2020 මැයි 09 වන සෙනසුරාදා

වැඩිහිටි පිරිසක් නටවන යූ යිටබ් සිඟිති පාතාලය

 2020 මැයි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

දරුවන්ට වීරයෙක් සිටී. ගෙදර ඉන්න තාත්තා, අම්මාගේ සිට හොලිවුඩයේ බොලිවුඩයේ නළු නිළියන් දක්වාම ඒ වීරයන් පෙළ ඇදී ගොස් ඇත. ඔවුන්ගේ බොහොමයක් හැසිරීම් ජානමය හැසිරීම් වන අතර එහෙත් බාහිර ලෝකයෙන් උකහාගන්නා බොහොමයක් චරිතද ළමා ලෝකයේ හැසිරීම්වලට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඒ නිසා දරුවන්ගේ හොඳ නරක වෙන්වන්නේ මෙකී බාහිර ලෝකය හරහාය.

කෙසේ වෙතත් අතීතයේ බාහිර ලෝකය එළියේ සමාජය, පාසල, ගම වැනි ස්ථාන වුවත් අතදරුවන්ගේ බාහිර සමාජය වී ඇත්තේ තමන් සන්තකයේ ඇති ස්මාට් දුරකථනය, පරිගණකයයි. ඔවුන් ලෝකයේ සිටින සියලුම යහළුවන්, නාඳුනන අය තමන්ගේ ලෝකයට ගන්නේ මෙකී මෙවලම් හරහාය. එවැනි මොහොතක ඔබේ දරුවා තවත් පිරිසකගේ ගොදුරක් වීමේ ඉඩකඩ ඉතා වැඩිය. එසේ වුවහොත් ඔබේ දරුවා ඔබෙන් ගිලිහී ගොස් බාහිර ලෝකයේ එක්තරා සංවිධානාත්මක පිරිසකගේ මෙහෙයවන්නෙක් බවට පත්වීමට ඉඩ තිබේ.

මේ කතාව මෙලෙස කීවේ පහුගිය දවස් කිහිපය පුරා මෙරට බොහෝදෙනා කතා වූ සිද්ධියක් නිසාය. සිඟිති පාතාලය ලෙස හුවා දක්වමින්, මන්නා, පිහි අත දරාගෙන එකිනෙකාට තර්ජනය කරන ළමා රැල්ලක් පසුගිය සතියේ එකවර එළියට ආවේය. එය ළමා ලෝකය නොව එක්තරා සංවිධානාත්මක පිරිසකගේ ලෝකයක් බවට බැලූ බැල්මට පෙනී යයි. ඒ නිසාම ලියුම්කරු වන මා සමඟ එකතු වූ, ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති එංගලන්තයේ වෛද්‍ය තුෂ් වික්‍රමානායක, ජාතික හඬ සංවිධානයේ කැඳවුම්කරු සන්නිවේදන හා උද්දේශන විශේෂඥ මනු තිසේරා සහ ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපතිනි රුවිනි වෙල්ස් මහත්මීන්ද එකතු වී මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියටත්, රහස් පොලීසියටත්, පැමිණිලි කිරීමට පියවර ගත්තෙමු.

ඒ අනුව රහස් පොලීසිය ක්‍රියාත්මක විය. නිකවැරටියේ සහන් යන නමින් සමාජ මාධ්‍යයේ මන්නා පිහියක් අත දරා සිටි දරුවා ඔවුන් බාරයට ගනු ලැබීම එහි ප්‍රතිඵලයකි. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ මේ වීඩියෝ විනෝදය සඳහා නිපදවූවක් බවය.

කෙසේ වෙතත් ඔහු එය නිර්මාණය කර ඇත්තේ නදීර මැක්ස් සහ සෙල්ලක්කාර මලියා නැමති ෆේස්බුක් පේජස් හරහා පෙනී සිටීන දරැවන් දෙදෙනාගේ වීඩියෝ පටවලට පිළිතුරු ලබාදීමේ අරමුණෙනි. ඉහත කී දරුවන් දෙදෙනා අභියෝග කර ගනිමින් වීඩියෝ පට මුදාහරින විට ඒ දෙදෙනාටම අභියෝග කරමින් කුලියාපිටියේ සහන් නමින් මේ දරුවා විසින් මෙම වීඩියෝ පටය එළියට දමා ඇති බව අනාවරණය විය. එහෙත් මේ සියල්ලටම ප්‍රසිද්ධිය ලබාදී තිබුණේ මේ රටේ වැඩිහිටි සමාජය විසිනි. ඒ අතර ප්‍රසිද්ධ ගායකයකුද සිටීම කනගාටුවට කරුණකි.

මේ දරුවන් යොදාගෙන එක්තරා වැඩිහිටි පිරිසක් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යන අතර ඒවාවලට වැඩි ආකර්ෂණයත්, වැඩි විව්ස් ප්‍රමාණයකුත් ලබාගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර ඇතැයි කියති. ඒ බව සහන් නමින් හඳුන්වන දරැවා ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කරමින් සමාව අයැද සිටියේය. එහෙත් එයද එක්තරා පිරිසක් විසින් මෙහෙය වූ බවට බැලූ බැල්මට පෙනෙන දෙයකි. ඒ එම දරුවා කියන දෙයත්, ඒ මොහොතේ සිදුවන දෙයත් අහසට පොළව වගේ නිසාය. උදාහරණයක් ලෙස ඒ දරුවා සඳහන් කරන්නේ එම වීඩියෝ පට දැකීමෙන් පසු තමන්ගේ සියලු වීඩියෝ උපකරණ දෙමාපියන් බාරයට ගත් බවය. එහෙත් ඒ දරුවා වීඩියෝ පටය රූපගත කරන්නෙත් දුරකථනයකින් වන අතර ඒ වනවිටත් ඔහු සන්තකයේ තවත් දුරකථනයක් තිබේ. ඒ නිසා එම දරුවා කවුරුන් හෝ අයකු විසින් මෙහෙයවන බව පැහැදිලිය. කෙසේ වෙතත් එදින සවසම ලියුම්කරු වෙත එක්තරා අයකු විසින් වීඩියෝ පටයක් යොමුකරනු ලබයි. ඒ එක්තරා ෆේස්බුක් සමූහයක සංවාදයකි. එහි මේ සහන් දරුවා ඇතුළු දරුවන් රැසක්ද, වැඩිහිටියන්ද සිටිති. ඔවුන් සියලුදෙනාම යූ ටියුබ් පේජස් පවත්වාගෙන යන අයය. මේ සියල්ලම තාක්ෂණික දැනුම හුවමාරු කරගන්නේ ඒ සමූහය හරහාය.

ඒ සමූහය තුළ එක්තරා වැඩිහිටි තරුණයකු සඳහන් කරන්නේ සහන් නැමැති දරැවාට තමන්ගේ යූ ටියුබ් චැනලය උඩට ගැනීම සඳහා නදීර මැක්ස් සහ සෙල්ලක්කාර මලියා යන දෙදෙනාගේ වීඩියෝ සටනට මැදිහත් වන ලෙසටය. ඒ අනුව සහන් නැමැති දරුවා විසින් මන්නයක් අත දරාගෙන එම වීඩියෝ පටය මුදාහැර ඇතැයි සඳහන්ය. එසේම විශේෂයෙන් නදීර මැක්ස් නැමැති දරුවාද මලියා නැමති දරැවාට පිළිතුරැදීම සඳහා වීඩියෝ පටයක් නිර්මාණය කර ඇති අතර එයද හසුරවන්නේ කවුරුන් හෝ පිරිසක් විසින් බව පැහැදිලිව පෙනෙන කාරණයක් විය. ඒ අනුව මේ සියල්ලෙහි පසුපස වැඩිහිටියන් සිටිනා බව සහතිකවම කිව හැක. ඒ සඳහා සාක්ෂිද ඇත.

එහෙත් පුදුමය නම් අදටත් ඒ පසුපස සිටින කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමය. ඒ අය හඳුනාගෙන නැත. එහෙත් සියල්ල දරුවන්ගේ පිටින් දමා අවසන් කොට ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ නිසාම සිදුවූයේ මේ දරුවාගේ ඡායාරූප නැවත වතාවක් ප්‍රචාරය කරමින් පේජ්කරුවන් පිරිසක් ඔවුන්ගේ පේජ් ඉහළ නංවාගැනීමට කටයුතු කිරීමය. එය කෙතරම් බරපතළ තත්ත්වයක්ද යත් අවසානයේ ඒ දරුවන් යහමඟට ගැනීම වෙනුවට තවත් තවත් අපරාධකරුවෙකු බවට හංවඩු ගැසීමට මේ පේජ්කරුවන් තම මාධ්‍ය ක්‍රියාත්මක කර ඇත.

ඒ නිසා කැමරා මිලදීගෙන යූ ටියුබ් චැනල් පවත්වාගෙන යන දරුවන් කොටුකර මේ ප්‍රශ්නය විසඳිය නොහැක. එසේ විසඳීමටද හැකියාවක් නැත. ඒ මේ පසුපස සිටින වැඩිහිටියන් තව තවත් අනාගතයේ මෙවැනි දරුවන් යොදාගෙන සිය අරමුණු කරා යෑම සිදුවනු ඇත. තව තවත් මෙවැනි දරුවන් ගොදුරු වනු ඇත. ඔවුන්ට වීඩියෝ පට සකසා, ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහැර සිඟිති පාතාලය යනුවෙන් නම් තබා ඒ හරහා මුදල් හම්බ කළත් මේ සමාජයට සිදුවන හානිය සුළුපටු නැත.
මෙය රඟපෑමක් විය හැක. මෙය අනුකරණයක් විය හැක. එහෙත් මෙය යොදාගන්නේ තවත් වැඩිහිටියකුගේ අරමුණකට නම් එය සැබවින්ම අපචාරයකි. නොමේරූ මනසක්, මොළයක් ඇති දරුවන් යොදාගෙන තම තමන්ගේ අරමුණු කරා යන වැඩිහිටියන් සුරක්ෂිතව තබා දරුවන් පසුපස පොලීසිය හඹා යෑමෙන් පලක් වන්නේ නැත. ඒ නිසා සිඟිති පාතාලය යනු දරුවන්ගේ ලෝකය නොවන්නේය. සිඟිති පාතාලය යනු වැඩිහිටියන් විසින් නිර්මාණය කරදුන් ලොවකි. එහි සිදුවන්නේ එකිනෙකාට මරණ තර්ජනය කරමින් මැරයන් වීමේ අරමුණකි. ඒ හරහා ජනප්‍රිය වී තම යූ ටියුබ් හරහා මුදල් ගරා ගැනීමේ වැඩකි. එවන් තක්කඩි ක්‍රියාවකට ඉඩදෙනවාද? මේවා ශෙයාර් කළ, මේවා සඳහා ජනප්‍රියතාවය ලබාදුන් ජනප්‍රිය අය, වැඩිහිටියන්ට නීතිය ක්‍රියාත්මක කරනවාද? නැත්නම් සුපුරුදු පරිදි දරුවන්ගේ උරහිසේ වැරැද්ද පටවා බලා සිටිනවාද?

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කීවේ මේවා ප්‍රසිද්ධ කළ, ශෙයාර් කළ අයට පවා දඬුවම් ලබාදෙන බවය. එහෙත් දඬුවම් තබා අත්අඩංගුවට ගැනීමක්වත් නැත. ඒ නිසා අපට අසන්නට ඇත්තේ එක දෙයකි. මේ රටේ දරුවන් යනු වැඩිහිටියන්ගේ සෙල්ලම් බඩුද කියාය.

I ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03