2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

පුත්තලමේ නිරෝධායන ගමකට ගියෙමු

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

පුත්තලමෙන් පළමුව හමුවූ කොරෝනා ආසාදිතයා ඉන්දුනීසියාවේ සංචාරය කළ පුද්ලගලයෙකි. ඔහු පුත්තලම කඩුමයාන්කුලම ගම්මානයේ පදිංචි සිටින වයස අවුරුදු 55ක් වයස පුද්ගලයෙකි.

මාර්තු 28 වන දින මෙම කොරෝනා ආසාදිතයා හමුවීමත් සමඟ පුත්තලම සහිරා ජාතික පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කෙරිණි. කොරෝනා ආසාදිතයා හමුවූ කඩුමයාන්කුලම ගමේ පවුල් 11 පුද්ගලයන් 67 දෙනකු නිරෝධායනය කර ගම හුදකලා ගම්මානයක් බවට පත් කරන්නට අදාළ අංශ පියවර ගත්තේය. ඉන් දින කිහිපයකට පසුව ඉන්දුනීසියාවේ සංචාරය කළ රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවකුද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන එම ගම්මානයේ පවුල් 20 නිවෙස තුළම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි.

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ කාන්තාවක්ද කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම ගම්මානයේ පවුල් 28 තම නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ ආකාරයට ජනතාව නීරෝධායනයට ලක් කිරීමෙන් ජනතාවගේ නිදහස සීමාවීම එක් ආකාරයක පීඩනයක් වුවත් තවත් පැතිකඩකින් බැලීමේදී එම පීඩනය ඇති වී තිබෙන්නේ නිරෝධායනයට ලක්වූවන්ට නොව ග්‍රාම නිලධාරීන්ට සමෘද්ධි නිලධාරීන් සහා පොලීසියටයි.

එයට හේතුව වී ඇත්තේ ස්වයං නිරෝධායනට ලක්කරන පුද්ගලයන්ට එම කාලය තුළ සියලු පහසුකම් සැපයීමට අදාළ අංශවලට සිදුවී තිබීමයි. මේ වනවිටත් කඩුමයාන්කුලම ගම්මානයට ඇතුළුවීම පිටවීම තහනම්ව පවතී. අට්ටවිල්ලුව රත්මල්යාය ගමේ පවුල් 60 පමණ නිරෝධායනයට ලක්කෙරිණි. ඒ අය සමග කතාබහ කිරීමට යාම අවදානමක් විය හැකි බව සෞඛ්‍ය දැනුම්වත් කර ඇත.

අප මේ ගම්වලට ගමන් ඇරඹුවේ කඩුමයාන්කුලම ගම්මානයෙනි. එහෙත් ගමට ඇතුළුවන මාර්ගවලට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි. නිවාස එකින් එකට යාය පිහිටා ඇත. ජනතාවගේ දුරස්ථභාවය තබා ගැනීමට එය ගැටලුවක් බවට පත්වී ඇත. රෝගය ව්‍යාප්ත වීමට එයද එක් සාධකයක් බව අපට වැටහිණි.

ගමට යෑම අපගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි වේ යැයි සිතුණද එහෙත් ගම්මානයට ගොස් ගමේ අය හමුවී තොරතුරු විමසීමට ගමට යෑමට අපට පොලීසියෙන් අවසර ලැබුණි. සෞඛ්‍ය නිලධාරීහුද ගමට යෑමට එම ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන්ගෙන් අපට ලැබුණු උපදෙස් අනුව ගමට ඇතුළු නොවී සිටීමට අප විසින්ම ස්වයං වාරණයක් ගනු ලැබීය.

එහෙත් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දුරකථන මගින් සම්බන්ධ කර ගනිමින් ගමේ තොරතුරු විමසා බැලීමට දැනගන්නට ලැබුණි. කඩුමයාන්කුලම ගමෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිතයා සුවවී නිවසට පැමිණ සිටී. නිරෝධායනයට ලක්කළ අයගේ තත්ත්වයද යහපත් තත්ත්වයෙන් පවතින බවද දැනගන්නට ලැබිණි.

ගමේ ජනතාවට ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සැපීමට නගර සභාව ව්‍යාපාරිකයන් පොලීසිය නාවික හමුදාව යුද හමුදාව කටයුතු කරමින් සිටී. සෞඛ්‍ය අංශ ඉතාමත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් ගම්මානයට ගොස් ජනතාවගේ අවශ්‍යතාවයන් ද සොයා බලයි.

කඩුමයාන්කුලම ගම්මානයෙන් පසුව අප ගමන් කලේ අට්ටවිල්ලුවටයි. එම ගම්මානයට ඇතුළුවීමට තහනමක් නැත එහෙත් නිවාස කිහිපයකට යෑම ඒම තහනම් කර තිබේ. නාම පුවරුවක ස්වයංනිරෝධායනය කර ඇති නිවසක් ලෙස සඳහන් කර තිබෙනු දැක මඳක් නැවතී එය කියවද්දී නිවසේ කාන්තාවක් එළියට බැස අප දෙස බලා සිටිනු දුටුවෙමු. අපි ඇයගෙන් තොරතුරු විමසා සිටියෙමු.

අපට හරි කරදරයක් වුණේ මහත්තයෝ. අපි එදාවේල හම්බ කරගෙන කාලා හිටපු මිනිස්සු අපට එළියට බහින්න තහනම්. මේක අපි කරපු වරදක් නෙවෙයි. එක ගෑනු කෙනෙකුට තමයි කොරෝනා හැදිලා තිබෙන්නේ. එයා අපේ ගෙදර ආවා ගියා. ඒ නිසා තමයි අපට මේ දඬුවම.

කන්න බොන්න තිබෙනවාද? 

කන්න බොන්න නම් ලැබෙනවා තමයි. නමුත් ගෙදර ලයිට් බිල වතුර බිල කවුරැවත් ගෙවන්නේ නැහැනෙ. මේ සේරම එකපාරට එකතුවෙලා එනකොට ගෙවන්නෙ කොහොමද?

රජයෙන් සහන දීලා තිබෙනවා නේද?

සහන දීලා තිබෙනවා. නමුත් ඒ සහන කාලයෙන් පස්සෙ අපි ලොකු අමාරුවක වැටෙනවා. දඩාවතේ යන බල්ලො ගෙදරට වද්දගෙන කනවා කනවා කියන එකේ අනිත් එක තමයි අපට වෙලා තිබෙන්නෙ.

ඒ කියන්නේ?

අපේ ගම්වලට මේ කිසිම වෛරසයක් එන්න විදිහක් නැහැ. අපි බෝ කරපුවත් නෙවෙයි. වෙන කෙනෙක් නිසා අපට ලැබුණු දඬුවමක් මේක. ඕවා ගැන කතා කරන්න බැහැ කිව්වොත් සඟ නහී නොකිව්වොත් වෙහෙර නහී.

අට්ටවිල්ලුව ගමේ තොරතුරු එලෙස ලබාගත් අප රත්මල්යාය ප්‍රදේශයට ගමන් කළද එම ගම්මානයේ කිසිවෙක් අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවීය. කොරෝනා වෛරසයේ ඇති භයානක තත්වය නිසා වාර්තා කිරීමට යෑමේදී අපටද සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීමට සිදුවී ඇත. එම හේතුවෙන් ඇතැම් තොරතුරැ හරි ආකාරයට ජනතාවගෙන්ම ලබාගැනීම අපහසු වී ඇත.

රෝවන් පෙරේරා - පුත්තලම

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03