2020 මැයි 16 වන සෙනසුරාදා

මුහුණු වැස්ම ගුටිකෙළියක් කරගත් කළුතර කොස්තාපල්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

කළුතර හොරණ පාරේ  තිස්ස මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට පාරේ පාසල පසුකර යන්නට පා ගමනින් ගිය දෙදෙනෙකි. එකිනෙකා හා සංවාදයේ නිරතව ගිය ‍ දෙදෙනාගෙන් අයෙක් තරුණයෙකි. සෙසු තැනැත්තාද මැදිවයස නොයික්මවූවෙකි. බොහොම නිවීසැනසිල්ලේ ගිය දෙදෙනාට තවත් දෙදෙනකු හා ගැටුමක් ඇතිවීමට ගොස් තිබුණේ ඉතා කෙටි වේලාවකි.

කොරෝනා වෛරසයට එරෙහිව ගන්නා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් වශයෙන් මුඛ ආවරණ පළඳා ඇවිද යමින් සිටි මොවුන් ඉදිරියට තවත් නාඳුනන පුද්ගලයන් දෙපළක් මුණගැසුණේ පාසල අසලදීමය. කළුතර දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය හා එදින දිවයින පුරාම ඇඳිරිනීතිය පනවා  තිබියදී මේ අය මහමඟ නිදහසේ සැරිසරා තිබුණේ කිසිදු බියක් සැකක් නැතිවමය. පාසල අසල නැවතී සිටි දෙදෙනාට මුඛ ආවරණයක් පළඳින්නට හෝ හැඟීමක් තිබී නොතිබීම පුදුමයකි.

පාරේ ගමන් කරමින් සිටි දෙ‍දෙනා හා මහමග පසෙක උන් දෙදෙනා අතර යම් කතාවක් ඇතිව තිබුණේ හදිසියේමය. වැඩිවේලාවක් නොපැවති කතාව අතරමඟ ප්‍රකෝප වූ පසෙක උන් දෙන්නාගෙන් අයෙක් තරුණයාට හා පැමිණි මැදිවියේ තැනැත්තාට අසල වැටී තිබූ මුගුරක් රැගෙන වැරෙන් පහර කිහිපයක් ගැසීය. හොඳහැටි පහර කෑ පුද්ගලයන් දෙන්නා පොලු පහර කාගෙනම දිවගොස් තිබිණ. කෙසේ වෙතත් පහරදුන් අය කවුරුන්දැයි මතකයේ තබාගන්නට පහර කෑ අයට හැකිව තිබිණ. එයම පිහිටක් වූයෙන් සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලිව පොලිසියට පැමිණිලි කිරීමට හැකිව තිබිණ.

ඒ අනුව පහර කෑ අය විසින් පැමිණිල්ල යොමුකර තිබුණේ කළුතර උතුර පොලිස්ස්ථානය වෙතය. එම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සිල්වා මහතා විමර්ශන ආරම්භ කොට තිබිණ. එහිදී වාර්තා වූ තොරතුරු මත හඳුනාගෙන තිබුණේ කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචිකරැවෙකි. එම සැකකරු හේමචන්ද්‍ර පෙරේරා නැමැති  සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු බවත් පොලිස් ගොඩනැඟිලි අංශයේ රාජකාරියේ නියුතුව සිටින බවත් හඳුනාගෙන ඇත.

කොරෝනා අර්බුදය හේතුවෙන් රටේ පවත්නා ඇඳිරිනීතිය හා ප්‍රවාහන පහසුකම් මදි නිසාත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිවාඩු අවලංගු කිරීම නිසාත් කොළඹ ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි මොහුට සිදුව ඇත්තේ  තම පදිංවියට ආසන්නතම කළුතර උතුර පොලිසියට තාවකාලිකව වාර්තා කිරීමය. පොලිස් ගොඩනැඟිලි අංශයේ සිවිල් සහායක ලෙස සේවය කරන මොහුට මේ දිනවල ස්ථීර රාජකාරියක් නොවූයෙන් විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කොට තිබිණි. ඒ යටතේ සැකකාර කොස්තාපල්වරයා උදෑසන සේවයට වාර්තා කළ යුතු වූ අතර පස්වරු 2 ට සේවය නිමවා යා හැකිය. ඉකුත් 9 වැනිදා එසේ සේවයට පැමිණි ඔහු උග්ගල්බඩ පිහිටි නිවසට ගොස් සිය සොහොයුරාගේ තරුණ පුත්‍රයා සමඟ නැවත ගෙදරින් පිටත්ව තිබුණේ ජංගම දුරකතනයක් මිලදී ගැනීමේ අදහසිනි.

එසේ යන අතරමගදී මෙම පහරදීම සිදුව ඇත්තේ එදින පස්වරු 4 ට පමණ යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා මහතා පැවසීය. සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට කොස්තාපල්වරයාගේ සහෝදරයාගේ පුත්‍රයාද අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑ පුද්ගලයන් දෙන්නා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර එක් අයෙක් අමල් ප්‍රනාන්දු (78) නැමැත්තෙකි. අනෙක් පුද්ගලයා මංජු ප්‍රියංකර නැමැත්තෙකි.

අත්අඩංගුවට ගත් දෙදෙනා පසුගිය 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 14 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමටත් එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීටා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ තුසිතා දිසානායක මහත්මියත් සැකකරැ වෙනුවෙන් නීතිඥ මාරි ෆොන්සේකා මහත්මියත් පෙනී සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ මෙහෙයවීම මත  ක්‍රියාත්මකය.

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා - කළුතර සුනිල් තන්ත්‍රිආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03