සමාජ දුරස්ථකරණය අලුතින් භාවිතයට එන සංකල්පයකි. එය මෙතෙක් පැවැති කණ්ඩායම් හැඟීම පැත්තකට කරන හාත්පසින් විරැද්ධ අදහසකි. කොවිඩ්-19 වයිරසයේ වසංගත තත්ත්වය අධ්‍යයනය කළ සෞඛ්‍ය අංශ එම වයිරසයේ පැතිරීම පාලනය කරනු සඳහා මීටර් එකක දුරක් තබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළහ. එකට අත්වැල් බැඳගෙන එක්ව නැගී සිටින අදහසක සිටි ප‍්‍රජාව අද තරමක් ඈතින් ජීවත් කරන්නට වගකිවයුතු අංශ යුහුසුළු වෙති. සෑහෙන කාලයකට එකී පිළිවෙළ පවතින්නට ඉඩ තිබේ. පුද්ගලයන් වශයෙන් දුරස්ථ වනු ඇති නමුත් තාක්ෂණය භාවිතා කර සමාජය සම්බන්ධතා කලින් පැවැති තත්ත්වයට අභිබවා ඉතා සමීපවීමක් අපේක්ෂා කළ හැකිය. සමාජ දුරස්ථකරණය අනුව ලෝකය පුරා නැවත වතාවක් දුප්පත් පොහොසත් රටවල් අතර පරතරය නිර්මාණය විය හැකිය. ඉහළ තාක්ෂණය භාවිත කර සම්බන්ධතා පවත්වන ඒ වෙනුවෙන් ආයෝජනය කළ හැකි රටවල් අලුත් වටයකින් දියුණුවනු ඇති අතර අනෙක් රටවල් පියවරක් පසුපසට යොමුවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ලෝකයේ ප‍්‍රකට පර් යේෂකයෝ දුගීකම තුරන්කර රටවල් ගොඩනැගීමට සැලසුම් සකස් කළහ. සමාජ සජීවීකරණය ඒවායේ බහුලව යෙදුණු යෙදුමකි. ලෝක බැංකුව ආධාර දෙන සෑම රටකටම මානව සම්පත දැනුම්වත් කර, අවබෝධයක් දෙන වැඩ සටහන් සම්බන්ධයෙන් ප‍්‍රමුඛ තැනක් දුන් අතර එයින් ඉහළ සාර්ථකත්වයක් ලැබිණ. ආධාර බෙදා දී මිල දී ගත හැකි පිරිසක් බවට පත් කරනු වෙනුවට දැනුම හා අවබෝධය සහිත සමාජයක් ඇති කිරීමෙන් දරිද්‍රතාවය තුරන් කරනු හැකි බව සනාථ වී තිබුණි. දුප්පත් ප‍්‍රදේශවල වෙන් වෙන්ව ක‍්‍රියා කරමින් සිටි පිරිස් එකතුකර කුඩා කණ්ඩායම් ක‍්‍රමයක් යෝජනා කළ අතර සාමූහිකව වැඩ කිරීමෙන් ශ‍්‍රමය හා ධනය ඉතිරි කරගන්නට මග පාදා දෙනු ලැබීය.
ශ‍්‍රී ලංකාවේ පැරණි සාමූහිකත්ව ජන ජීවිතය ගැන අවබෝධයක් ඇති කිසිවකුට මේවා අලුත් දේ නොවේ. එහෙත් ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම, සහ නවීනත්වයට ගොදුරුවෙමින් සිටි ගමට හා නගරයට මෙම හඳුන්වාදීම ඉහළින් පැමිණි භාවිතයක් විය. ලෝක බැංකුව 1988-94 කාලයේ මෙරට දුප්පත්කම නැති කරන වැඩසටහනකට මුල්‍ය ආධාර සපයන ලද අතර එහි මෙම සජීවීකරණය හා කුඩා කණ්ඩායම් ක‍්‍රමය ඉහළින් භාවිත විය. පළමුවෙන් ජනසවිය හා පසුව සමෘද්ධි වැඩසටහන් වලදී ද එය අනුගමනය කෙරිණි. ප‍්‍රතිපත්තියක් වශයෙන් සමාජය එකතු කිරීම සහ මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ ඉහළින් දක්නට ලැබුණ එකමුතුව පවත්වාගෙන යමින් සමාජ දුරස්ථකරණය කෙරෙහි යොමුවීම බලවත් අභියෝගයකි.
කොවිඩ් -19 වයිරසය හේතුවෙන් අසල්වැසියන් ගෙන් යමක් භාර ගැනීමට පවා අදිමදි කරන සමාජයක් හැදෙමින් තිබේ. එය නාගරික ප‍්‍රදේශවල බහුල බව වාර්තා දක්වයි. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවා එයට රුකුල් සැපයීය. කෙසේ නමුත් මෙම දුරස්ථකරණය සම්බන්ධ අවබෝධයක් සහිතව සමාජය එක අරමුණකට ගොනු කිරීම මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් සලකා බැලිය යුතු වැදගත් අංශයයකි.
පොලිස් ඇඳිරි නීතිය පනවා රට තුළ පාලනයක් ඇති කරන අතර එදිනෙදා කටයුතු තොරතුරු තාක්ෂණයෙන් කරගෙන යා හැකි බවට විශ්වාසයක් මුල් දිනවලදී ගොඩනැගිණ. විශේෂයෙන් මෙරට ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේදී අන්තර්ජාලය පිටිවහලක් කරගත හැකි වෙතැයි අනුමාන කෙරිණි. නමුත් ආණ්ඩුව පමණක් නොව පෞද්ගලික අංශයද අසමත්විය. කොවිඩ් -19 බලපෑමට කලින් අන්තර් ජාලයෙන් ගනුදෙනු කළ හැකි බවට ප‍්‍රචාරය කරමින් සිටි සුපිරි වෙළඳසල් පවා දිනකට ඇනවුම් පන්සියයක් වත් මෙහෙයවන්නට අසමත්විය. ජාල අක‍්‍රීය වූ අතර ජනතාව අතෘප්තියට පත්වූහ. ජනතාව නිවසට කොටුකර ආහාර හා ඖෂධ දුරකතන ඇප්වලින් ඇනවුම් කරන්නට යෝජනා කළ නමුත් ඒවා සාර්ථක වූයේ කොළඹ නගරයට පමණකි. දුරබැහැර පළාත්වල සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? සාමාන්‍ය ජනතාව අන්තර් ජාල භාවිතයට එපමණ නැඹුරැ වී නොසිටි අතර යම් අවබෝධයක් ඇති පිරිස පවා එහි නියැලුණේ රජයේ හෝ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු වලදී ය. අනෙක ඇප් මගින් ඇනවුම් කළ හැකි නමුත් ඒවා බෙදාහරින ශ‍්‍රම බලකායක් නොවීය. කාර්ය මණ්ඩලය පොලිස් ඇඳිරි නීතිය පැනවීම සමඟ ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.
රජය හා ජනතාවගේ පහළම සම්බන්ධීකරණ ඒකකය වන ග‍්‍රාම නිලධාරීන් අතර පවා තොරතුරු තාක්ෂණයෙන් යමක් කරගන්නට හැකිවූයේ නැත. සෘජු දුරකතන ඇමතුම හැර අනෙක් මෙවලමක ප‍්‍රයෝජනයක් නොලැබුණි. මෙය වැදගත් පාඩමකි. ග‍්‍රාම නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා අලුතින් ටැබ් පරිගණක මිලදී ගන්නට යෝජනා වූ නමුත් මුදල් ප‍්‍රශ්න හෙයින් එය පසෙකට කෙරිණ. පාසල් දරුවන් සඳහා මිල දී ගෙන තිබුණ ටැබ් තොගයක් තාවකාලිකව ග‍්‍රාම නිලධාරීන් වෙත බෙදාදීමට උත්සාහ කළද එය පද්ධති ප‍්‍රශ්න හෙයින් කරගත නොහැකි විය. අධ්‍යාපන අමාත්‍යංශය එම ටැබ් මිල දී ගැනීමේ අඩුම මිල හා දරුවන්ට පාඩම් හැර අනෙකකට ඉඩ නැති ඇප් සහිත ටැබ් මිල දී ගෙන තිබුණ අතර එය මෙවැනි හදිසි අවස්ථාවක තාවකාලික යාන්ත‍්‍රණයක් ගොඩනගන්නට හෝ ප‍්‍රයෝජනවත් වූයේ නැත. අනෙක රටපුරා ග‍්‍රාම නිලධාරී වසම් පහළොස් දහසක් ආවරණය කරන සංඥා පද්ධතිය ප‍්‍රබල නොවු අතර නිලධාරීන්ගෙන් සෑහෙන පිරිසක් තාක්ෂණය ගැන අනවබෝධයක පසුවූහ. එවැනි තත්ත්වයක් මත නිවසේ සිට රාජකාරි කරන සේ යෝජනා කිරීම සාර්ථක කරගත නොහැකි බව පැහැදිලිය. තොරතුරු තාක්ෂණය සම්බන්ධ ආණ්ඩුවේ විශේෂඥයන් මෙම පැත්ත ගැන සම්පූර්ණ සමාලෝචනයකට යා යුතුව තිබේ.
තාක්ෂණය භාවිත කර වැඩකරන බවට සාකච්ඡා කරන ලද නමුත් රට තුළ සෑම ප‍්‍රදේශයකටම අන්තර්ජාලය එක හා සමානව නැත. භූගෝලීය විෂමතා එයට බලපා තිබේ. රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහන් එක තැනකින් විකාශය කරන ප‍්‍රතිපත්තියකට පවා යා ගත නොහැකි වී ඇති රටක් තුළ අන්තර්ජාලය එක හා සමානව ලැබෙන්නට සැලැස්වීම පහසු කාර්යයක් නොවේ. ජපානය වසර ගණනක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ විකාශන සම්ප්‍රේෂණයට ආධාර දෙන යෝජනාවක සිටින අතර එය පිළිගෙන ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප‍්‍රමාද වී තිබේ.
විදුලි සංදේශ ක‍්‍රමයද එයට නොදෙවැනිය. මෙරට රුහැන් රහිත දුරකතන ජාලා පවත්වාගෙන යන සමාගම් ආණ්ඩුවේ ආදායම් උත්පාදන ගොදුරැ බවට පත්ව ඇත. පසුගිය ආණ්ඩුව 2018 වසරේදී මෙරට දුරකතන සමාගම් වල කුලුනකට රුපියල් ලක්ෂ දෙකක් බැගින් වාර්ෂික බද්දක් පැනවීය. රටපුරා පිහිටි කුලුනු 6,750 කට අතිරේක බද්දක් ගෙවන දුරකතන සමාගම් යටිතල පහසුකම් සංවර්ධනය සීමා කළේය. ඒ වනවිටත් සුපිරි බද්දකට යටත් සහ ඉතාම ඉහළ බලපත‍්‍ර ගාස්තුවක් යටතේ ව්‍යාපාර කරන සමාගම්වලට අලුතින් ආයෝජනය කරන්නට ධනය උත්පාදනය නොවීය. මෙරට දුරකතන සමාගම් වලින් අයකරන බලපත‍්‍ර ගාස්තුව ඉතාම ඉහළ එකකි. විදුලි සංදේශ නියාමන කොමිසම 2003 අවුරුද්දේ දී එහි බලපත‍්‍ර ගාස්තු ආදායම වශයෙන් රුපියල් බිලියන දෙකක් උපයා ගෙන ඇත. 2010 අවුරුද්දේ එහි ආදායම රුපියල් බිලියන 13.8 කි. මෙයින් පෙන්වන්නේ සමාගම් කරන ආයෝජනයට දක්වන අවහිරයක තරමය.
ජාත්‍යන්තරව පස්වැනි පරම්පරාවේ රුහැන් රහිත තාක්ෂණයට නැඹුරැවන නමුත් ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශවල හතරවැනි පරම්පරාව භාවිතා වන අතර නගරයෙන් එපිට තුන්වැනි පරම්පරාවේ දුරකතන ජාල පවති. මේවායේ වේගය නැත. දත්ත බාගැනීම ප‍්‍රමාදය. එහෙයින් ජනතාව තාක්ෂණයට දුරස්ථය. පළමුවැනි පාඩම යටිතල පහසුකම් ඇති කිරීමය. දෙවැනුව භාවිතාව ප‍්‍රචලිත කළ යුතුය. එය අනාගතයේ ඇතිවන ව්‍යුහයට ඉතා වැදගත්ය.
සමාජ දුරස්ථභාවය සමඟ අලුතින් හැදෙන යුගය තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන බිහිවනු නිසැකය. ශ‍්‍රී ලංකාව එයට සූදානම්වීම වැදගත්ය. මෙරට රෝහල් ගණනාවක් පළමුවරට රෝගීන් කරා සමීප නොවී ප‍්‍රතිකාර කරන රොබෝවරු භාවිත කළේය. එය හොඳ උදාහරණයකි. තව වසර දහයකින් එය ඉතා ප‍්‍රචලිත වනු ඇත. සෞඛ්‍ය අංශයේ පමණක් නොව, භාණ්ඩ ඇනවුම් කිරීම, බෙදාහැරීම සහ බැංකු කටයුතු ඩිජිටල් ගත විය හැකිය. දැනටමත් ශ‍්‍රී ලංකා මහ බැංකුව වසර 2020 ඩිජිටල් මුදල් ගනුදෙනු වසර සේ හඳුන්වා දී තිබේ. එය අවධානයට ගත යුතුය. බැංකුවක පෝලිමක නොසිට නිවසේ සිට ගනුදෙනු කරන්නට හැකි යුගයක් ගැන හිතන්නට අවශ්‍යය. නිවසේ සිට භාණ්ඩ ගෙන්වා ගත හැකි සේ ක‍්‍රමය සකස් කළ යුතුය. එවිට ප‍්‍රවාහන තදබදය අඩු කළ හැකි අතර පිරිවැය කළමණාකරණය වෙයි.
අධ්‍යාපන අංශයේදී එය වේගවත්ව භාවිත වනු ඇත. පාසල් හා විශ්වවිද්‍යාල වසා ඇති නමුත් දියුණු රටවල ඉගැන්වීම අඛණ්ඩව සිදුවෙයි. මෙරට ඔන්ලයින් ඉගැන්වීමට උත්සාහයක් තිබේ. එය අසමතුලිතය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් දෙන පැවරුමක් බාගත කරගන්නට කෑගල්ලේ දරුවකුට අපහසුවන විට තත්ත්වය සංකීර්ණය. දුප්පත්කම තිබිය දී තාක්ෂණික දුප්පත්කම මෙහිදී මතුව තිබේ. ශ‍්‍රී ලංකාව එළැඹෙන යුගයේදී ජාත්‍යන්තරය තාක්ෂණයට නැඹුරුවන තරමට වඩා ඉහළින් සිටිය යුතුය. එයට හැකියාව ඇත. මෙරට මානව සම්පත එයට දක්ෂතා පෙන්වයි. භාෂා හැකියාව දියුණුය. එහෙත් යටිතල පහසුකම් අඩු අතර ජනතාව තොරතුරු තාක්ෂණ භාවිතය වෙනුවෙන් කරන පිරිවැය ඉහළ මට්ටමකය. මෙම පැති ගැන අලුතින් හිතන්නට අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද