මේ දිනවල වැඩියෙන්ම අවධානය දිනා ඇති චීනයේ ‘ඩේලී මොර්නින්’ වෙබ් අඩවියේ ඉකුත් සතියේ පළ වූ වීඩියෝවක් මිලියනයත් පන්නා සංසරණය වී තිබුණි. එයට වැටුණු ‘ලයික්’ කන්දරාවකි. ‘කොමෙන්ටු’ අටෝරාසීයකි. එහි දැක්වුණේ කොරෝනා නිසා තදින්ම බැටකන චීනයට අයත් මධ්‍යම මොංගෝලියාවේ දර්ශන පෙළකි. ලංකාවේ මෙන්ම මේ කොරෝනා කාලේ ආණ්ඩුව පුනපුනා කියනා පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම තඹයකටවත් නොතකා මුහුණවත් ආවරණයකර නොගෙන අයාලේ යන කිහිපදෙනෙක් මුහුණ දෙන අපූරු අලකලංචියක් ගැන එහි දැක්වේ. වගේ වගක් නැතිව හිතුමතේ අයාලේ යන මේ අය, හදිසියේ අහසින් එන නියෝගයකට, තරවටුවකට තිගැස්සි බියවි ලහිලහියේ සිය නවාතැන් බලා දිව යති. හදිසියේ අහසින් මතුව ආ මේ ගෝරනාඩුකාරයා වෙන කිසිවෙක් නොව ‘ඩ්‍රෝන’ යානයකි. නොසැලකිලිමත් ලෙස පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම නොතකා ක්‍රියා කරන අයට ඒවා සිහිපත් කර දීමේ ‘පොලිස්’ රාජකාරිය මේ ගමන් බිමන් දුෂ්කර පළාත්වල සිදුකරන්නට යොදාගන ඇත්තේ ඩ්‍රෝන යානාවන්ය.
මේ කොරෝනා කාලේ ලෝකයේ විවිධ පළාත්වල විවිධ වැඩ සඳහා කලඑළි බැස එහේ මෙහේ යන ‘ඩ්‍රෝන’යානා දැන් එමටය. අපේ රටේද අනාගතයේ කොරෝනා හේතුවෙන් ‘සීල්’ තැබීමට ලක්වන ප්‍රදේශ සඳහා කාටත් කරදර නොවී අත්‍යවශ්‍ය භාණ්ඩ පහසුවෙන් අත ළඟටම බෙදා හැරීමට ‘ඩ්‍රෝන’ යානා යොදාගතහැකි නෙවේදැයි යන්න ගැන දැන් අලුතෙන්ම කතාබහක් ඇරඹී හමාරය. හදිසි ආපදාවන්ට ලක්වූ හෝ ගමන් බිමන් අතිශය දූෂ්කර පළාත්වල ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රවාහනය සඳහා ‘ඩ්‍රෝන’ යොදාගැනීම සුදුසු බවට අදහසක් මුලින්ම ඉදිරිපත් වූයේ පසුගිය වසරේදීය. ඒ අදහස කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාගෙනි. ඔහු එකල පෙන්වා දුන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි. පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම හදිසියේ රැධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූ බවත්, එවැනි අවස්ථාවකදී ඉක්මනින් රැධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගත හැකි බවත් එදා හෙතෙම පෙන්වා දුන්නේය.
රටේ බොහෝ දුෂ්කර පළාත්වල හදිසි රෝගීන්ට අවශ්‍ය වන රුධිරය සහ එන්නත් ආදිය ප්‍රධාන රෝහල් වෙතින් සැපයීමේදී විශාල කාලයක් ගතවන බව වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා එදා පෙන්වා දුන්නේය. එලෙස ගතවන කාලය රෝගියාගේ ජීවිතය පිළිබද ප්‍රබල තීරණාත්මක සාධකයක් වන බවද ඔහු පෙන්වා දී තිබුණි. තවමත් දිවයිනේ බොහෝ රෝහල් වෙත ඇතැම් හදිසි ඖෂධ වර්ග, එන්නත්, රුධිරය සහ යන්ත්‍ර සූත්‍ර පවා මධ්‍යම ගබඩාවේ සිට ප්‍රවාහනය කෙරෙන්නේ සාමාන්‍ය මාර්ග පද්ධතිය ඔස්සේ වන අතර එම ප්‍රවාහනය කිරීමේදී මාර්ග තදබදය සහ දුර ප්‍රමාණය ආදී විවිධ සාධක මත ගතවන කාලය තීරණය වෙයි. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස හදිසි අවස්ථාවන්හී තමන් ලද අත්දැකීම් ඔස්සේ අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් හෘද රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම පළමු පැය හෝ දෙක තුළ කෙරෙන හදිසි ප්‍රතිකාර මත තීරණය වන බවයි. දිවයිනේ පහසුකම් අඩු රෝහල්වලට ඇතුළත් වන හෘද රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා වන සෞඛ්‍ය පහසුකම් සැපයීමේදී ප්‍රායෝගිකව මෙම ගැටලුවට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කර තිබුණි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේ වාසි පිළිබඳව සඳහන් කළ වෛද්‍යවරයා එදා කිවේ මෙම තාක්ෂණය යොදාගනිමින් ඉතා කඩිනමින් පැයක් හෝ දෙකක් තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහලක් වෙත එන්නත්, රුධිරය වැනි දේ සැපයීමේ හැකියාව ඇති බවයි.
ඒ වනවිට රුවන්ඩාව සහ ඝානා වැනි රටවල අති සාර්ථක අන්දමින් සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩ්‍රෝන භාවිත වන බව සඳහන් කළ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ එම රටවල මිලියන 22 කට අධික පිරිසකට ක්ෂණිකව රුධිරය, එන්නත් හා හදිසි ඖෂධ සැපයීම සාර්ථක ලෙස සිදුවන බවයි. දැන් ඒ අදහසට නව පණක් ලැබී ඇත්තේ කොරෝනා භීතිකාව හිස එසැවීමත් සමගිනි.කොරෝනා ‘ලොක්ඩවුන්’ ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීම, ආණ්ඩුවේ නියෝග හා සේවා දැනුම් දීම, විශේෂයෙන්ම ‘ක්ලිනික්’ බේත් -හේත් ඇතුළු වෛද්‍ය සහාය ලබාදීම මෙන්ම කොරොනා නිරෝධායන මධ්‍යස්ථාන නිසි ලෙස ආරක්ෂිතව ඈත සිට නිරීක්ෂණය කරමින් පරිපාලනය වැනි කටයුතු සිදුකිරීමටද, සුපිරි විශේෂඥයන්ගේ දැනුම ඈත - දුර, දුගම - දුෂ්කර පළාත්වල ජනතාවටත් ලබාදීමට ‘ඩ්‍රෝන’ යොදා ගන්නට හැකිය. දැනටත් රටවල් ගණනාවක් මේ සේවා පවත්වාගෙන යති. විශේෂඥ වෛද්‍ය භූමිකාව දරන ‘දොස්තර -ඩ්‍රෝන’, බෙහෙත් ගෙනැත් දෙන ‘ෆාමසි-ඩ්‍රෝන’, හදිසි අනතුරකදී මුලින්ම සහාය රැගෙන එන ‘ඇම්බියුලන්ස්-ඩ්‍රෝන’, ආරක්ෂාව සොයා තහවුරු කරන ‘පොලිස් -ඩ්‍රෝන’ පමණක් නොව විවිධ දැනුම රැගෙන ගමට එන ‘ටියුෂන්-ඩ්‍රෝන’ද මේ වනවිට වැඩ අරඹා හමාරය. අපට ඇත්තෙ ඒවායින් ගුරුහරුකම් ගෙන වැඩට අතගැසීමටය.
ඇත්තෙන්ම, ඩ්‍රෝන තාක්ෂණය අපේ කාර්යයන් බොහොම පහසුවෙන් ඉටුකර ගැනීමට මිනිසා විසින් නිෂ්පාදනය කළ හරි අපූරු තාක්ෂණයකි. Unmanned Aerial Vehicle නොමැති නම්, දුරස්ථ පාලකයක් භාවිතා කරමින් මිනිසුන් රහිතව ක්‍රියාත්මක වන යානා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරන යානා ලෙස හඳුන්වයි. ගුවන් යානා පමණක් නොව, අද වනවිට මේ තාක්ෂණය භාවිත කරමින් නියමුවන් රහිත යුද නෞකා, සබ්මැරීන පවා නිර්මාණය කර අවසානයි. ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීමේ ඉතිහාසය දෙවැනි ලෝක යුද්ධ සමය තෙක් ඈත අවදියකට දිවෙයි. පළමු නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යානය ගැන වාර්තා වන්නෙ පළමු ලෝක යුද්ධයේ දීය. ඒ ඇමරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කළ Kettering වර්ගයේ "flying bomb” නමැති නියමුවන් රහිත යානය යි. නමුත්, මේ ගුවන් යානය කිසිදිනෙක භාවිතයට ගැනුණේ නැත. ඉන්පසු කළඑළි බැස්ස මෑතකාලයේ කතා බහට ලක්වන්නට ගත් ඩ්‍රෝන යානාවල ඉතිහාසය වසර 12කට වැඩි නැත. මුලදී military මට්ටමෙන් ඩ්‍රෝන යානා යොදාගැනුණේ ඔත්තු බැලීමේ කටයුතු සඳහා පමණයි. ලංකාවේ යුදමය කටයුතු සඳහා යොදා ගත් ‘කේලමා’ මෙයට කදිම උදාහරණයකි.
නියමුවන් රහිත විවිධ ගුවන් යානා පද්ධති අතරින් අද වනවිට බහුලවම අප ඩ්‍රෝන යානා ලෙස හඳුන්වන්නේ multicopter යානාවන්ය. මේවායේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ helicopter යානයෙහි භාවිතයට ගැනෙන තාක්ෂණයයි. මෙම තාක්ෂණය මඟින් ගුවනේ දී යානය ස්ථාවරව රඳවා ගැනීමට හැකියාව ලැබෙයි. භාවිත කරන්නා අත ඇති දුරස්ථ පාලකය මඟින් ක්‍රියාත්මක වෙන සාමාන්‍යයෙන් අද වනවිට භාවිතා වන බොහොමයක් ඩ්‍රෝන යානා භාවිතා කරන්නේ lithium ion/ Li-Po වැනි බැටරියි. මේ බැටරි හරහා සාමන්‍යයෙන් විනාඩි 30-35ක පමණ ගුවන් කාලයක් ලබා ගැනීමට හැකියි. මේ වනවිට එම ඩ්‍රෝන යානා නිෂ්පාදනය සඳහා කාබන් කෙඳිති යොදා ගන්නවා වගේම 3D printing තාක්ෂණයත් භාවිතා වෙයි. බහුතරයක් drone තාක්ෂණය භාවිතා වන යානා තුළ inbuilt GPS system එකක් දැක ගත හැකිය. මේ හරහා යානය ඒ මොහොතේ තිබෙන ස්ථානය වගේම, හදිසියේදී දුරස්ථ පාලකයෙන් යානය විසන්ධි වීමක් සිදුවුණොත් යානය ගුවන් ගත කළ ස්ථානයට ස්වයංක්‍රීයව පැමිණීමේ හැකියාවත් සහිතයි. ඒ වගේම වර්තමානය වනවිට මෙම copters/ drones සඳහා ultrasonic sensors භාවිතය සුලබව සිදුවෙයි. මේ මඟින් තමන් ඉදිරියේ දී බාධක හඳුනාගැනීම් හරහා යානයට සිදුවන අනතුරු වළක්වා ගැනීම සිදුවෙනවා. ඩ්‍රෝන යානයක් ගුවනේ දී ස්ථාවර ව පවත්වා ගැනීම සහ ගුවනේ දී ලබා ගන්නා ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පැහැදිලිව ලබා ගැනීම සිදුවන්නේ විශේෂිත gyroscopes උපකරණයක් සහිත MEMS (Micro Electro-Mechanical Systems) තාක්ෂණය මඟිනි.
අද වන විට ශ්‍රී ලංකාවේද මේ drone තාක්ෂණය සහ copters භාවිතය බහුලව සිදුවෙයි. සුලබ වශයෙන් quard copters අපට ලංකාවේ වීඩියෝගත කිරීම සහ ඡායාරූපගත කිරීම් වැනි ක්ෂේත්‍රයන් සඳහා භාවිතා වනු දක්නට හැකිය. DJI drones මේ කර්තව්‍යය සඳහාම විශේෂයෙන්ම නිර්මාණය වූ drone වර්ගයකි. මේ drone හරහා 4K වැනි ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වීඩියෝ ලබා ගැනීමට හැකි වීම නිසා ලෝකයේ ඡායාරූපකරණය හා වීඩියෝකරණය වෙනම මානකයට රැගෙන යාමට මේ යානාවලට හැකි ව ඇත. මිනිසුන්ට යාමට නොහැකි ස්ථාන කරා පහසුවෙන් ළඟා වීමට හැකි වීම නිසාවෙන් කෘෂිකර්මාන්තයේ සිට ස්වභාවික ආපදාවලින් ගලවා ගැනීමේ මෙහෙයුම් දක්වා බොහොමයක් කටයුතුවලට මේ drones සහ copters භාවිතා වෙයි. ඒ වගේම බොහොමයක් රටවල් මේ වන විට ඉදිකිරීම් කටයුතු සඳහා ද මේ තාක්ෂණය භාවිතා කරයි.
විවිධ අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ඩ්‍රෝන තාක්ෂණය දැන් උපයෝගී කර ගනු දියුණු රටවලදී දක්නට හැකියි. ඒ අනුව යමින් මාරාන්තික නව කොරෝනා වෛරස් රෝගය පාලනය සඳහා ප්‍රංශයත් ඉකුත් දා ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන තිබුණි.නව කොරෝනා වෛරසය අසාධනය වීමෙන් වැළකීමට සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ප්‍රංශයේ දකුණුදිග නිස් නගරයට ඩ්‍රෝන යානා යෙදවීමට එහි පොලිසිය පියවර ගෙන ඇත. චීන වීඩියෝවේ දැක් වු පරිදි නගරවල අනාක්ෂිතව සැරිසරන අතැම් පුද්ගලයන් සොයාගොස් දුර පරතරයක් තබාගන්නා ලෙස අවවාද කිරීමට ප්‍රංශය ද මෙහිදී ඩ්‍රෝන යොදාගෙන තිබුණී.
පසුගිය දිනෙක ඩ්‍රෝන යානා ලංකාව තුළ ද එබඳුම ක්‍රියාවලියක් සඳහා භාවිත විය. ග්‍රෑන්ඩ්පාස් / නාගලගම් වීදියේ නිරෝධායනයට ලක් වු ප්‍රදේශයකට ඖෂධ ලබා දීම සඳහාය. මෙම ප්‍රදේශයේ පවුල් 150 කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරියාගේ මඟ පෙන්වීම යටතේ ප්‍රදේශයේ ජනතාවට ඖෂධ ලබා දීම සඳහා, එම ආයතනය සිය ඩ්‍රෝන යානා භාවිතා කළේය. එලෙසින් මුල්වරට අත්‍යවශ්‍ය භාණ්ඩ ඩ්‍රෝන යානා මගින් ලබා දෙමින් ඔවුහු ඓතිහාසික කාර්යයක් ඉටු කළ හ.එම ආයතනය ඉදිරියේදී අපේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ළඟා වීමට අවශ්‍ය තාක්‍ෂණය හා උපකරණ වැඩි දියුණු කරමින් සිටිති.
සංවර්ධිත රටවල, හදිසි බෙදාහැරීම් සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම ඉතා සුලභය. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තාක්‍ෂණයක් අත්හදා බැලූ පළමු අවස්ථාව මෙයයි. ඩ්‍රෝන යානා භාවිතා කිරීම ඕනෑම තත්වයක් යටතේ, විශේෂයෙන් නගරයයන් අගුලු දැමීමේ තත්වයක් තුළ මහජනතාවට ඔවුන්ගේ අවශ්‍යතා ලබා ගැනීමට මහත් උපකාරයකි.මේ අතර කෝවිඩ් – 19 වෛරසය ආසාදිතයන් බහුලව සොයා ගන්නා ප්‍රදේශ හුදකලා කිරීමෙන් පසු ඖෂධ බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානා ක්‍රමවේදය භාවිත කිරීමට හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය රජයට යෝජනා කර ඇත. ඒ අනුව එලෙස ඖෂධ බෙදා හැරීමට කැමැති ඩ්‍රෝන හිමියන් ලියාපදිංචි කිරීමට අධිකාරිය පියවර අරඹා තිබේ. මේ ආකාරයට ආහාර බෙදාහැරීමටද ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමට ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවධානය යොමුවී ඇත.
ලෝකයේ ඇතැම් රටවල් ඩ්‍රෝන යානා භාවිතය සහ ඒ නිසා මතුවිය හැකි ගැටලු හඳුනාගෙන, එම යානා හැසිරවීම සහ ඒවා නිර්මාණය පිළිබඳ අධ්‍යයනය පාසල් විෂය නිර්දේශයට පවා ඇතුළත් කර තිබේ. ඉදිරියේ දී ලංකාව තුළත් මෙම තාක්ෂණය සුලබව යොදා ගැනීමෙන් ජනජීවිතය වඩාත් විස්වාසදායී සුරක්ෂිත මගකට ගෙන යන්නට හැකි වනු ඇත. එසේම එය ඉතා ජනකාන්ත සේවාවක් වන්නට ද හැකිය. නීතිරීති සහ නියෝග ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම සේවා සැපයීමේදී තවමත් ‘ඩ්‍රෝන’අල්ලස් ගන්නෙවත් හිතවත්කම් මත ගොඩ වැඩියෙන් බෙදන්නේවත් නැති හෙයිනි.
- සුගත් පී. කුලතුංග ආරච්චි.