2020 මැයි 09 වන සෙනසුරාදා

තැපෑල අවදානමේ!

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

සන්නිවේදනයේ පෙරගමන්කරු වශයෙන් හඳුන්වන ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රටේ අස්සක් මුල්ලක් නෑර විසිරී සිටින ලොකු කුඩා දුප්පත් පොහොසත් සියලුම ජනතාවගේ දෛනික අත්‍යවශ්‍ය සේවා රැසක් ඉටුකරන රාජ්‍ය ආයතනයක් බව අවිවාදිතය. ඒ අනුව තැපෑල මේ රටේ මහජනතාව සතු ජාතික සම්පතකි. මොහොතින් මොහොත දියුණුවට පත්වෙමින් තිබෙන තරගකාරී සමාජ රටාව අනුව තැපෑල සමඟ බද්ධ වුණු සංනිවේදන අවශ්‍යතා මෙන්ම තැපැල් කාර්යාලය හරහා ජනතාව බලාපොරොත්තුවන සේවාවන්ද නිරන්තරවම අලුත් වෙමින් පවතී.

රටතුළ පැතිර ඇති කොරෝනා වසංගතය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල පසුගිය මාර්තු මස 14 දින සිට වසා දමන  ලදී.

අනතුරුව වෛරසය ප්‍රබල ලෙස පැතිරී ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක වල මේ වනවිටත් මෙම තැපැල් කාර්යාල විවෘතකර ඇති අතර තැපැල්  දෙපාර්මේන්තුවේ මෙම කටයුතු සදහා 25000කට ආසන්න තැපැල් සේවක පිරිසක් සහභාගී වෙති. කාර්යාල විවෘත කිරීමත් සමග ගනුදෙනුකරැවන්ද විශාල වශයෙන් කාර්යාල වලය පැමිණෙනු ඇත. මේ වන විටත් සමහර කාර්යාල විෂබීජහරණය කර නොමැති අතර සේවකයන්ට අවශ්‍ය කරන විෂබීජ නාශක ද්‍රව්‍ය මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ සෑහීමකට පත්විය හැකි මට්ටමින් මෙතෙක් සපයා නොමැති බව තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි. මෙවැනි තත්ත්වයක් තුළ තැපැල් සේවයේ යෙදෙන සේවකයන්. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම පොදුවේ මහජනතාවද දැඩි අවදානම් තත්ත්වයකට පත්වනු ඇත.

එමෙන්ම මේ වන විට මෙම වසංගත තත්ත්වය හමුවේ රජයේ සේවා පවත්වා ගෙනයාමේදී අනුගමනය කළ යුතු කරුණු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛ අංක 1 / 2020 මගින් දන්වා ඇතත් එහි අන්තර් ගත කරුණු වලට අදාළව අවශ්‍යතා සපුරා නොමැත. ඒ කෙසේ වෙතත් ඇදිරිනීතිය පවතින දිස්ත්‍රික හැර සෙසු දිස්ත්‍රිකවල තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන අතර ඇදිරිනීතිය තිබෙන දිස්ත්‍රිකවල ඖෂධ බෙදා දීම් කටයුතු සිදු කෙරෙන බවද තැපැල් දෙපාර්තුමේන්තුව කියයි.

තිබෙන පහසුකම් එක්ක සේවය ඉටුකරනවා
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණෙහි කැදවුම්කරු චින්තක බණ්ඩාර 

මේ වනවිට ඇඳිරිනීතිය පවතින දිස්ත්‍රික හැර සෙසු සියලු දිස්ත්‍රික් වල තැපැල් සේවා කටයුතු ආරම්භ කරලා තියනවා. ඒ වගේම මේ ඇඳිරිනීතිය බල පවත්නා දිස්ත්‍රික තුළ ඖෂධ බෙදා දීම සහ රජය මගින් ලබා දෙන දීමනා බෙදා දීම් කටයුතු සිදු කෙරෙනවා. අපගේ තැපැල් සේවකයන් හට නිසි සෞඛ්‍ය උපකරණ ලබා දෙන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටියා සැලකිය යුතු ප්‍රමාණයක් හමු නොවුණත් යම්තාක් දුරකට ඔවුන් අපට අවශ්‍ය එම පහසුකම් සලසා තිබෙනවා. ලිපි ගොඩ ගැසීමක් කිසිම විටකත් සිදු වීමක් වෙලා නැහැ අපේ සේවකයන් ඉතා උනන්දුවෙන් මේ සේවය දැනට පවත්වාගෙන යනවා.

රාජකාරි වැඩට බාධාවක් නෑ
තැපැල්පති  රංජිත් ආරියරත්න 

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික් හැර අනෙකුත් සියලු දිස්ත්‍රික්වල තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි මේ වන විට අපි ආරම්භ කරලා තියනවා. ඒ වගේම ඇඳිරිනීතිය පවතින දිස්ත්‍රික්වල අතවශ්‍ය කටයුතු සඳහාත් අපි සේවය ලබා දීමක් සිදු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව සමඟ එක්ව නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරමින් තැපැල් භාණ්ඩ නිෂ්කාෂණය කිරීමේ කටයුතුත් මේ වන විට ආරම්භ කරලා තියනවා.කිසිදු බාධාවකින් තොරව මේ කටයුතු පවත්වාගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා.

 සටහන I හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03