කොවිඩ්–19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාව මුහුණදී සිටින කෙටි හා මධ්‍යකාලීන අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා “කොවිඩ්–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් නව අරමුදලක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දෙනු ලැබුවේ මෙරට ජනතාවගේ සුභසිද්ධිය සඳහාය.
එහි ප්‍රධාන ගිණුම ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ (Corporate Branch) විවෘත කෙරැණු අතර ආරම්භක තැන්පතුව ලෙසින් රැපියල් මිලියන සියයක මුදලක් ජනාධිපති අරමුදලින් ඊට බැර කෙරිණි. දෙස් විදෙස් පුද්ගලයන්ට මෙන්ම ආයතනවලටද මෙම ගිණුමට තම පරිත්‍යාග ලබාදිය හැකිවනු අතර නිත්‍යානුකූල ගිණුම් හරහා ඊට සිදුකෙරෙන පරිත්‍යාග බදුවලින් හා හුවමාරැ සීමාවන්ගෙන් නිදහස් කර තිබීම විශේෂත්වයකි.
මෙරට කොවිඩ්-19 වසංගතය වැළැක්වීම සඳහා දේශීයව හා විදේශීයව ලැබෙන අරමුදල් පිළිබඳ කථිකාවක් මේ වනවිටත් සමාජයේ ගොඩනැගී ඇත. බොහෝ මාධ්‍ය හමුවලට සහභාගීවන මන්ත්‍රීවරුන් පවා පෙන්වා දෙන්නේ කොවිඩ් මර්දනය සඳහා විදෙස් රටවලින් ලැබුණු මුදල්වලට කුමක් සිදුවූයේද යන්නයි.
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොවිඩ්-19 අරමුදලට ලැබුණු මුදල් පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.
කොවිඩ්-19 ලෝකය පුරා ව්‍යාප්ත වීමත් එක්ක මෙරටට විශාල වශයෙන් ආධාර ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 25077, යුරෝපා සංගමයෙන් මිලියන 4620, චීනයෙන් මිලියන 97500ක්, මේ විදියට ලෝකයෙන් මෙරටට රුපියල් මිලියන එක්ලක්ෂ විසිහත්දහස් හාරසිය තිස් එකක් ලැබිලා තිබෙනවා. ඒ මුදල් හමුවුණත් ආණ්ඩුවට පුළුවන් වුණේ රුපියල් 5000 බැගින් ජනතාවට ලබාදෙන්න පමණයි. ඒ වුණාට එක් පුද්ගලයකුට රැපියල් 5250ක් පමණ යනවා මාසයක් ජීවත්වෙන්න. විවිධ රටවලින් ලැබුණු මිලියන 127,431ක ආධාර මුදල්වලින් මෙරට ලක්ෂ 42ක් පමණ වන ස්වයං රැකියා හා දෛනික වැටුප් ලබන තැනැත්තන්ට රු.5000 බැගින් ලබාදුන්න තවත් රු.මිලියන 106,432ක් නැත්නම් කෝටි 10643ක් ආණ්ඩුව සතුව පැවතිය යුතුයි.
එතකොට මේ ඉතිරි මුදල්වලට මොකක්ද කරන්න හදන්නේ? මොකක්ද මේ ඉතිරි මුදල් වලින් කරන වැඩ පිළිවෙළ? සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මිලදී ගන්නවද, බෙහෙත් මිලදී ගන්නවද, රෝහල් ඉදි කරනවද, ව්‍යාපාරිකයන්ට සහන ලබා දෙනවද? මොකක්ද මේ ඉතිරි මුදලින් කරන වැඩපිළිවෙළ කියලා රජය කියන්න ඕන. මේ අතර රු.බිලියන 200ක් මුදල් මුද්‍රණය කර තිබෙන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ හේතුවෙන් පසුගිය දිනවල 182ට පැවති ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 195 දක්වා වැඩි වී තිබෙනවා. ඒ වගේම මේ හේතුවෙන් ණයබර පොළිය රහිතව රුපියල් බිලියන 520න් වැඩි වී තිබෙනවා. මෙම තත්ත්වය මත තවත් රුපියල් බිලියන 100ක් මුද්‍රණය කිරීමට සූදානමක් පවතින බවද දැනගන්නට ලැබීලා තිබෙනවා. විදෙස් ආධාර මෙතරම් ප්‍රමාණයක් හමුවෙලා තවත් මුදල් ඉතිරී වී තිබියදී ඇයි මොවුන් මේ තවත් මුදල් අච්චු ගහන්නේ. ආණ්ඩුව ඒකට උත්තරයක් දිය යුතුයි. මොවුන් මේ සියල්ල කරන්නේ මැතිවරණයක් සඳහා. රජයට ලැබුණු විදෙස් මුදල්වලින් රටේ කොවිඩ්-19 තුරන් කරලා, රටේ ආර්ථිකය නගා සිටුවලා මැතිවරණය සඳහා ගියාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව මේ මුදල් ඉතිරි කරමින් මැතිවරණය සඳහා යෑම අප අනුමත කරන්නේ නැහැ.
දැන් මේ කොවිඩ්-19 මර්දන අරමුදලට ලැබුණු මුදල් පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පළකරනවා. නමුත් රජය එම ආධාර මුදල් ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ තමයි ලබා දෙන්නේ. මොකද රට රටවලින් එම ආධාර ලබා දෙන්නේ එම රටවල ජනතාවගේ බදු මුදල් වලින් හා සාමජික මුදල් වලින්. එම ගිවිසුම් නිකම් අත්සන් කරන්න බැහැ. ඒ සඳහා විදේශ අමාත්‍යාංශය යටතේ තිබෙනවා විදේශ සම්පත් දෙපාර්තුමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක්. එම ආයතනය එම රටවලින් ලැබෙන මුදල්වලට වග කියන්න ඕන. ඒ විදෙස් රටවල් එම රටවල ජනතාව තමන් ලබාදුන් ආධාර පිළිබඳ වග කියන්න ඕන. මේක ඉතා බැරෑරුම් කාර්යයක්. විපක්ෂයේ ඇතැමුන් මෙය සුළුවෙන් හිතන්නේ. කුමන චෝදනා එල්ල කළත් වර්තමාන රජය නිසි යාන්ත්‍රණයක් ඔස්සේ තමයි එම මුදල් ලබාදෙන්නේ. මේ සියලු සහන ජනතාවට ඇර වෙනත් දේශපාලනමය වුවමනාවන් වලට යොදාගනු ලබන්නේ නැහැ.
සටහන: හසිත් අංජන