2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

ලොක්ඩවුන් අකුරණ අන්ඩර්ග්‍රවුන්ඩ් වැඩ

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 72

කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් ප්‍රථම වතාවට මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවක් ජීවත්වන හාරිස්පත්තුව මැතිවරණ කොට්ඨාසයේ ‘අකුරණ’ ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දැමීමත් සමඟ මෙරට ජනතාවට ගම්මාන හුදකලා කිරීම හා ලොක්ඩවුන් යන වචනය සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ හුරුවිය.

අකුරණ ප්‍රදේශයෙන් මාර්තු මස 28 වැනි දින පළමු කොවිඩ් 19 ආසාදිත රෝගියා සොයාගැනීමත් සමඟ මත්ද්‍රව්‍ය අංශ හා ආරක්ෂ අංශ (හමුදාව සහ පොලීසිය) එම රෝගියාගේ පවුලේ සාමාජිකයන් සිවු දෙනෙක්ද ආසාදිත බවට සොයාගනු ලැබූහ.
එම රෝගීන් සොයා ගැනීමත් සමඟ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන පුද්ගලයන් 144 දෙනකු සොයාගැනීමෙන් පසු ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යැවීමට පියවර ගනු ලැබීය.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ අකුරණ ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 07ක් බවය.

සම්පූර්ණයෙන්ම වසා දැමූ අකුරණ ප්‍රදේශයට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව යුද හමුදාව සහ පොලීසිය යටතට පත් කිරීමද සිදුවිය. අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාත් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් අකුරණ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ සහ වෙනත් සේවාවන් සපයාදීමට උත්සුක වූහ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර, අණදෙන නිලධාරී කර්නල් නලීන් බණ්ඩාර, අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේකෝන් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයන්හි මහජන නියෝජිතයන් ආගමික නියෝජිතයන් (විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, මුස්ලිම් දේවස්ථානයන්හි පූජක තුමන්ලා මවුලවිවරුන්) අකුරණ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් උපරිමව කැපවූහ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර, කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ද සෞඛ්‍ය අංශයන්හි විවිධ තරාතිරම්වල නිලතල හෙබවූ කාර්ය මණ්ඩලයද අකුරණ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව කොරෝනා වසංගත රෝගයෙන් බේරා ගැනීමට දිවා රාත්‍රී වෙහෙස වූහ.

නිරෝධායන කටයුතු සඳහා දිවයිනේ විවිධ ස්ථානවල පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන කරා අකුරණ ප්‍රදේශයෙන් යවන ලද කෝවිඩ් ආසාදිත බවට සැක සියලුදෙනා විශේෂ පරීක්ෂණයන්ටද ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන බවත්, අකුරණින් නිරෝධායනය සඳහා යවන ලද 144 දෙනා අතරින් 66 දෙනකු ‍ෙකාවිඩ් ආසාදිතයන් නොවන බවට හඳුනාගත් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ප්‍රකාශ කළේය.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 35ක් තිබෙන අතර එම ප්‍රදේශයේ හුදකලා කර දැනට වසා දමා තිබෙන ගම්මාන වන්නේ, තෙළඹුගහවත්ත (පළමු කොරෝනා ආසාදිතයා ජීවත් වූ ගම) වරාගස්හින්න, බුලුගොහොතැන්න, කසාවත්ත, උඩවැලිකැටිය, පල්ලේවැලිකැටිය, දොඩම්ගොල්ල, අකුරණ නීරුල්ල, උග්ගල කුරුඳුගහඇළ, මල්වාන වත්ත, කුරුගොඩ හූරිගොල්ල, ඉදල්ගස්තැන්න, පන්ගොල්ලාමඩ, මල්ගස්දෙණිය, කොනකලගල යන ගම්මානයි.

මෙම ප්‍රදේශයන්හි ජනගහණය පවුල් 10802ක් වන අතර, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුළු ජනගහණය 49929කි.

මෙම ගම්මාන කරා මහනුවර, කටුගස්තොට නගරයෙන් කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවීමද විශේෂත්වයකි. හදිසි අවස්ථාවන්හිදී අසාධ්‍ය රෝගීන්, ගැබිණි මවුවරුන් රෝහල්ගත කිරීම් හා හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමේ කාර්යයන් ආරක්ෂක අංශයන්හි සහායෙන් සිදු කෙරෙයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් කෝවිඩ් 19 වසංගත රෝගය පැතිර යාම වළක්වාලීමේ විශේෂ මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර තිබෙන අතර, එම කමිටුව සතියකට වරක් රැස්වී ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමද සිදුවෙයි.

අකුරණ ප්‍රදේශයේ අඛණ්ඩ දිවා රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ ඇතැම් ආත්මාර්ථකාමී පිරිස් හා පුද්ගලයන් අතුරු මාර්ග ඔස්සේ පූජාපිටිය, මැදවල ප්‍රදේශයෙන් අත්තරගම හෑදෙණිය හරහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කටුගස්තොට නගරයටත් එතැන් සිට මහනුවර නගරයටත් සූක්ෂමව පැමිණෙන බවට තොරතුරු අනාවරණය විය. මෙම පුද්ගලයන් හා පිරිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මෙලෙස අකුරණ ප්‍රදේශයෙන් පැමිණීම සිදුවන්නේ අකුරණ නගරය තුළ ක්‍රියාත්මක වන පොලිස් හා හමුදා මාර්ග බාධකද මඟහරිමිනි. මේ සම්බන්ධව පොලිසියේ වගකිවයුතු ප්‍රධානීන්ට කරන ලද දැනුම්දීමකින් පසු මාර්ග බාධක ස්ථාන වැඩිකර ගම්මානවලින් පිටවිය හැකි සියලු අතුරු මාර්ගවලට මාර්ග බාධක යොදා පොලිස් ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතා පැවසීය.

ඇතැම් පුද්ගලයන් පොලිසියෙන් ලබාදෙන අත්‍යවශ්‍ය සේවා ලාංඡනය තම වාහනවල ප්‍රදර්ශනය කර ගනිමින් මහනුවර නගරයට පැමිණෙන අතර මේ පැමිණෙන කිසිවකු රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරතවන අයවලුන් නොවන අතර ඔවුන් වැඩි දෙනකු අකුරණ අලවතුගොඩ සහ කටුගස්තොට පොලිස් ස්ථානවල ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන, මෙවැනි අත්‍යවශ්‍ය සේවා අවසර පත් ලබාගෙන තිබෙන බව අප කළ සොයාබැලීම්වලදී අනාවරණය කරගත හැකිවිය.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුතරයක් මුස්ලිම් ප්‍රජාව ජීවත් වුවද එම බල ප්‍රදේශයේ ගම්මාන රැසක සිංහල ජනතාවද මුස්ලිම් ජනතාව හා මිත්‍ර වී ජීවත්වෙති.

වාසනාවකට මෙන් අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයෙන් දැනට ස්ථීරව හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනෙකු පමණක් බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. එම තත්ත්වය වර්ධනය නොවී ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුදෙනාත් ආරක්ෂක අංශයේ සැමත් අනෙකුත් රාජ්‍ය සේවයේ සියලුදෙනාත් දිවා - රාත්‍රී නිදි නොලබා අඛණ්ඩව කැපවෙති.

දිවා රාත්‍රී නිදිවරා අකුරණ සහ අලවතුගොඩ ප්‍රදේශයන්හි ජනතාව රැකගන්නට වෙහෙසෙන සැමදෙනාගේම අරමුණ වී ඇත්තේ අකුරණ ප්‍රදේශයෙන් මෙපිටට මහනුවර පුරවරයට මෙම භයානක වසංගත රෝගය ව්‍යාප්ත වීම වළක්වාලීමය.

අකුරණ ප්‍රදේශය තුළින් නව කොරෝනා ආසාදිත වූවන් දැනට වාර්තා නොවීම තුළින් එළඹෙන මැයි මස 03 වන දින එම ප්‍රදේශය විවෘත කිරීමේ හැකියාවක් පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පසුගිය අප්‍රේල් 20 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති රැස්වීමකින් පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය යටතේ මුහුණු ආවරණ නොපැළඳ ජනතාව අතරට පැමිණෙන පුද්ගලයන් හා පිරිස් නිසා කොරෝනා රෝගය මහනුවර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීමේ භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බව විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

දැනට අකුරණ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමා තිබීමත් එම ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයකුට පිටට ඒමට අවසර ලබා නොදීමත් නිසා රෝගය පැතිර යාමේ ප්‍රවණතාවයකින් මිදෙන්න හැකි වුවත් ආත්මාර්ථකාමී සහ හිතුවක්කාරී මිනිසුන් අතලොස්සක් හෝ එක්කෙනෙක් දෙන්නෙක් නිසාම මෙම රෝගය ව්‍යාප්ත වීමේ අනතුරුදායක තත්ත්වයක් ඇති බවද විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු වැඩිදුරටත් අනාවරණය කළේය.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක

“දිනකට ‍ෙකාවිඩ් - 19 සැකසහිත රෝගීන් විසි දෙනෙකුගේ (20) පමණ පී.සී.ආර්. (PCR) වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබනවා. පුද්ගලයන් 1601 දෙනකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා. ජනතාවගේ සහාය ලබා නොදුනහොත් අපට මේ භයානක වසංගත රෝගය පැතිර යාම වළක්වාලිය නොහැකියි. එම නිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිදු හේතුවක් නොමැතිව මහනුවර ජාතික රෝහලට නොපැමිණෙන ලෙසට.”

ඇතිවී තිබෙන කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක වෙසෙන පවුල් දසදහසක් පමණ හුදකලා කරවීමට සෞඛ්‍ය අංශවලට සිදුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අවධාරණය කළේය.

අකුරණ ප්‍රදේශය තුළින් අවසන් කොරෝනා ආසාදිතයා හඳුනාගනු ලැබුවේ අප්‍රේල් මස 05 වන දිනදීය. මහනුවර දිස්ත්‍රික්කයේ 3700ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට නතු කරවීමට මහනුවර සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පියවර ගෙන ඇත. ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් ජනතාව නිදහසේ තම තමන්ට රිසි සේ විවිධ ජනාකීර්ණ ස්ථානවල, ගැවසීම කොරෝනා වසංගත රෝගය ව්‍යාප්තවීම වළක්වාලීමේ මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය බලාරීන්ට දැඩි අභියෝගයක් වී තිබෙන බව විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය ලිහිල් කර මත්පැන් අලෙවි සැල් විවෘත කිරීම නිසා ආරක්ෂක අංශවලට පාලනය කරගත නොහැකි ලෙස සෞඛ්‍ය අංශවලටද අභියෝග එල්ල කරමින් සෞඛ්‍ය නීති කඩකරමින් මත්පැන් බෝතල් මිලදී ගන්නට මත්පැන් අලෙවිසල් ඉදිරිපිට ඇතැම් පිරිස් පොරකමින් රැස්කකා සිටියහ. කොරෝනා වසංගත රෝගය විහිළුවක් මෙන්ම එය මාධ්‍ය ප්‍රචාරණයට පමණක් සීමා වූ අංගයක් බව මත්පැන් බෝතල් මිලදී ගැනීමට එක්රොක් වූවන්ගේ මෙවැනි හැසිරීම් රටාවන් තුළින් පැහැදිලි විය.

සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද හා උපදෙස්වලට නතු නොවෙමින් නොසැළකිල්ලෙන් හා ප්‍රවේශම් සහිතව හැසිරීම තුළින් මෙම භයානක වසංගත රෝගය තව තවත් ව්‍යාප්ත වීම වළක්වාලිය නොහැකි බව පැවසූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විශේෂයෙන් අකුරණ ප්‍රදේශයෙන් මෙම වසංගතය ව්‍යාප්ත වීම වළක්වාලීමට සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහයට සැමගේ සහාය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

 ජේ.ඒ.එල්. ජයසිංහ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03