2020 මැයි 02 වන සෙනසුරාදා

මෙවර නොඑන ලෝක කම්කරු දිනය

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

2020 වසර ජාත්‍යන්තර කම්කරු දිනයේ 130 වැනි වසරයි. මෙවර ජාත්‍යන්තර කම්කරුවන් සඳහා වෙන්වූ මැයි පළමුවැනි දිනය එළඹෙන්නේ ලොව පුරා සිටින කම්කරුවන්ගෙන් අඩකට පමණ රැකියා අහිමි වූ වාතාවරණයක් තුළය.

කොවිඩ් 19 වසංගතය නිසා 2020 වසරේ ලොව කිසිදු රටක මැයි දින රැලි සහ උත්සව නොපැවැත්වෙන අතර එය ආරම්භ වීමෙන් පසු වසර 130 තුළ මැයි දින සැමැරුම් නොපැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. දෙවැනි ලෝක යුද සමයේදීද මැයි දිනය සමරනු ලැබූ අතර ලොව වැඩි ආකර්ෂණයකින් යුතුව මැයි දින රැලි පැවැත්වෙනුවේ සමාජවාදී රටවල බවද ඔහු සඳහන් කරයි. ඇසට නොපෙනෙන සතුරකු නිසා මෙවර කිසිදු රටක මැයි රැලි සහ උත්සව පැවැත්වීමට නොහැකි වී තිබේ. නව තාක්ෂණය ඔස්සේ ජනතාව ඇමතීමට බොහෝ රටවල කම්කරු නායකයෝ පියවර ගනිමින් සිටිති. අන්තර්ජාලය ඔස්සේ මැයි දින දේශන පැවැත්වීමට පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂ නායක ඩේවිඩ් නෝත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර කම්කරු දිනයට මුල පිරුණේ කම්කරුවන්ගේ ලේ හැලීමක් තුළිනි. එය ආරම්භ වූයේ ඇමෙරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රයෙනි. එවක කම්කරුවන්ට ඉතා සුළු වේතනයකට දිනකට පැය 10ත් 16ත් අතර පැය ගණනක් වැඩ කිරීමට සිදු විය. අනාරක්ෂිතභාවය හේතුවෙන් මරණය හා තුවාල ලැබීම සාමාන්‍ය සිදුවීමක් විය.

වැඩ කිරීමට සුදුසු වාතාවරණයක් සකස් කර දීම, ශ්‍රමයට සරිලන වැටුපක් ලබාදීම හා සේවා කාලය පැය අටකට සීමා කිරීම යන ඉල්ලීම් වෙනුවෙන් 1886 මැයි 4 වැනි දින  කම්කරුවන් පිරිසක් චිකාගෝහී හේමාකට් චතුරශ්‍රයේ වර්ජනයක නිරත වූහ. එයට චිකාගෝහි 65,000 ක් පමණ පිරිසක් සහභාගී වූ අතර ඔවුන්  මිචිගන් මාවත ඔස්සේ පෙළපාලියකින් ගමන් කරමින් සිටියදී  නාඳුනන පුද්ගලයකු පොලීසියට බෝම්බයක් විසිකර තිබිණි. බෝම්බයෙන් හා තත්ත්වය පාලනය කිරීම සඳහා කළ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් හත් දෙනෙක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

පසුව පැවැති නඩු විභාගයෙන් පුද්ගලයන් අට දෙනකු චූදිතයන් බවට නම් කෙරිණි. ඉන් සත් දෙනකුට මරණ දඬුවම හිමි වූ අතර එක් අයකුට වසර 15ක සිර දඬුවමක් නියම කෙරිණි. පසුව ඉලිනොයිස් ආණ්ඩුකාර ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් සිරකරුවන් දෙදෙනකුගේ මරණ දඬුවම සිරදඬුවමක් ලෙස ලිහිල් කළේය. එක් පුද්ගලයකු සිරමැදිරිය තුළම දිවි නසාගත් අතර. අනෙක් සිව්දෙනා 1887 නොවැම්බර් 11 වැනි දින එල්ලා මරා දමනු ලැබූහ.

චිකාගෝ කම්කරුවන්ගේ ජීවිත පරිත්‍යාගයට සදාතනික අගයක් එකතු කරමින් එවක සිටි කොමියුනිස්ට් ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ෆෙඩ්රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතුව 1889දී ප්‍රංශයේදී පැවැති අන්තර්ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරයේ දෙවැනි සමුළුවේදී සෑම වසරකම මැයි මස පළමු දින (හේමාකට්) කම්කරුවන් සැමරීමට තීරණය කෙරිණි. ප‍්‍රංශ නියෝජිතයා විසින් කළ යෝජනාව අනුව ලෝක කම්කරු දිනය ලෙස මැයි පළමුවැනි දිනය යොදා ගැනීමට සමුළු සාමාජිකයෝ ඒකමතිකව තීරණය කළහ. ඒ අනුව ලොව ප්‍රථම කම්කරැ දිනය 1890 දී පැවැත්විණි.

කම්කරු අරගල නිසා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වන පරිදි කටයුතු කිරීමට පාලකයන්ට සිදු විය. චිකාගෝ විරෝධතා යුරෝපය පුරාත් සෙසු රටවලත් පැතිර ගියේය.

ශ්‍රී ලංකාවේ පළමුවරට කම්කරු දිනය සමරණ ලද්දේ 1927 වසරේය. එවක මෙරට සිටි කම්කරු නායකයකු වූ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැලිය අවසානයේ කම්කරැවනට ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සවයක්ද පැවැති බව පැවසෙන අතර එය මත්පැනින් තොර වූ බවද පැවසෙයි.

මෙරට පැවැති පළමු මැයි රැලිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1947 පමණ කාලය වනවිට මෙරට කම්කරු ව්‍යාපාරය ඉතා ඉහළ මට්ටමක පැවතිණි. වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිසා රැකියා අහිමි කෙරුණු කම්කරුවෝ කම්කරු නායකයන් බවට පත්ව සිටියහ. 1956 බිහිවූ අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ බිහිවූ රජය සමයේ මැයි පළමුවැනි දිනය රජයේ නිවාඩු දිනයක් බවටද ප්‍රකාශ විය. ඒ එවකට කම්කරැ ඇමැතිවරයාව සිටි ටී.බී. ඉලංගරත්න මහතාගේ ඉල්ලීමක් අනුවය.

මැයි දිනය කල් තැබූ අවස්ථා කිහිපයක්ම මෙරට ඉතිහාසයේ තිබේ. මැයි දිනය වෙසක් දිනයේ යෙදීම හේතුවෙන් 1969 වසරේ ඩඩ්ලි සේනානායක රජය එය දිනකින් කල් දැමීය. 1987දී ජේ.ආර්. ජයවර්ධන රජය සමයේ මැයි දිනය තහනම් කෙරුණු අතර එම තහනම කැඩූ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියක්ද වාර්තා විය. 1996 වසරේ චන්ද්‍රිකා කුමාරණතුංග පාලන සමයේ මැයි දින වීදි පෙළපාලිවලට තහනමක් පැනවුණු අතර එය උල්ලංඝනය කරමින් පෙළපාළි ගිය පිරිස්වලට පොලිස් ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවිය. 2018 වසරේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේද මැයි දිනය මැයි 7 වැනිදාට කල් තැබුණේ වෙසක් පෝය දිනය එදිනට යෙදීම හේතුවෙනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03