2020 මැයි 16 වන සෙනසුරාදා

මගීන් නැතුව දුවපු කෝච්චි: මගීන් නොගෙන දුවපු බස්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

රට නැවතත් විවෘත වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ ක්ෂේත්‍රයක් බවට මගී ගමනාගමනය පත්විය. ඒ අනුව රජයේ මාර්ගෝපදේශයන්ට යටත්ව ආරම්භ වූ මගී ප්‍රවාහන පිළිබඳ අපි විමසීමක් කිරීමට අදහස් කළෙමු. මාස දෙකකට පමණ පසු මගී ප්‍රවාහන කටයුතු ආරම්භ වූයේ මැයි 11 දාය. මෙහිදී සේවයට වාර්තා කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීම බාරවූයේ දුම්රිය දෙපාර්තමේන්තුවට සහ ලංගමයටයි.

ඒ අනුව දුම්රිය ගමනාගමනය වෙනුවෙන් විශේෂිත සැලැස්මක් පසුගිය සතිය පුරා ක්‍රියාත්මක විය. දුම්රියේ ගමන්කළ හැකිවූයේ ආයතන ප්‍රධානීන් හරහා දුම්රිය ආසන වෙන්කරගත් පුද්ගලයන්ට පමණි. ඒ අනුව දුම්රිය ස්ථාන තුළදී ටිකට් පත් නිකුත් කිරීම හෝ සාමාන්‍ය වාරප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමද සිදුනොවීය. දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව පසුගිය සතියේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ 2800ක පමණ පිරිසක් ආයතන ප්‍රධානීන් හරහා සිය ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණි. ඒ නමුත් සතිය ආරම්භයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දුම්රිය 10ක් පමණක් මගී ප්‍රවාහනය වෙනුවෙන් යොදවා තිබුණි.

කෙසේ වෙතත් මෙම සැලැස්ම සාර්ථක නොවූ බවට ආරම්භයේදීම චෝදනා නැගුණි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම චෝදනාව ඉදිරිපත් කළේය. කෙටි පණිවිඩ ක්‍රමයක් හරහා මගීන්ට දැනුම්දීම සිදුකිරීමට ගෙන තිබූ තීරණයත් දුම්රිය ස්ථානවල පැමිණීමට මගීන්ට ප්‍රවාහන පහසුකම් නොවීමත් හේතුවෙන් ආරම්භයේදී ඉල්ලීම් සිදුකළ මගීන්ගෙන් සියයට පනහක පිරිසක් හෝ දුම්රිය භාවිත කර නොතිබුණි. යම් යම් අඩුපාඩු ඇතත් ඉදිරියේදී එවා නිවැරැදි කරගන්නා බව ප්‍රවාහන බලධාරීන්ද පවසා තිබුණි.

දුම්රිය මගීන් සම්බන්ධව කටයුතු කිරීමට ආරක්ෂක අංශ යොදාගැනීමත් පසුගිය සතිය පුරා දක්නට ලැබුණි. ඒ අනුව බොහෝ දුම්රිය ස්ථානවල පොලීසිය සහ ආරක්ෂා හමුදා රාජකාරියට යොදවනු ලැබ තිබුණි. කොළඹ මරදාන ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථානවලදී කොළඹට පැමිණෙන දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වයද පරීක්ෂා කිරීම සිදුවිය. මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ සතියෙන් සතිය මෙම සැලැස්ම වෙනස් වන අතර සතියකට වරක් මගීන්ට ආයතන ප්‍රධානීන් හරහා සිය ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවයි.

දුම්රියට අමතරව මගී ප්‍රවාහනයේ ප්‍රධානතම රාජකාරියක් ඉටුකරනු ලැබුවේ ලංකා ගමනාගමන මණ්ඩලයයි. ආරම්භයේදී දිවයින පුරා බස්රථ 5,200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත් ධාවනයට එක්වූයේ බස්රථ 3,200ක් පමණක් බව ප්‍රවාහන ඇමැතිවරයා සඳහන් කළේය. මෙහිදී මතුව තිබුණේ මගීන් අඩුවීම සහ බස්රථවල කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තා කිරීමට නොහැකිවීම සම්බන්ධ ගැටලුය.

මෙම වැඩසටහන ඇරඹි මැයි 11 වැනිදා බස්රථ 1100ක් කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල ධාවනය කර තිබුණි. කෙසේ වෙතත් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදුනොවීය. ලංගම බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරැන් සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සහ අත් ආවරණ පැළඳ සිය රාජකාරි කටයුතු සිදුකරන අයුරු නිරීක්ෂණය විය. ලංගම සහාපතිවරයා පවසා සිටියේය සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකරනු ලබන බවයි. ඒ අනුව සමස්තයක් ලෙස ලංගම බස්රථවල සේවය සඳහා සෞඛ්‍ය ආරක්ෂිතව සේවකයන් 8000 කට අධික පිරිසක් පසුගිය සතිය පුරා යොදවනු ලැබ සිටියහ.

කෙසේ වෙතත් බස් රථ ප්‍රමාණවත් නොවීම නිසා රටපුරා බොහෝ මගීන් අපහසුතාවට ලක්වීම්ද වාර්තා විය. ඇතැම් තැනක බස්රථ සඳහා මගීන් නොමැති වෙද්දී තවත් තැනක මගීන් අධික වීම නිසා ඇතිවූ ගැටලුද ඇති විය. අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවාවලද ගැටලු මතුවී තිබූ අතර කොළඹ සේවයට පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක්ද මේ හේතුවෙන් අපහසුතාව ලක්වූහ.

මේ අතර රජයේ සේවකයන් ප්‍රවාහනය කරන වාහන උදෑසන 08.30ට පෙර සේවා ස්ථාන වෙත පැමිණිය යුතු බවටත් රාජකාරි අවසන් කර පිටත්වන වාහන පස්වරැ 03.00ත් 04.00ත් අතර කාලය තුළ පිටත් විය යුතු බවටත් රජය නිවේදනය කර තිබුණි. එසේම පෞද්ගලික අංශයේ සේවකයන් ප්‍රවාහනය කරන වාහනද උදෑසන 08.30ත් 10.00ත් කාලය තුළ කාර්යාලවලට පැමිණි යුතු බවත් අවසන්කර පිටත්වන වාහන පස්වරු 04.00ත් 05.00ත් කාලය තුළ පිටත්විය යුතු බවත් එම නිවේදනයේ සඳහන් විය.

පෞද්ගලික බස් ධාවනය වීම ඉතා අවම වූ අතර අවදානම අවම ප්‍රදේශවල ධාවන වූ පෞද්ගලික බස් සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබුණි. මේ අතර බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡා දිගින් දිගටම සිදුවිය. බස් සංගම්වල ඉල්ලීම් සම්බන්ධව රජයේ ප්‍රතිචාර ගැටලු සහහත විය. ත්‍රීරෝද රථ සංගම් කිහිපයක්ද පසුගියදා ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත වූයේය. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත මගී ප්‍රවාහනයේ අනාගතය සම්බන්ධව මෙම සතිය තීරණාත්මක විය. කෙසේ වෙතත් පොදුවේ සමස්ත මගී ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වය පත් කිරීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග තහවුරු කරයි.

ප්‍රයිවෙට් බස් කර්මාන්තයේම බැට්රි බැහැලා

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

මේ රටේ මගීන් මිලියන පහකට හයකට ප්‍රවාහන පහසුකම් සලසන්නේ බස් රථ. ඒ නිසා අපි තමා ලංකාවේ වැඩිම මගී ජනතාවකට සේවය සපයන කණ්ඩායම. පෞද්ගලික බස් යාන්ත්‍රනය මත තමා රටේ ආර්ථික රඳා පවතින්නේ. මේ හරහා වාර්ෂිකව රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට දහයක පමණ දායකත්වයක් සපයනවා. මේ වෛරසය එක්ක අපේ කර්මාන්තය බරපතළ අර්බුද කිහිපයකට මුහුණ පෑවා. ඒ නිසා කර්මාන්ත නැවතත් ගොඩගන්න එක ලේසි වැඩක් නෙවෙයි.

මාස දෙකක විතර කාලයක් ධාවනය නොකර ගාල් කර තිබීම නිසා අපේ බස් රථ විශාල ප්‍රමාණයක් අබලන් වෙලා තිබෙනවා. ගොඩක් බස් රථවල බැටරි බැහැලා. ඒවා චාර්ජ් කළාට නැවත අල්ලන්නේ නෑ පරණ නිසා. විශේෂයෙන්ම අපි මාර්තු අප්‍රේල් මාසවල ඉඳන් මේක ප්‍රතිසංවිධානය කරන්න කතා කළා කවුරුත් මේකට අවධානය දුන්නේ නෑ. රට නැවතත් විවෘත කළාම පොදු ප්‍රවාහනය ආරම්භ කරන ආකාරය ගැන වැඩපිළිවෙළක් හැදුවේ නෑ. ඒක දැන් බරපතළ ප්‍රශ්නයක්. පිටතත් විවෘත කළා. කිසි සංවිධානයක් තිබුණේ නෑ බස්රථ අනවශ්‍ය විදිහට මගීන් ගෙනියන්න පටන් ගත්තා. ඒක බරපතළ ප්‍රශ්නයක් එහෙම කරන්න බෑ.

දැන් දුරස්ථභාවය ආරක්ෂා කරන්න ඕනෑ නිසා ආසන සංඛ්‍යාවෙන් බාගයක් ප්‍රවාහනය කරන්න පුළුවන්. එහෙම ප්‍රවාහනය කරන කොට අපිට ඒ පිරිවැයවත් නැවත ලබාගන්න හැකිවෙන්නේ නෑ. අපි නියාමනයක් යටතේ බස් ධාවනය කරන්නේ ආණ්ඩුවෙන් ලබාදෙන ගාස්තුවලට. ලංකාවේ ත්‍රීරෝද රථ, කුලී කාර් වෑන් ‍රථ කිසිම කෙනෙක් එහෙම කරන්නේ නෑ. අපිටයි රජයටයි බැඳීමක් තිබෙනවා. අඩුම වශයෙන් බසයක සීයට අසූවක්වත් මගීන් සිටිය යුතුයි කියන පදනමක ඉඳන් තමා මේ ගාස්තු සකස්වෙලා තියෙන්නේ. එතකොට සීයයට පනහක මගීන් ඉන්නකොට ප්‍රායෝගිකව අපිට ධාවනය කරන්න හැකියාවක් නෑ. ඒ නිසා යම් ප්‍රතිපාදනක් ලබාදිය යුතුමයි බස් දුවන්න.
ඇමතිතුමා ගැන දොස් කියන්න බෑ. මොකද ඇමතිතුමා දාලා තිබුණා කැබිනට් පත්‍රිකාවක්. ඒක ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා සුමාන දෙක තුනකට කලියෙන්. අපි ඉල්ලුවේ ඩීසල් සඳහා සීයට පනහක සහනාධාරක් මැයි මාසයේ අවසානය දක්වා.

 

ලාභ පාඩු ගැන කතාකරන්න බැහැ

ලංකා ගමනාගමන මණ්ඩල සභාපති කිංස්ලි රණවක

දැනට අපි ඇඳිරිනීතිය නැති පළාත්වල සීට් ගාණට ධාවන කරනවා. ඉදිරියේදී පෞද්ගලික බස් රථත් ධාවනට එකතුවෙයි. ඒ අයටත් සීට් ගාණට ධාවනය කරොත් පාඩුවක් නැතිවෙයි. ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සෞඛ්‍ය උපදෙස් පරිදි අපි ධාවන සිදුකරන්නේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන. මගීන්ට ආසන පහසුකම් සපයන්නේ සික් සැක් ක්‍රමයට. ඒ වගේ දැනට සියලු ධාවන කටයුතු සිදුකරන්නේ දිස්ත්‍රික් අභ්‍යන්තරයේ. දිස්ත්‍රික් අතර ධාවනය සිදුකරන්නේ නෑ.

දැනට කොළඹ ඉන්නවා දිස්ත්‍රික් අතර ගමන් කරන්න බලාගෙන තිස් හතළිස් දාහක ප්‍රමාණයක්. යම් හෙයකින් දිස්ත්‍රික් අතර ධාවනය අරම්භ කරොත් එකවර මේ අය දිස්ත්‍රික් අතර ගමන් කරන්න පුළුවන්. ඒක අවදානමක් ඒ නිසා තමා දැන දිස්ත්‍රික් අතර ධාවන සිදු නොකරන්නේ. සීමාසහිත පිරිස් පිටත්කර හරිනවා වෛද්‍යවරුන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ මදිත්වීමෙන්. ඒ පිටත්වෙන අය ගැන අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමක් සිද්ධවෙනවා.

ඉදිරියේදී සාකච්ඡා කරගෙන යනවා ඇඳිරිනීතිය නැති ප්‍රදේශවල දිස්ත්‍රික් අතර ප්‍රවාහන ආරම්භ කරන්න. වසංගත රෝග අංශයෙන් කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සිතියමක් පිළියෙළ කරලා ඒක දිනපතා යාවත්කාලීන කරනව. එහි බලපෑම අවම කොළපාටින් ලකුණුකරලා තිබෙන ප්‍රදේශ අතර අන්තර් ගමනාගමන පිළිබඳව තමා සාකච්ඡා කෙරෙන්නේ.

අපි ජනවාරි මාසේ ලංගම බාරගනිද්දී පඩි ගෙවාගන්න බැරි ඩිපෝ හතළිස් හතක් තිබුණා. මාර්තු මාසේ වෙනකොට ඒක පහකට විතර අඩුකර ගත්තා. එහෙම්ම ඉදිරියට ගියා නම් මේ අවුරුද්ද අවසන් වෙනකොට ලංගම තත්ත්වය ඉතා හොඳ වෙන්න තිබුණා. දැන් අපිට සියල්ල අමතක කරලා සමාජ සේවයක් කරන්න වුණේ. අපිට ලාභය පාඩුව පිළිබඳ කතාකරන්න විදිහක් නෑ.

 

► චමිඳු නිසල් ද සිල්වා

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03