පසුගිය මාර්තු 13 සිකුරාදා සිට අප රටේ පාසල් ළමුන් සිටින්නේ ගෙදරට කොටුවෙලාය. ශ්‍රී ලාංකික පළමු කොරෝනා රෝගියා මාර්තු 11දා හමු වූ අතර, ඊටපසු පැන නැගි වසංගත අවදානම හමුවේ පාසල්වලට 13 දා නිවාඩු දෙනු ලැබිණි. අප්‍රේල් අවුරුදු නිවාඩුව කලින් ලැබීම ගැන බොහෝ ළමෝ මුලදී සතුටු වූහ. එහෙත් සැමරුමකින් තොරව අවුරුද්ද ද ගෙවී ගිය අතර අලුත් අවුරුදු ඇඳුම්, නෑදෑ ගමන්, විනෝද චාරිකා ළමුන්ට හිමිවූයේ නැත. අසල්වැසි නිවෙස්වල දරැවන් සමඟ සෙල්ලම් කිරීමට පවා වසංගත නිරෝධායන නීති නිසා තහංචි වැටුණි.
කලින්ම අවුරුදු නිවාඩුව ලැබීම නිසා සතුටට පත් ළමුන්ගේ සතුට වැඩි දිනක් සිත්වල රැඳී පැවතුණේ නැත. ගෙදරටම කොටු වී මානසිකව සිරගතව සිටීමට වීමෙන්ම දින කිහිපයක් යනවිට නිවාඩුව බොහෝ ළමුන්ට වහකදුරු මෙන් තිත්ත විය. නිවසේ දෙමාපියන් ද ඔවුන් අසල සිටියත් ඔවුන්ට වෙනදා මෙන් ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ලැබුණේ නැත.
එය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු අත්දැකීමක් විය. මේ අතර දෙමාපියන් පාඩම් වැඩ නියම කිරීමට යාම නිසා ළමුන්ට තවත් කරදරයක් වැටුණි. ෆින්ලන්තයේ ටර්කු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන ළමා මනෝ චිකිත්සක ලීනියා කාල්සන් පවසන්නේ මේ කාලයේ දරුවන් සහ යෞවනයන් තම පවුල් ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි. ඇය වැඩිදුරටත් මෙසේද පවසන්නීය. මෙම වසංගත වටපිටාව සුවිශේෂී තත්ත්වයක් බව අපි ළමයින්ට සහ යොවුන් වියේ දරුවන්ට පැහැදිලි කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තුළ අප සහ අපගේ පවුල් පමණක් නොව සෑම කෙනකුම රුකබලා ගැනීම ගැන සිතා බැලිය යුතුයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ දරුවන් මාස දෙකකට අධික කාලයක් නිරෝධායන නිවාඩු කාලයක් ගත කර ඇත. පාසල් ආරම්භ කරන දිනය තවමත් අවිනිශ්චිතය. දරුවන් මෙවැනි වාතාවරණයකදී හැසිරෙන්නේ කෙසේද යන්න දැනගැනීමට අප කතා කළේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්ටය.
වෙනදා වගේ පාසල් යාම, පන්ති යාම, යාළුවන්ගේ ආශ්‍රය නැතුව ළමන්ගේ සාමාන්‍ය දින චර්යාව වෙනස් වෙලා. වෙනදට වඩා දෙමාපියන් එක්ක ගත කරන්න අවස්ථාව ලැබිලා. මේක කීප ආකාරයකින් ළමුන්ට බලපාන්න පුළුවන්.
ගෙදරට වෙලා දෙමාපියන් සමඟම සිටීඹ නිසා ළමුන්ට හොඳ පැත්තක් වගේම බාහිර ආශ්‍රයක් නැති නිසා පීඩනයකුත් එල්ල වීමට ඉඩ තිබෙනවා. පීඩනය ගැන කතා කළොත් ළමුන්ට විනෝදය සැපයෙන දේවල් මේ කාලයේ අහිමි වෙලා. යාළුවෝ ආශ්‍රය කිරීම, ඥාතීන් හමුවීමට නැතිවීම, නිතර කෝවිඩ් රෝගය ගැනම අසන්නට ලැබීම වගේ දේවල් ඔවුන් පීඩාවට පත් කරනවා. නිතරම වසංගතය ගැන අහිතකර ප්‍රතිඵල තමයි අහන්න වෙන්නේ. දෙමාපියෝ අවවාද දෙනවත් වැඩියි.
ඒ වගේම දෙමාපියන් පාසලේ වැඩ කිරීමට ළමුන් පොළඹවනවා වැඩියි. සමහර දරුවෝ මේ වෙනස සාමාන්‍ය විදිහට දරා ගන්නවා. තවත් සමහර දරුවන්ගේ කායික හා මානසික වෙනස්කම් මේ නිසා සිදුවෙන්න පුළුවන්. අවුරැදු පහෙන් පහළ ළමුන්ට මේ ගැන එතරම් අවබෝධයක් නෑ. අවුරුදු 7න් ඉහළ සිට 17 – 18 දක්වා දරුවන්ට මේ තත්ත්වය වැඩිපුර බලපානවා.
දරුවන්ට වෙනදා මෙන් අලුතින් සෙල්ලම්බඩු ලබා ගැනීමට, අසල්වැසි යාළුවන් හමුවීමට යාමට හැකියාවක් නැත. සියලු දෙනාම සිටින්නේ සීමිත අවකාශයකට සීමා වූ වාතාවරණයකය. මෙවැනි ආපදා තත්ත්වයකදී දරුවන්ට විශාදය, කාංසාව, ආහාර ගැනීමේ අක්‍රමිකතා, භින්නෝන්මාදය වැනි මානසික තත්ත්ව හටගැනීමට ඉඩ තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ දරුවන් සඳහා මානසික ප්‍රථමාධාර නම් ප්‍රකාශනයේ සඳහන්ය.
වෙනදා සෙල්ලම් ගෙවල් තැනීමටවත් වෙලාවක් නැති උපකාරක පන්තිවලටම හිර වී සිටි දරුවන්ට ලැබුණු මේ නිවාඩුව නිසා ඔවුන්ගේ චර්යාව විවිධ වෙනස්කම්වලට ලක්වීමට ඉඩ තිබේ. බොහෝ දරැවන්ට නින්ද නොයෑම, සමහරුන්ට වැඩිපුර නින්ද යාම, තවත් දරුවෝ රෑට නින්දෙන් ඇහැරීම, වැඩිපුර ඇඬීම, හේතුවක් නැතුව ඇඬීම, දෙමාපියන් සමඟ වැඩිපුර ගතකිරීමට පෙළඹීම, අධික කෝපය, ලබාගත නොහැකි දේවල් ඉල්ලා රණ්ඩු කිරීම වගේ දේවල් සිදුවිය හැකිය. ජීවිතය ඒකාකාරී වීම නිසා ගෙදර සහෝදර සහෝදරියන් සමඟ වැඩිපුර රණ්ඩු කිරීමට සිදුවිය හැකියි.
අධ්‍යාපන වැඩ කිරීම කරදරයක් ලෙස සලකා වැඩිපුර රූපවාහිනිය නැරඹීම, පරිගණක ක්‍රීඩා වගේ දේවල්වලට යොමුවිය හැකියි. සමහර දරුවන්ට කෑම අරුචිය ඇතිවීමට, ආහාර ප්‍රතික්ෂේප කිරීමටත් ඉඩ තිබෙනවා. වෛද්‍ය රුමි පැවසුවේය.
පාසල් යාම, පාසලෙන් නියම කරන ගෙදර වැඩ කිරීම, පාඩම් කිරීම වැනි දේවලට හුරැව සිටි දරුවෝ දැන් වැඩිපුර රණ්ඩු දබර කරගනිති. දෙමාපියන්ට ඉටු කළ නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කරති.
මේ අවස්ථාවේදී දරුවන්ගේ යහපතට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ ගැන පැහැදිලි කරන මනෝ වෛද්‍ය විශේෂඥ රූමී රූබන්:
මේ වගේ අවදානම් අවස්ථාවකදී දෙමාපියන් හැසිරෙන ආකාරය දරුවොත් ආදර්ශයට ගන්නවා. දෙමාපියෝ වැඩිපුර බයවෙනවා නම් වසංගතය ගැන ළමයිනුත් බව වෙනවා. ඒ වගේම දෙමාපියෝ එතරම් ගණන් ගන්නෙ නැතුව හිටියොත් ළමයිනුත් ඒක අනුකරණය කරනවා. දෙමාපියන් දරුවන්ට ආදර්ශවත් විදිහට හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිටීම වැදගත්. දෙමාපියෝ වැඩිපුර දරුවෝ සමඟ කතා කළ යුතුයි. අධ්‍යාපනය ගැන පමණක් නොවෙයි ළමුන්ගේ විනෝදය, කෙළි සෙල්ලම් ගැනත් අවධානය යොමු කළ යුතුයි. ගෙදර වැඩ කටයුතුවලට, වගාවන්වලට ළමුන් හවුල් කරගත යුතුයි. දරුවන්ට වැඩිපුර ඇහුම්කන් දීම අවශ්‍යයි. දරුවන්ට වසංගතය ගැන වුණත් කියාදීම කළ යුතුයි. ළමුන් තුළ තිබෙන අවිනිශ්චිතභාවය නැතිවන විදිහට ක්‍රියා කළ යුතු වෙනවා. කාලයක් ගතවනවිට වසංගත අවදානම අඩු වී යන බව ඔවුන්ට වටහාදීම අවශ්‍යයි.
ළමුන් තුළ සුබවාදී බලාපොරොත්තු දැල්විය යුතුයි. දවසේ පාඩම් කිරීමට කාලයක් වෙන් කරන අතරම සෙල්ලම් කිරීමට ද කාලයක් ලබාදීම අවශ්‍යයි. දරුවෝ රණ්ඩු කළාට එතරම් කලබල විය යුතු නෑ. සම වයසේ දරුවෝ රණ්ඩු කිරීම ස්වභාවික දෙයක්. මේ කාලේ රණ්ඩුව ටිකක් වැඩියි. අවශ්‍ය අවස්ථාවලදී පමණක් රණ්ඩු බේරීමට දෙමාපියෝ මැදිහත් විය යුතුයි. දරුවන්ට හැමදාම එකම දේ කරන්න ගියවිටත් ඒකාකාරී වීමට පුළුවන්. ඒ නිසා දිනපතා විවිධ වැඩවලට ඔවුන් හවුල්කර ගත හැකියි. දරුවන් අත්‍යවශ්‍ය දේකදී හැරෙන්න (වෛද්‍ය ප්‍රතිකාර සඳහා) පිටතට අරන් යාමත් සුදුසු නෑ.
► කුසුම්සිරි විජයවර්ධන