2020 මැයි 16 වන සෙනසුරාදා

නගර ඇරෙද්දී කොවිඩ්19 නවරැල්ල

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ලොව පුරා දක්නට ඇත්තේ කොවිඩ්19 වසංගතය නව රැල්ලක් ලෙස හිස ඔසවා එන හැඩකි. වෛරසයෙන් ගැලවුණා යැයි සිතෙන විටම නැවතත් අහුමුල්ලක සිට වෛරසය හිස ඔසොවා එන ලකුණු දක්නට ලැබිණි. එහි ආසන්නතම බලපෑම නැවත වාර්තා වූයේ චීනයෙනි. ඉකුත් සති මැද වනවිට දෙවැනි වෛරස ව්‍යාප්ති අවදානමකට චීනය මුහුණ පා සිටියේය. නව ආසාදිතයන් රැසක් එරටින් හමු වූ අතර බ්‍රහස්පතින්දා වනවිට එරටින්  අලුතෙන් හඳුනාගත් 7 දෙනකු සමඟ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 82,936කි. නමුත් මරණ කිසිවක් වාර්තා වූයේ නැත. දකුණු කොරියාවෙන් ද නව ව්‍යාප්තියක අවදානමක් හට ගත්තේය. මේ වනවිට ද හාස්කමකින් මෙන් වෛරසයෙන් තවමත් බේරි සිටින්නේ උතුරු කොරියාවයි. ලොව රට රාජ්‍ය 213ක් සහ මගී යාත්‍රා 2ක් මේ වනවිට කොවිඩ් 19ට යටත්ව හමාරය.

වෛරසය මුලින්ම පැතිරිම ඇරුඹුණු වූහාන් නගරය නැවත කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්විය. චීනයේ වූහාන් නගරයෙන් යළි කොවිඩ් ආසාදිතයෙක් හමුවීමත් සමඟ නගරයේ සියලුම වැසියන් දින 10ක් ඇතුළත පැවැත්වෙන මහා කොරෝනා පරීක්ෂණයකට බඳුන් කිරීමට බලධාරීහු තීරණය කළහ. ඒ අනුව වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා  මිලියන 11ක් පමණ වන වූහාන් නගරයේ සියලුම වැසියන් දින 10ක් ඇතුළත කොවිඩ් පරීක්ෂණයට බඳුන් කරනු ඇත.
සති මැදදි චීනයේ ජිලින් නගරය ද හුදෙකලා කරන්නට යෙදුණේ එම නගරයේ කෝවිඩ් 19 වෛරසයේ අවදානම ඉහළ යාම හේතුවෙනි. මේ වනවිටත් එම නගරයේ ජනතාවට නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කර ඇති අතර දැඩි සංචරණ සීමා පනවා ඇත. එසේම බීජිං අගනුවර පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන මාසය දක්වා තවදුරටත් කල් දමන්නට යෙදිණි.

බොහෝදුරට කොරෝනා වෛරසය පාලනය කර තිබූ දකුණු කොරියාව තුළ ද දෙවැනි ව්‍යාප්තියක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇත. ඒ 29 හැවිරිදි තරැණයකුගෙන් වෛරසය ආසාදනය වූ, 50 දෙනකුට වැඩි පිරිසකගෙන් සමන්විත නවතම අසාදිත වළල්ලක් සොයාගැනීමත් සමඟිනි. දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජ ශාලා වෙත ගොස් තිබූ මෙම කොවිඩ්19 ආසාදිත තරැණයාගෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් ඇත. කෝවිඩ් වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ දකුණු කොරියාව අප්‍රේල් 19 වන දා සිට සමාජ ශාලා විවෘත කිරීමට අවසර ලබාදීමෙන් පසුව මෙම නවතම තත්ත්වය උද්ගත වී තිබුණි.

ජර්මනිය තුළ හටගත්තේ වෙනස්ම මාදිලියේ ගැටලුවකි. එරට ප්‍රාන්ත 16ක නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරැව 06 දා සිට ලොක්ඩවුන් නීති සැලකිය යුතු ප්‍රමාණයකින් ලිහිල් කළ බව එරට චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිවාය. ඒ අනුව සියලුම වෙළඳසල් යළි විවෘත කිරීමට අවසර ලැබිණ. සිසුන් ක්‍රමානුකුලව නැවත පාසල් වෙත ගෙන්වා ගැනීමටත් පාපන්දු ක්‍රීඩා තරග නැවත ආරම්භ කිරීමටත් අවසර ලැබිණ. ඒ සතියේ ඉරිදා වනවිට ජර්මනියෙන් වාර්තා වී තිබු කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන 169,218කි. රෝගයෙන් ජර්මනිය තුළ 7,395ක් මියගොස් තිබුණි. තහනම ඉවත් කළ පසු උදා වූ 14 දා බ්‍රහස්පතින්දා වනවිට ජර්මනියේ ‘කෝවිඩ් මීටරය’ භයානක මට්ටමකට ඉහළ නැග තිබුණි. ආසාදිත පිරිස 174,098ක් වූ අතර මරණ ගණන 7,861 ලෙස සටහන් විය. දැන් ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමට ජර්මනිය ඉක්මන් වූවා වැඩි යැයි ඇතැමුන් චෝදනා කරන අතරතුර එම නීති හා සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට බල කෙරෙමින් ජර්මනියේ උද්ඝෝෂණ ද පැවැත්වේ.

ලෝක කෝවිඩ් මීටරයට අනුව බ්‍රහස්පතින්දා උදය වනවිට ලංකාව තුළ ආසාදිත පිරිස   937 ද ඉක්මවා ගියේය. ඒ වනවිට සුවය ලබා සිටි ගණන 382කි. තවදුරටත් මරණ වාර්තා නොවුණ ද අසාදිත සීමාවේ 1000 පැන්නීමත් සමග වසංගතය පාලනයෙන් ගිලිහී යන අවදානම තවත් ඉහළ නගිනු ඇත.

අමෙරිකාව ප්‍රමුඛ යුරෝපය ද වසංගතයේ ප්‍රබල ප්‍රහාරයකට ගොදුරුව හමාරය. ලෝක කොවිඩ් මරණ සංඛ්‍යාව 296,362ක්ව තිබුණි. ආසාදිත පිරිස  4,411,956ක් හෙවත් ලක්ෂ 45ට කිට්ටු කර හමාරය. අමෙරිකාවෙන් ආසාදිතයන් 1,413,400ක් ද මරණ 83,681ක් ද, ස්පාඤ්ඤයෙන් 272,670ක් ද, මරණ 27,288ක් ද, රැසියාවෙන් 252,299ක් ද මරණ 2,308ක් ද, එක්සත් රාජධානියෙන් 232,947ක් ද මරණ 33,680ක් ද, ඉතාලියෙන් 221,216ක් ද මරණ 30,911ක් ද, ප්‍රංශයෙන් 178,225ක් ද මරණ 26,991ක් සහ  බ්‍රසීලයෙන් ආසාදිතයන්  178,826ක් ද  මරණ 12 518ක් ද  හඳුනාගෙන තිබුණි. වෛරසයේ තිඹිරි ගෙය වූ චීනයේ ආසාදිතයන්  82, 926 වාර්තා වී තිබේ. එරට මරණ ගණන 4,633 සීමාවේ තවමත් නැවතී තිබේ.

කලින් යහපත් වෛරස පාලනයකට ලක්ව සිටි බවක් පෙන්නුම් කළ අප්‍රිකානු කලාපය ද දැන් අනතුරුදායක කලාපයකි. ඉකුත් සතිය මැද වනවිට සමස්ත අප්‍රිකානු කලාපයේම රටවල් 54කින් ආසාදිතයන් 69,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණි. වාර්තා වූ    මරණ සංඛ්‍යාව 2,400ට වැඩි විය. එම කලාපයේ කිසිදු රටක් වෛරසයෙන් බේරී තිබුණේ නැත.

මේ වනවිට අප්‍රිකානු කලාපයෙන් ආසාදිතයන් 64,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. මේ වනවිට වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,393කි. එහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ දකුණු අප්‍රිකාව, සුඩානය ඇතුළු රටවල් 46ක් සහිත උප සහරානු අප්‍රිකානු රටවල්ය.

අලි මදිවාට කොටිත් කියන්නා සේ මේ කලාපයටම තවත් අලකලංචි රුසක්ම කඩා වැටී තිබේ. නව වෛරස  ව්‍යාප්තිය නිසා කලාපයේම සෞඛ්‍ය සේවා අඩාල වීම හේතුවෙන් නුදුරේදී අප්‍රිකානු කලාපය තුළ ඒඩ්ස් මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරැරු ඇඟවූයේය. අප්‍රිකානු කලාපය තුළ වසරකට සාමාන්‍යයෙන් ඒඩ්ස් මරණ මිලියනයක් පමණ වාර්තා වෙයි. නුදුරේදීම එය දෙගුණ වෙනු ඇත. ඒ අතර කලාපය තුළ ආහාර හිඟයද ඉහළ ගොසිනි.
අසල්වැසි ආසියානු කලාපයේ තත්ත්වය ද භයානක අවදියෙන් මිදී නැත. බ්‍රහස්පතින්දා ලෝක කොවිඩ් මීටරයට අනුව ඉන්දියාවේ පූර්ණ ආසාදිත ගණන +75,804ක් විය. මරණ 2465කි. බරපතළ තත්ත්වයක් තිබුණේ බංග්ලාදේශයේය. එරට අසාදිතයන් +18,984 ක් වූ අතර එක් දිනකදි අලුත් ආසාදිතයන් 1162ක් වාර්තා විය. මරණ +288කි. මැලේසියාවේ අසාදිත ගණන 6816 කි. මරණ 113කි. මාලේ 904ක් ආසාදිත වෙද්දී මරණ 3ක් සිදුවිය. මුරැසිය තුළ 332 ක් ආසාදිතයන් ද මරණ 10ක් ද සිදුව තිබේ. පාකිස්ථානය තුළ අසාදිත පිරිස අතිශය ඉහළ අගයකි. එය +35998කි. මරණ 740කි.

මේ වනවිට කලාපයේ හොඳම වාර්තාව සහිත වියට්නාමයේ 288ක් ආසාදිත අතර ඉන් රෝගය අසාධ්‍ය වූයේ 2කි. එරට මරණ නැත. නේපාලයේ ආසාදිත ගණන 221කි. එරට ද මරණ නැත. ලාඕසයේ 19ක් ආසාදිත අතරින් 5ක් අසාධ්‍ය තත්ත්වයක සිටිය ද එරටින් ද මරණ නැත.

බ්‍රහස්පතින්දා පාන්දර වනවිට ගතව තිබූ පැය 24ක කාලය තුළ අලුතෙන් මරණ වාර්තා වූයේ  +1,956ක් පමණි. ලෝකයේ වසංගතයට ගොදුරුව සිටි රටවල් 213 අතරින් ශ්‍රී ලංකාව ද සුඛෝපභෝගී මඟී යාත්‍රා දෙක ද ඇතුළත්ව රටවල් 159ක් තුළින්ම පැය 24ක කාලය තුළ මරණ වාර්තා වී නොතිබීම සැනසිලිදායක ප්‍රවෘත්තියයි. රටවල් 10ක් ආසාදිතයන් සුවපත් කර  මුළුමනින්ම කොවිඩ්19 මාරකයෙන් ගැලවී තිබුණි. ඒවා නම් ෆෙරෝ දූපත, ෆෝක්ලන්ත දූපත, නව කැලඩෝනියාව, ග්‍රීන්ලන්තය, පැපුවා නිව් ගිනියාව, නෙදර්ලන්තය, සෙන්ට් බාත්, බටහිර සහරාව, ඇන්ග්‍යුලියා, සාන්ත පියරේ යන රාජ්‍යයන්ය. මියගියවුන් හැර අන් සියලුම රෝගීන් සුවපත් කර වසංගතය තුරන් කර ජය  ගත් රටවල් 3කි. සුරිනාමය, මොරීෂස් සහ බෙලීස් ඒවාය.

 සුගත් පී.කුලතුංග ආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03