2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ලහිලහියේ ලිහෙන තැපැල් මල්ල

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

දැනට රට තුළ උද්ගතව ඇති කොවිඩ් 19 වෛරස ආසාදන ගැටලුව නිසා සමස්ත රාජ්‍ය සේවයම අවුල් සහගත තත්ත්වයට පත්ව ඇත. දැනටමත් නිකුත් කර ඇති සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් සේවයට යොදවා ගැනීමේ ගැටලුවක් පවතී. ඒ නිසා රජයට සහ පෞද්ගලික අංශයේ හාම්පුතුන්ට සිදුව ඇත්තේ අවම සේවක සංඛ්‍යාවක් යොදවා අත්‍යවශ්‍ය කටයුතු ඉටුකර ගැනීමටය.

රාජකාරිවල නිරත වීමේ විශාල අපහසුතාවකට පාත්‍රවන සේවකයන්ගෙන් සමන්විත වන ක්ෂේත්‍රයක් වන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවයි. අධිරාජ්‍යවාදී යුගයේ පටන් පැවතගෙන එන තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට ඉතාම සමීපව කටයුතු කරන ආයතනයකි. පසුගියදා රට තුළ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය වීම නිසා ලිපි සහ පාර්සල් ලක්ෂ ගණනක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ ප්‍රාදේශීය තැපැල් කාර්යාලවල ගොඩගැසී තිබුණු අතර පසුගිය 21දා සිට ඒවා මඳ වශයෙන් බෙදාහැරීම ආරම්භ වී තිබේ. එහෙත් එම කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් සෑහෙන කාලයක් ගතවනු ඇති බව දැනගන්නට ඇත.

ජූනි මස 20 දින පැවැත්වීමට දින යොදා ඇති මහා මැතිවරණය වෙනුවෙන්ද තැපැල් දෙපාර්තමේන්තුවට වැදගත් රාජකාරි රැසක් පැවරී ඇත. එසේම දිවයිනේ ඔසුසල් වසා තිබියදී රෝගීන් වෙන ඖෂධ බෙදාහැරීමද භාරවූයේ ඔවුන්ටය. තැපැල් දෙපාර්තමේන්තු සේවකයන්ට සහ පරිපාලනයට දැනට මුහුණපාන්නට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ දෙපාර්තමේන්තු සේවක සමිති සහ තැපැල්පතිවරයා විසින් සිදුකරන ලද අදහස් අනුසාරයෙන් මෙම ලිපිය සකස් කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරැ චින්තක බණ්ඩාර පවසන්නේ මාර්තු මස 14දා සිට අප්‍රේල් 21 දින දක්වා තැපැල් මූලස්ථානයේ සහ ප්‍රාදේශීය තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති ලිපි සහ පාර්සල් ලක්ෂ 10-15 අතර ප්‍රමාණයක් තෝරා බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය. ගුවන් තොටුපොළ වැසූ දිනය දක්වාම විදේශ තැපැල් පාර්සල් සහ ලිපි ලැබුණු අතර ඒවාද මේ අතර වන බවද හෙතෙම අවධාරණය කරයි. දැනට උපදෙස් දී ඇති අයුරු ඇඳිරි නීතිය ඉවත් කර ඇති පළාත්වල තැපැල් කාර්යාල මගින් ලිපි බෙදීමට කටයුතු කර ඇති බව හේ ප්‍රකාශ කරයි. කොළඹ සහ අන්තර් පළාත් ප්‍රාදේශීය කාර්යාලවල ඇති ලිපි හා පාර්සල් තෝරා අදාළ ප්‍රදේශවලට යවා ඇති බවද පවසයි. දැනට සේවක කණ්ඩායම් විශේෂ රාජකාරිවල යොදවා, ප්‍රවාහන පහසුකම් තිබෙන ආකාරයට මේවා බෙදාහරින බව ඔහු අවධාරණය කරයි.

තමන්ට ලැබුණු අතිරේක රාජකාරියක් වන නිවෙස්වලට ඖෂධ බෙදාහැරීම පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳ ඔහු මෙලෙස කරුණු දක්වයි.

‘මාර්තු මාසයේ 31 දින සිට මේ දක්වා පාරිභෝගිකයන් වෙත ඖෂධ බෙදාහැරීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඉතාම සාර්ථකව කරගෙන එනවා. ඉදිරියේදීත් දිගටම මෙම කාර්යයේ යෙදෙනවා. රාජ්‍ය ඔසුසල බාරදෙන බෙහෙත් ඇණවුම් අනුව මෙලෙස පිටිසර දුෂ්කර පළාත්වල පවා පාරිභෝගිකයා දක්වා මේ වනවිට ලක්ෂ ගණනක පාර්සල් බෙදාහැර තිබෙනවා. කොළඹ ජාතික රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලටද අවශ්‍ය ඖෂධ බෙදාහරින්නේ අපේ දෙපාර්තමේන්තුව මගින්. දැනට මෙහිදී යම් ගැටලු ඇතිව ඇති අතර අනාගතයේදී ඒවා නිරාකරණය කර මෙම ඖෂධ පාර්සල් බෙදාහැරීම විධිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු ප්‍රදේශවලට බෙදාහැරීමට ප්‍රවාහන ජාල මුළුමනින්ම යොදාගෙන තිබෙනවා.’

ඔහු අවධාරණය කරන්නේ මේ දක්වා තම සේවකයන් ස්වේච්ඡාවෙන් මෙම රාජකාරිය ඉටුකරන අතර රජය ඒ සඳහා කිසිදු දීමනාවක් නොගෙවන බවය. දැනට දෙපාර්තමේන්තුව සතු වාහන සංඛ්‍යාව මේ සඳහා ප්‍රමාණවත් නොවන නිසා සේවකයන් තම පෞද්ගලික වාහන පවා මේ සඳහා යොදවා ගන්නා බව ඔහු කියයි. සේවකයන් තම පෞද්ගලික මුදලින් ඒවාට ඉන්ධන පවා ගසා ගන්නා බව ඔහු පෙන්වා දෙයි.

‘අපි මේ ඉන්ධන වියදම හෝ දෙන්නය කියලා ඉල්ලලා නැහැ. අතිරේක රාජකාරි සඳහා යම් ප්‍රතිලාභයක් ලබාදීම බලධාරීන්ගේ යුතුකමක් වෙනවා. ඒ මොකද දිගටම මේ තත්ත්වයෙන් කටයුතු කරන්න අපේ සේවකයන්ට පුළුවන්කමක් නැහැ.
දැනට පවතින තැපෑලේ කටයුතු යාවත්කාලීන කිරීමට නම් රටේ සෞඛ්‍ය තත්ත්වය යහපත් විය යුතුයි. එය සිදුවනතුරු පෙර මෙන් රාජකාරිවල නියැලීම දුෂ්කරයි. තැපැල් දෙපාර්තමේන්තුව තමා සෑම නිවෙසකටම සේවකයන් ගමන් කරන එකම රාජ්‍ය ආයතනය. අද පවතින තත්ත්වය අනුව සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුයි. එහෙත් ඒ අයගේ අවශ්‍යතා සඳහා ආරක්ෂිත සෞඛ්‍ය කබා, විෂබීජ නාශක ද්‍රව්‍ය හා උපකරණ අපට ලැබී නැහැ. ඇතැම් අයට ඒවා තම පෞද්ගලික මුදල්වලින් තමා මිලට ගන්නට වෙලා තියෙන්නේ. තැපැල්පතිවරයාට මේ අඩුපාඩු සැපයිය නොහැකියි. අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. විවිධ විකල්ප තැපැල්පති යෝජනා කර තිබුණත් තවම ඒවාට අනුමැතිය ලැබී නැහැ.

21දා ලිපි හා පාර්සල් බෙදීම අපි ආරම්භ කළත් එය සිදුකෙරෙන්නේ ආරක්ෂක ප්‍රදේශවල පමණයි. දෛනිකව ලිපි බෙදීමක් සිදුවන්නේ නැහැ. මසකට අධික කාලයක් තැපැල් කාර්යාල වසා දමලයි තිබුණේ. කාර්යාල විෂබීජහරණය කළ යුතුයි. දැනට පවතින ක්‍රමවේද තවදුරටත් වැඩිදියුණු කළ යුතුයි. වෛරසය නැවත පැතිරීම පාලනය කිරීමට කටයුතු කළයුතු වෙනවා. අප දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ සේවකයන් සහ ගනුදෙනුකරැවන් ආරක්ෂා කිරීමට සාර්ථක ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙසයි. ඒවා ලැබෙනතුරු අප බලා සිටිනවා. දැනට අවශ්‍ය පහසුකම් නැති නිසා අපට සිදුව ඇත්තේ අවම සේවක සංඛ්‍යාවක් යොදාගෙන කටයුතු කිරීමටයි. අප දෙපාර්තමේන්තුවේ 21,000ක පමණ සේවකයන් සිටිනවා. තැපැල් කාර්යාල 653ක් උප තැපැල් කාර්යාල 3410 හා පාලන කාර්යාල 70ක් තියෙනවා. මේ සා විශාල සේවක සංඛ්‍යාවක් සේවයට වාර්තා කරනවා නම් ඒ සැමට සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ හා මෙවලම් සැපයීම අවශ්‍යයි. ලිපි බෙදීම සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නම් මේ සේවකයන් සියල්ල වැඩකළ යුතු අතර තැපැල් කාර්යාල සියල්ලද විවෘතව තැබිය යුතු වෙනවා.

කොළඹ පවතින තත්ත්වය අනුව ලිපි බෙදීම අපහසුයි. ඇතැම් ඒවා බෙදා දී අත්සන් ලබාගත යුතු වෙනවා. මේ වාතාවරණය තුළ එය නිවැරදිව කළ නොහැකියි. යම් අඩුපාඩුවක් වරදක් සිදුවුවහොත් එයට සේවකයන් තමා වගකිව යුතු වන්නේ. තැපැල්කරුවන් 12,000 පමණ සේවයේ යෙදී ඉන්නවා. මේ අය තමා පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට යන්නේ. ඒ අය ලිපි බෙදලා ආපසු කාර්යාලවලට එනවා. අනතුරැව සිය නිවෙස්වලට යනවා. එම සේවකයන් පවුල්වල අය සහ ජනතාව ආරක්ෂා විය යුතුයි. යම් වරදක් සිදුවුවහොත් සේවකයන් හා දරැ පවුල් අමාරැවේ වැටෙනවා. ඔවුන් ගලවාගන්න ඉදිරිපත් වන අය අවමයි. අපි කැපවීමෙන් සේවය කිරීම වගේ මහජනතාවද ආරක්ෂා කළයුතු වෙනවා. වෛරස බෙදාහරින්නන් වෙන්න අපට බැහැ. අප දෙපාර්ශ්වය ගැනම බැලිය යුතුයි. මේ තත්ත්වය පිළිබඳ සැලසුම් සහගත වැඩපිළිවෙළක් වගකිවයුත්තන්ට තිබෙන බවක් තවම දැකිය නොහැකියි.

ලබන ජූනි මස 20 දිනට නියම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ අදහස් දැක්වූ චින්තක බණ්ඩාර කියා සිටියේ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තමන්ට ගැටලුවක් නොමැති බවයි. ඉතිහාසය පුරාවටම පැවැති මැතිවරණවලදී ස්වකීය දෙපාර්තමේන්තු සේවකයන් විශාල කැපවීමකින් රාජකාරී කර ඇති බව පැවසීය. අපේ රාජකාරි පිළිබඳ කවචදාවත් චෝදනා ලැබී නැති අතර කාර්යක්ෂමව සේවකයන් මැතිවරණ රාජකාරී ඉටුකර ඇතිබව හෙතෙම පවසයි.

‘මැතිවරණ රාජකාරි අපට නුපුරුදු වැඩ කොටසක් නොවෙයි. එහෙත් ඒවා සියයට සියයක් නිවැරදිව අප්‍රමාදව කළයුතු දේවල් වෙනවා. මේ දිනවල ඒ සඳහා සුදුසු පරිසරයක් තිබේද යන්න ගැටලුවක්. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළායින් පසු කෙටි කාලයක් තුළ නිමකළ යුතු රාජකාරී බොහෝ වෙනවා. මැතිවරණ ඡන්ද දැන්වීම් පත්‍රිකා සියලු ඡන්දදායකයන්ට බෙදීම අවශ්‍යයි. මැතිවරණ අපේක්ෂයක්ගේ ප්‍රචාරන ලිපි බෙදිය යුතුයි. මැතිවරණ අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් සිටින විට ඒ ලිපි ප්‍රමාණය වැඩියි. ඒවා අපට එක දිනයකම ලැබෙන්නේ නැහැ. විවිධ දිනවලයි ඒ අය ඒවා නිකුත් කරන්නේ.

තැපැල් රාජකාරිවලට නිලධාරින් යොමුකිරීමේ ලිපිද විවිධ ආයතනවලට බෙදිය යුතුවෙනවා. ඒ හැර තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලිපි, පාර්සල් ආදියද රාජ්‍ය ආයතනවලට බෙදනවා. ඒ අතරම මැතිවරණ රාජකාරීවලය නිලධාරින් යොමු කළ යුතුයි. මේ ආදි වශයෙන් මැතිවරණය ඉලක්ක කරගෙන වගකිව යුතු රාජකාරි රැසක් අපවෙත බාරවෙනවා. එසේම අද පවතින තත්ත්වය අනුව මැතිවරණ රාජකාරීවලට නිලධාරීන් යෙදවීම පිළිබඳ තීරණයක් ගතයුතුයි. දැනටමත් ඇතැම් වෘත්තිය සමිති මැතිවරණ රාජකාරීවලින් වැළකී සිටීමට තීරණය කර තිබෙන බවද සැලවී තිබෙනවා. මේ පිළිබඳ අපේ ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති එකතුවී සාකච්ඡා කර තීරණයක් ගෙන අපේ මතය ප්‍රකාශ කරනවා.

එසේම තැපැල් සේවක රාජකාරි පෞද්ගලික අංශය යොදාගෙන කළ හැකි නොවෙයි. නීතියෙන් අපට එය පැවරී තිබෙනවා. පෞද්ගලික අංශයට ඒ සඳහා බලතල නැහැ. අපි මේ තීරණය ගන්නේ ආණ්ඩුවේ කටයුතුවලට බාධාකිරීමට නොවෙයි. අපෙන් වැඩ ගන්නවා වගේම අපේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් පිළිබඳ බලධරයන් කටයුතු කළ යුතුයි. මේ පිළිබඳ තැපැල්පති රංජිත් ආරියරත්නගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ වෘත්තිය සංගම්වල ඉල්ලීම් පිළිබඳ අවබෝධයක් තමන්ට ඇති අතර ඒ පිළිබඳ රජයට කරුණු ඉදිරිපත් කර ගැටලුවලට විසඳුමක් ලබාදීමට කටයුතු කරගෙන යන බවය.

රාජකාරි කටයුතුවලට පෞද්ගලික වාහන පාවිච්චි කරන විට ඒ පිළිබඳ පූර්ව අනුමැතිය ලබා ගත යුතුවන අතර එවැනි වාහන යොදවන නිලධාරීන්ට රජයේ ආයතන සංග්‍රහය අනුව ඉන්ධන වියදම් ප්‍රතිපූර්ණ කරගත හැකිවෙනවා. එසේම සෞඛ්‍ය ආරක්ෂණ ද්‍රව්‍ය හැකි තරම් දුරට අමාත්‍යංශ මට්ටමින් සපයන අතර, ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාවල අවශ්‍ය උපකරණ සහ විෂබීජ නාශක ආදි ද්‍රව්‍ය ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට තැපැල් ස්ථානාධිපතිවරුන්ට අවසර ලබාදී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙනවා. සියලුම අවශ්‍යතා ඒ ලෙසින්ම සැපයිම දුෂ්කරයි. ඒ සඳහා මූල්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතුවෙනවා. 

තැපැල් කාර්යාල අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට කටයුතු යොදා ඇති අතර මුඛ ආවරණ සහ අවශ්‍ය රසායනික හැකි තරම් දුරට සපයා තිබෙනවා. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල පසුගිය 21 දා සිට තැපැල් සේවා කටයුතු අරඹා තිබෙනවා. ගුවන් තැපැල් හා නැව් ගමනාගමනය මේ වන විට නතර කර ඇති නිසා නැවත දැනුම් දෙන තුරැ එම තැපැල් භාණ්ඩ බාර ගන්නේ නැහැ. ලිපි හා පාර්සල් තැපැල් කාර්යාලවලට බාර දෙන විට සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් නිසි පරිදි අනුගමනය කළ යුතු බවට මහජනතාව දැනුම්වත් කරනවා. කෙසේ වුවත් ප්‍රවාහන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු රට තුළ තැපැල් භාණ්ඩ බෙදාහැරීම ප්‍රමාද විය හැකියි. 

තැපැල් ඡන්ද රාජකාරි පිළිබඳ අපට ගැටලුවක් නැහැ. අදාළ කාර්යාලවලට ඒවා බෙදා හැරීමට අපට පුළුවන්. එහෙත් ප්‍රශ්නයක්ව ඇත්තේ ලක්ෂ 62 පමණවන නිල ඡන්ද දැන්වීම් බෙදීම පිළිබදවයි. මැතිවරණ පනත අනුව දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්දදායකයන්ට බෙදාදිය යුතු වෙනවා. මේවා අපි කරන්නේ මුදල් අයකිරීමකින් තොරවයි. දෙපාර්තමේන්තුවට හෝ සේවකයන්ට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. මෙම ගැටලු පිළිබඳ මීට පෙර පැවති මූලික සාකච්ඡා වලදි අප ප්‍රකාශ කර තිබෙනවා. සෞඛ්‍ය අංශවලින් ලබාදෙන යම් යම් උපදෙස් හා නිර්දේශ අනුව කටයුතු කළ යුතුයි.

මේ පිළිබද වෘත්තීය සමිති සිය දුෂ්කරතා දන්වා තිබෙනවා. ඒ අය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසම එක්කද කතා කර තීරණයක් ළඟදීම ගැනීමට බලාපොරොත්තු වෙනවා.
පෞද්ගලික අංශය මඟින් කුරියර් ක්‍රමයට මැතිවරණ භාණ්ඩ බෙදාහැරීමට වැඩ පිළිවෙලක් තිබේද යන්න විමසූ විට තැපැල්පතිවරයා පැවසුවේ මේවා රජයේ රහස්‍ය සහ වගකීම් සහිත රාජකාරි නිසා පෞද්ගලික අංශයෙන් කළ නොහැකිබවය. 8000 ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවන අතර මැතිවරණයට සතියකට පෙර මෙම ලිපි ලේඛන බෙදාදිය යුතු බවට නීති ප්‍රතිපාදන ඇති බවද ඔහු කියයි.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03