මැයි 05දා වන විට මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 755ක් විය. පසුගිය දිනවල එකවර වැඩිම පිරිසක් හමුවූයේ කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙනි. එහි පර්චස් 15ක වන භූමිභාගයක පදිංචි පවුල් 242කට අයත් පුද්ගලයන් 975 දෙනකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශවලට හා හමුදාවට සිදු විය. කොළඹ නගරයේ වතු වශයෙන් හැඳින්වෙන කලාපවල ජනයා බොහෝ පුද්ගලයන් ඇසුරු කිරීම හා වතු අතර සංචරණයේ යෙදීම නිසා රෝගය පැතිර යාම වර්ධනය වීමට හේතුවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. මේ වන විට කොවිඩ් මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් තිබේ. අවසන් වරට මරණයට පත් වූයේ කාන්තාවකි. එම මරණය වාර්තා වූයේ මැයි 5 වැනිදාය. ඇය කොළඹ මෝදර ප්‍රදේශයේ 44 හැවිරිදි පස්දරු මවකි. කොළඹ 15 මෙත්සඳ නිවාස සංකීර්ණයේ වාසය කළ ඇය මසකට ආසන්න කාලයක් ස්වසන රෝගයකින් පීඩා විඳ තිබේ.
බණ්ඩාරනායක මාවතෙන් පසු වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූයේ වැලිසර නාවුක හමුදා කඳවුරෙනි. පසුගිය දිනවල සුදුවැල්ල ප්‍රදේශයේ සැඟවී සිටි ආසාදිතයන් සොයා දියත් කළ මෙහෙයුමේදී ඔවුනට රෝගය වැළඳී ඇතැයි අනාවරණය විය. තත්ත්වය වඩාත් බැරෑරුම් වූයේ එම කඳවුරේ සිටි ඇතැම් සෙබළුන් නිවාඩු ලබා තම ගම් පෙදෙස් කරා යෑම නිසාය. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ නාවික හමුදා සෙබළුන් නිවාඩු ලබා ගොස් සිටින සියලුම දිස්ත්‍රික්කවල සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර කාර්යමණ්ඩල, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයන් විසින් මේ නාවික හමුදා භටයන් පරීක්ෂාවට ලක් කළ අතර ආසාදිතයන් හඳුනාගත හැකි වූයේ ඒ අනුව බවයි. මැයි 5 වැනි දින ආසාදිතයන් 33 දෙනකු හමුවූ අතර ඉන් 31 දෙනකුම නාවික හමුදා භටයන්ය. කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියකටද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වුවද පසුව අනාවරණ වූයේ ඇයට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවයි.
අප්‍රේල් 28 වැනි අඟහරුවාදා සිට දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය දිවා කාලයේ ඉවත් කිරීමට රජය තීරණ කළේය. ඇඳිරි නීතිය පනවා තිබූ සමයේ වුවද ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් දකින්නට තිබිණි. පළමුවරට මෙරටින් ආසාදිතයකු වාර්තා වූ සතිය තුළ රෝගීන් 42ක් වාර්තා වූ අතර දෙවැනි සතියේ රෝගීන් 59ක්ද, තෙවැනි සතියේදී 41ක්ද, සිව්වැනි සතියේ 42ක්, 5 වැනි සතියේ 48ක් වශයෙන් වාර්තා වූ අතර 6 වැනි සතියේ එය 77ක් දක්වා වර්ධනය විය. සත්වැනි සතියේ තත්ත්වය වෙනස් විය. එම සතියේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 319 විය. අටවැනි සතියේ තෙදිනක් තුළ ආසාදිතයන් 137ක් වාර්තා විය. රජය ඇඳිරි නීතිය ලිහිල් කිරීමට පියවර ගත්තේ මෙවැනි වාතාවරණයක් තුළය.
දැන් රටපුරා ඇඳිරි නීතිය එක්තරා ප්‍රමාණයකට ලිහිල් කර ඇති බැවින් ජනතාව පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයට හොඳ පුරුදු, යහගුණ දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි. මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කර නැහැ. ඒ සඳහා යම් කාලයක් ගතවේවි. එහෙයින් රෝගය වැළැක්වීම සඳහා නිසි උපදෙස් පිළිපදින්නැයි විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා වැඩිදුරටත් මහජනයාගෙන් ඉල්ලා සිටී.
දැනට දිනකට පීසීආර් පරීක්ෂණ දහස ඉක්මවා සිදු කෙරේ. මෙම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා රජය විවිධ පියවර ගන්නා අතර විශ්වවිද්‍යාල වෛද්‍යපීඨවලද පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබේ. කොළඹ, පේරාදෙණිය, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ මඩකලපුව විශ්වවිද්‍යාල මේ සඳහා යොදා ගැනීමට නියමිතය. මේ වන විට විවිධ ආයතන 16ක පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා පහසුකම් සලසා තිබේ. මඩකලපුව රෝහලේද පසුගිය සතියේ සිට පීසීආර් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දැනට දෛනිකව සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ඇණැවුම් කිරීමට පියවර ගෙන ඇති බවයි. පස්දෙනකුගේ පරීක්ෂණ එකවර කිරීමට හැකි ක්‍රමවේදයක් තිබෙනවා. එවැනි උපකරණ භාවිත කළ හැකිනම් දිනකට පරීක්ෂණ 5000ක් පමණ කළ හැකි යැයි ඔහු පවසයි.
අප්‍රේල් 30 දින මුල්ලේරියාව රෝහලට ලැබීමට නියමිතව තිබූ පීසීආර් යන්ත්‍රයෙන් වරකට පරීක්ෂණ 500ක් එකවර කළ හැකි බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. එමගින් පමණක් දිනකට පරීක්ෂණ දහසක් පමණ කළ හැකි බව පැවසූ ඇය ඉදිරියේදී පීසීආර් පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගන්නා අතර දිවයින පුරා දිනකට පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදුකළ හැකි බවද සඳහන් කළාය.
තව නොබෝ දිනකින් අවදානම් කලාපයක් ලෙස හැඳින්වෙන කොළඹ දිස්ත්‍රික්කයේද ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනු ඇත. කොළඹ නගරයේ රෝග පාලනයට කොළඹ නගර සභාවේ වෛද්‍ය අංශය මගින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් අප විමසා සිටියේ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතාගෙනි. පළමු කොරෝනා රෝගියා වාර්තා වීමටත් පෙර සිටම කොළඹ නගර සභාවේ වෛද්‍ය අංශය මෙහෙයුම් මැදිරියක් ආරම්භ කොට පැය 24 පුරාම එක් වෛද්‍යවරයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනකුගේ අධීක්ෂණය යටතේ එහි කටයුතු සිදු කෙරුණු බව ඒ මහතා සඳහන් කළේය.
2020 මැයි 05 වනවිට අපට රෝගීන් 125 දෙනෙක් කොළඹ නගරයෙන් වාර්තා වී තිබෙනවා. ඉන් 95 දෙනකුම වාර්තා වී තිබෙන්නේ බණ්ඩාරනායක මාවතෙන්. මරදානෙන් 6 දෙනෙකු සහ ඇල්විටිගල මාවතෙන් 4 දෙනෙකු වර්තා වුණා.
අපට රෝගියකු පිළිබඳව වාර්තා වූ විගස අපි එම ස්ථානයට ගොස් එම රෝගියා පරීක්ෂාවට ලක් කොට එම පුද්ගලයා අයිඩීඑච් රෝහල වෙත යොමු කරනවා. එමෙන්ම ඔහු ඇසුරැ කළ පුද්ගලයන්ගේ නම් සහ ලිපින ලබාගෙන ඒවා රාජ්‍ය බුද්ධි අංශයට ලබා දෙනවා. එවිට ඔවුන් එම පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරැ අප වෙත ලබා දෙනවා. එවිට අපි ඔවුන් නිරෝධායනය සඳහා යොමු කරනවා. එමෙන්ම එම පුද්ගලයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සුවසැරිය අමතන ලෙස උපදෙස් දී තිබෙනවා. එවිට සුවසැරිය මගින් අප දැනුවම්වත් කරනවා. එවිට අපි ඔවුන් අදාළ රෝහල් වෙත යොමු කරනවා. අප විසින් කරන ලද අහඹු පරීක්ෂාවේදී අප්‍රේල් 27 දින නගර සභාවේ ගණ අපද්‍රව්‍ය අංශයේ රියදුරු මහතකු ආසාදිතයකු බවට තහවුරු වූණා. ඔහුට එම රෝගය වැළඳී ඇත්තේ ඔහු සමඟ සේවය කළ බණ්ඩාරනායක මාවතේ පුද්ගලයකුගෙන්. එම වැඩමුරයට සම්බන්ධවූ සියලු සේවකයන් මේ වන විට නිරෝධායනයට ලක්කොට තිබෙනවා. අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. යනුවෙන් සඳහන් කළේය.
ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කෙරැණු පසු මෙම රෝගය පැතිර යාම වේගවත් විය හැකි නොවේදැයි අප ඇසූ පැනයට පිළිතුරු දුන් වෛද්‍ය විජේමුණි මහතා ඇඳිරි නීතිය දිගටම පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඇඳිරි නීතිය ඉවත් වූ විට සමාජ දුරස්ථභාවය රැක ගැනීමට ජනතාව පුරැදු විය යුතුයි. එසේ නොවුණහොත් ලොව බොහෝ රටවල සිදුවූ පරිදි මෙම රෝගය විශාල ලෙස පැතිර යා හැකියි. කොවිඩ් 19 රෝගය පැමිණ තිබෙන්නේ ඉක්මනින් යන්න නෙමෙයි. අපට එම රෝගය සමග කාලයක් ජීවත්වීමට සිදුවේවි. අපිට හැමදාම රට වසාගෙන ඉන්න බැහැ. එහෙම කළොත් ජනතාව මිය යන්නේ කොරෝනාවෙන් නොවෙයි වෙනත් ලෙඩ රෝග හා කුසගින්න නිසයි. මෙම වසංගතයේ ස්වභාවය අනුව තවත් මාස හයක් හෝ වසරක පමණ කාලයක් දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින්, දෑත් පිරිසුදු කරගනිමින්, මුඛ ආවරණ භාවිත කරමින් ජීවත් වන්නට සිදුවේවි. යනුවෙන් ප්‍රකාශ කළේය.
කොවිඩ් 19 වයිරසය ඒ. බී සහ සී වශයෙන් ප්‍රභේද තුනකින් යුක්ත වෙන අතර, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව හඳුනාගැනීමට උත්සාහ දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.
විවිධ රටවල පැතිරෙන වයිරසය මෙම ප්‍රභේද තුනට අයත් වන අතර උදාහරණයක් ලෙස චීනයේ ‘බී’ ප්‍රභේදයද, ඇමෙරිකාවේ ‘ඒ’ ප්‍රභේදය ද වශයෙන් වර්ග කර ඇතැයි ද වෛද්‍ය පාදෙණිය මහතා සඳහන් කරයි. මෙතෙක් මෙම වයිරසය පාලනයට ඖෂධයක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, එවැන්නක් ක්ෂණිකව කළ නොහැකි බවද ඔහු කියා සිටී.
කොවිඩ් 19 තර්ජනයට ලක්වන කොළඹ වතු ආශ්‍රිත ජනතාව නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඔ නගරයේ ඉදිකරමින් පවතින මහල් නිවාස සංකීර්ණවල පදිංචි කරවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව වතු ආශ්‍රිතව ජීවත් වන පවුල් 1600ක් කඩිනමින් පදිංචි කිරීමට පියවර ගනු ඇත.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා