බුද්ධධර්මය ආගමකටත් වඩා, ගැඹුරු දර්ශනයක් බව කියනු ලැබේ. ලෝකයේ හා පුද්ගලයාගේ යථා ස්වභාවය හඳුනා ගැනීමත්, පුද්ගලයා දුකෙන් මුදාගෙන විමුක්තිය ලබාදීමත් එහි අර්ථය බව කිව හැකිය. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් බවද බුදුහු දේශනා කළහ. බුදුන්ගේ උපදේශනයට අනුව හුදෙකලා පුද්ගලයකුට මහා පින්කම් කළ හැකිය. බෞද්ධ දර්ශනයෙහි අවසන් ඉලක්කය වූ නිවන සාක්ෂාත් කරගත හැක්කේද තනි පුද්ගලයන් වශයෙන් සිදුකරන බවුන් වැඩීමෙන්ය.
මෙවර ජාතික වෙසක් උත්සවයේ තේමාව බවට පත්වූයේ (ආරෝග්‍යා පරමා ලාභා) යන්නය. බුදුන්ගේ උපදේශනයට අනුව නිරෝගීකම උතුම් ලාභය වන්නේය. සතුට උතුම් ධනය වන්නේය. රජකු වුව ලෙඩෙකු නම්, පලක් නැතැයි යන කියමනෙන් ඉහත තේමාවෙහි සැබෑ අර්ථය උකටහා ගත හැකිය.
ත්‍රිවිධ චෛත්‍යවලින් එකක් වන බුදුපිළිම වහන්සේ සියලු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමනයට ලක් වන බව සියලු දෙනා දන්නා කරුණකි. එහෙත් රටපුරාම දුර්වර්ණය වූ බිඳීගිය හා නොයෙකුත් හානි වූ බුද්ධ ප්‍රතිමාවලට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකුත් තුළ නිසි වැටහීමක් නොතිබුණි. එබැවින් බොහෝවිට සිදුවූයේ එලෙස හානි වූ පිළිම විහාරස්ථානවල, විහාර ගෙවල්වල හා බෝධීන් වහන්සේලා අභියස ජනතාව විසින් තැන්පත් කිරීමය.
මෙය අසුබ දර්ශනයක් වීමත්, එය අගෞරවණීය වීමත් නිසා එලෙස විනාශ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේට ගෞරවණීය ආදාහනයක් සිදුකළ පුවතක් පසුගිය වෙසක් පුර පසොළෙස්වක පෝ දින බෞද්ධ බැතිමතුන්ට අහන්නට ලැබුණේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයෙනි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ඒ අනුව පසුගිය කාලයේ විවිධ ක්‍රමවේදවලට විනාශ වු නිවෙස් තුළ තබාගන්නට බැරි හා විහාරස්ථානවල දමා ගොස් තිබූ බුදු පිළිම ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයට එකතු කරනු ලැබීය. මෙම පිළිම බුදුරදුන්ට නිගාවන ආකාරයෙන් තැන් තැන්වල දමා ගොස් තිබූ අතර ඒවා බොහෝ ප්‍රමාණයක් එක්රුස් කෙරුණේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
එසේ එක්රැස් කරන ලද බුදුපිළිම වහන්සේ ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේදී ගෞරවණීය ලෙස ආදාහනය කරන ලදි. මේ සඳහා චිතකයක් නිර්මාණය කර තිබිණි. එම චිතකයේ තැන්පත් කරන ලද වර්ණයෙන් විනාශ වූ පිළිමවල ඇතැම් කොටස් විනාශ වූ සහ අතැහැර දැමු බුදු පිළිම රැසක් සියලු ආගමික වතාවන්ගෙන් අනතුරුව ආදාහනය කරන ලදී.
මෙම අවස්ථාවේදී එම පිළිම සියල්ල ප්‍රථමයෙන් මල්වලින් පුද බුහුමන් කිරීම සිදුවිය. මෙම අවස්ථාවට බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා තිස්නමක් පමණ සහභාගී වී සිටියහ. මේ අවස්ථාවට බෝධිරාජ ළමා නිවාසයේ දරු දැරියන්ද සහභාගී වී සිටිය අතර බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ශක්‍ර දෙවියන් ඇතුළු සැදෙනාගේම ශෝකය ප්‍රකාශ කළ ආකාරයට ආදාහන අවස්ථාවේදී ශෝකය ප්‍රකාශ කිරීම් සිදුවිය.
මෙරට පළමුවරට සිදුකරනු ලැබූ මෙම පිළිම වහන්සේ ආදාහන අවස්ථාවට විදේශිකයන්ද සහභාගී වී සිටිනු දකිය හැකි විය. සඳුන් දර යොදා ගනිමින් චිතකය දැල්වීම ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිදුකරන ලදී.
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
රටේ ජනතාව බුද්ධ ප්‍රතිමා වන්දනාමානාදියට යොමුවෙලා අවසානයේ කැඩී බිඳී අබලන් වූ තත්ත්වයකට පත්වුණාම බොහෝ තැන්වල අතහැර දමා යන සිදුවීම තමයි මෙතෙක් කල් පැවතුණේ මෙය බුද්ධප්‍රතිමා වහන්සේට කරන අගෞරවයක් මෙන්ම බෞද්ධ වූ අපිට කෙරෙන නින්දාවක් ලෙස තමයි දකින්නේ. ඒ නිසා අපි කල්පනා කරා දිවයින පුරා ඇති එම ප්‍රතිමාවහන්සේ හට නිසි ගෞරවයක් ලබාදී එම පිළිමවහන්සේලා ආදාහනය කරන්න. මෙවනි දෙයක් මෙරට සිදුකරනු ලැබුවේ පළමුවරට නිසි ආගමික වතාවත් සමඟ අපි මේ වැඩපිළිවෙළ සිදුකිරීමට පියවර ගත්තා.
සටහන - හසිත් අංජන