඳවන්න ඕනෑ. හැමෝටම උපයා ගන්න සමාන අවස්ථා දෙන්න ඕනෑ.

සමහර නේවාසිකාගාර සම්බන්ධව ගැටලු තියනවා ආණ්ඩුව ආයෝජන මණ්ඩලය හෝ අදාළ ආයතන විසින් නිසි සොයා බැලීමක් සිදුවෙලා නෑ. අප මේ සියල්ල සම්බන්ධවම කම්කරු කොමසාරිස්ටත් කම්කරු අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට තෛයිපාර්ශවික කාර්‍ය සාධන බලකායක තියනවා. කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානතවයෙන් හම්පුතුන් වගේම වෘත්තීය සමීති විදිහට අපිත් එයට සම්බන්ධ වෙනවා. 

අපි දැක්කා ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදය ප්‍රකාශයක් කරලා තියනවා දැනට ඇඟලුම් කර්මාන්තශලාවල වැඩ කරනවා ලක්ෂ පහක් පමණ. ඉන් ලක්ෂ තුනක් ඉවත් කරන්න අවශ්‍යයි කියලා. අපි පසුව පෙන්වා දුන්නා කොවිඩ් අර්බුදයට පෙර ඇඟලුම් කර්මාන්තයේ සේවක හිගයක් තිබුණු බව. ඒ නිසා මේ අවස්ථාවේ මේ අවස්ථාවේ සේවක කප්පාදුවක් සිදුකිරීම අනවශ්‍ය බව පැහැදිලියි. කෝවිඩ් හැමදාම තියන දෙයක් නෙවෙයි ඒ නිසා නැවත් කර්මාන්ත යථාතත්වයට පත්වෙද්දී කොහෙන්ද සේවකයෝ ගෙන්නේ.  ආණ්ඩුවත් හාම්පුතුනුත් වෘත්තීය සමීත්ති සාකච්ඡා කරලා තෛපාර්ශවික කාර්‍යසාධන බලකාය තුළදී අපි එකගතාවකට ඇවිල්ලා තියනවා.  කිසිදු සේවකයකුගේ සේවය අවසන් නොකල යුතුයි කියලා. මේ තීන්දුවට හාම්පුතුන් එකගවෙලා තියනවා. ඒ සඳහා සහයෝගයක් විදිහට වෘත්තීය සමීති එකඟවෙලා තියනවා සේවයට නොකැදවන සීයට පනහට සීයට පනහක මූලික වැටුප හෝ රුපියල් දාහතර දහස් පන්සීය යන දෙකෙන් වැඩි එක ගෙවන්න. මේ එකඟතාව කම්කරු අමාත්‍යාංශ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරලා තියනවා. ඒ අනුව තොග පිටින් සේවකයන් ඉවත් කිරීමක් මේ දක්වා සිදුවෙලා නෑ. නමුත් සමහර හාම්පුතුන් ඉන්නවා මේ එකගතා වගේම කම්කරු නීතියත් පිළිගන්නේ නැති.

අහිතකර බලපෑම් නිසා දුෂ්කරතා රැසක්
ජගත් ද සිල්වා - ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය

කොවිඩ් වසංගතය ආර්ථිකයට දරුණු ප්‍රතිඵල අත්කර දීමට හේතු වී ඇති අතර එය ගෝලීය වශයෙන් සියලු ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපා ඇත. දේශීය සන්දර්භය තුළද මෙම තත්ත්වය වෙනස් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ක්‍ෂේත්‍රයේ පසුබැස්මකට මෙම වසංගතය බලපා තිබේ.

වසංගතයට පෙර ජාත්‍යන්තර ගැනුම්කරුවන් විසින් ඇණවුම් කරන ලද තොග අවලංගු කිරීම ප්‍රධාන ගැටලුවකි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම් මිලදී ගන්නන්ගෙන් බහුතරය යුරෝපීය රටවල් සහ ඇමරිකාවයි. මෙම රටවල් බොහෝදුරට වසංගතයට ගොදුරැ වී ඇති හෙයින්, අත්‍යාවශ්‍යය නොවන බොහෝ දේ සඳහා ආනයන සීමා පනවා ඇත. මෙම ආනයන සීමාවන් බොහෝ රටවල් විසින් වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස පනවා තිබේ. මෙමගින් සැබැවින්ම ශ්‍රී ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරයට අහිතකර බලපෑමක් ඇති කර තිබේ.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත රඳා පවතින්නේ චීනය සහ කොරියාව වැනි වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්වුණ රටවලින් ආනයනය කරනු ලබන රෙදි, නූල් සහ බොත්තම් වැනි විදේශීය ඇඟලුම් උපාංග සහ අමුද්‍රව්‍ය මතය. එබැවින් පවතින තත්ත්වය හමුවේ අමුද්‍රව්‍ය ලබාගැනීම බෙහෙවින් දුෂ්කර කාර්යයක් වී ඇත. වසංගතය අතරතුර විදේශ රටවලින් අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ඇති වූ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, ශ්‍රී ලංකා ඇඟලුම් ව්‍යාපාරවලට දේශීය වශයෙන් අමුද්‍රව්‍ය සපයාගැනීම කෙරෙහි සිතා බැලීමට සිදුවේ. එපමණක් නොව, අනාගතයේදී පවා මෙම අනපේක්ෂිත තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, ශ්‍රී ලංකාව විසින් අමුද්‍රව්‍ය නිෂ්පාදන ව්‍යාපෘති සඳහා ආයෝජන වඩාත් දිරිමත් කළ යුතුය. මීට අමතරව, ක්‍රීඩා ඇඳුම් සහ සන්නාම ලේබල් වැනි ඇතැම් ඇඟලුම් නිෂ්පාදන මෙම කාලය තුළ අත්‍යාවශ්‍ය නොවන බව පැහැදිලිය. මේ වනවිට ලොව පුරා ඉහළ ඉල්ලුමක් ඇති පෞද්ගලික ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන විවිධාංගීකරණය කළ හැකිය.

 

 චමිඳු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03