කොරෝනා වෛරසය ලෝකයම මේ වනවිට වෙලාගෙන ඇත. ලෝකයේ බොහෝ රටවල් අද වනවිට තම එදිනෙදා ආර්ථිකය පවත්වාගන්නට නොහැකිව මේ වනවිට අන්ත අසරණ වී තිබේ. ඒ බොහොමයක් රටවල් මේ වනවිටත් වසා දමා ඇති නිසාය. කුඩා වෙළඳ සලේ සිට මහා පරිමාණ නිෂ්පාදිත ස්ථානත්, පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු පොදු ස්ථානත් අද වනවිට ජනතාවට තහනම් කලාප වී හමාරය. මේ නිසා ජනතාව ගෙවල්වල සිරකරුරැවන් වී ඇත.
කෙසේ වෙතත් මේ සිරවීම් තුළ වැඩිම බලපෑමක් එල්ල වන්නේ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා ගිය දරැවන්ට බව අමුතුවෙන් කිවයුතු නැත. දෙමාපියන් දුක් මහන්සියෙන් හම්බ කළ මුදල්වලින් විදෙස් රටවල් වලට ගොස් අධ්‍යාපනය ලබන්නේ දහසකුත් බලාපොරොත්තු සිතේ දරාගෙනය. එහෙත් මෙවැනි අවස්ථාවක කාත් කවුරුත් නැති බෝඩිමක හෝ නේවාසිකාගාරයක දිවිගෙවන ඒ අයට කෑම වේලක් කන්නට හෝ මුදල් නැතිව දුක්විඳිනවා විය හැක. ඒ නිසා බොහොමයක් රටවල් චීනයේ වූහාන් වලින් මේ වෛරසය ආරම්භ වූ සැණින් එහි කොටුවූ දරැවන් ගෙන්වා ගැනීමට තීරණය කළේය. එසේ ගෙන්වා ගැනීමට තීරණය කළ රටවල් අතර මුල් පෙළේ ශ්‍රී ලංකාවද සිටියේය. ඒ නිසා වූහාන් වල සිරවී සිටි ළමුන් පිරිසක් පළමු අදියරේම ලංකාවට රැගෙන ආහ.
දැන් නැවතත් රජය තවත් අලුත් මෙහෙයුමක් සිදුකිරීමට සූදානම් වී ඇත. ඒ තවත් විදෙස් රටවල සිටින සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහාය. ඒ විවිධ පාඨමාලා හැදෑරීම සඳහා මෙරටින් ගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් ඇතුළුව පිරිසකි. අදාළ මෙහෙයුම මෙවරත් බාරවී ඇත්තේ ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු බාර අතිරේක ලේකම්වරයකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාටය. අප ඒ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.
අපේ රටේ මිනිස්සු බේරාගැනීමේ මෙහෙයුමක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ පළවෙනි අදියර හැටියට විදෙස් රටවල ඉන්න ළමයි මෙරටට ගෙන්වන්න හදන්නේ. ඒකෙනුත් පළවෙනි මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ සාක් රටවල ඉන්න දරුවෝ ටික ගෙන්න ගන්න එක. ඒ මෙහෙයුම අපි අඟහරුවාදා පටන් ගත්තා. ඒ අනුව පළවෙනි කණ්ඩායම අපි අඟරුවාදා පාකිස්ථානයේ ලාහෝර් බලා ගමන් කරන ගුවන් යානයකින් තමයි ගෙන්න ගත්තේ.
ඒ මහතා සඳහන් කළ ආකාරයට පාකිස්තානය ලාහෝර් සහ කරච්චි බලා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන් වාරයක් ක්‍රියාත්මක කළේය. එම ගමන සඳහා යූ.එල්. 1206 ගුවන් යානය පිටත් කර හැරියේය. ඒ අනුව එම ගුවන් ගමනට අනුව ලාහෝර් සිට 93 දෙනෙකුත්, කරච්චි සිට 20 දෙනෙකුත් රුගෙන ආවේය. එම මෙහෙයුමෙන් පසුව 23 දා ඇමරිට්සර් සිට යූ.එල්. 146 ගුවන් යානයෙන් 110 දෙනෙකුද, අප්‍රේල් 24 යූ.එල්. 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට 117 දෙනෙකුද, එදිනම යූ.එල්. 1425 ගුවන් යානයෙන් කත්මණ්ඩු සිටි මගීන් 93 දෙනෙකුත් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සුදානම් කර තිබිණි. කෙසේ වෙතත් පාකිස්ථානයේ සිට මෙරටට රැගෙන ආ පළමු කණ්ඩායමේ ආරක්ෂක අංශ නිලධාරින් පමණක් 82ක් විය. ඔවුන් විවිධ පුහුණු පාඨමාලා සඳහා පිටත්ව ගිය පිරිසක් බවද සඳහන් විය. ඒ අනුව කෙසේ වෙතත් ඔවුන් අදාළ පුහුණුවීම්, පාඨමාලාවල යෙදී සිටින ස්ථානවලින් රැගෙන එන ආකාරයත් පසුව ඔවුන් ගුවන් ගමනටත්, ගුවන් ගමනෙන් පසුව සිදුකරන කටයුතු සම්බන්ධයෙනුත් අප මෙහෙයුම බාර ජයනාත් කොළඹගේ මහතාගෙන් විමසීමක් කළෙමු.
අපි ඒ අයට අපේ තානාපති කාර්යාල හරහා දැනුම් දුන්නා 20 දෙනා බැගින් කණ්ඩායම් ගැහෙන්න. එයාලා ඉන්නේ එක නේවාසිකාගාරයේ තට්ටු තුනක කියලා හිතන්න. ඒ තට්ටු තුනට අදාළව අපි වෙන වෙනම කණ්ඩායම් හදලයි ගන්නේ බස්වලට. ඊටපස්සේ අපි ගුවන් යානයේ වාඩි කරන්නෙත් ඒ විදිහටමයි. හේතුව තමයි මේ වෛරසයෙන් ආරක්ෂා කරගන්න. ඊටපස්සේ ලංකාවට ආපුවමත් ඒ විස්සේ කණ්ඩායම අපි වෙනම බස් එකකට අරගෙන නිරෝධායනය මධ්‍යස්ථාන වලට යොදවනවා. හැබැයි මොන දේ කරන්නත් කලින් අපි ඒ අය ලංකාවට ආපු ගමන් විෂබීජහරණයට ලක්කරනවා. ඒක ගුවන් හමුදාවෙන් සිදුකරන්නේ. ඊටපස්සේ නිරෝධායනය මධ්‍යස්ථාන වෙත යොමුකරන බව ඒ මහතා සඳහන් කළේය.
එසේ රැගෙන යන නිරෝධායනය මධ්‍යස්ථාන තුළ දින 21ක් නිරෝධායනය ක්‍රියාවලියට යොමුකරන බව සඳහන් වේ. ඒ රටේ පවතින නිරෝධායන රෙගුලාසිවලට අනුවය. කෙසේ වෙතත් එම පිරිස් නැවත නිවෙස් කරා රුගෙන ගියත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිතර සොයා බැලීමට කටයුතු කරන බවද සඳහන් වේ. ඒ සියලු දේ රජයෙන් අධීක්ෂණය කරන බවද සඳහන් වේ. කෙසේ වෙතත් මෙම මෙහෙයුමෙන් අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයින් 443 දෙනෙකු මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කරන බව සඳහන් වේ. එසේම මෙම ගුවන්වාර සඳහා සාමාන්‍ය ගුවන් ගමනකදී ගමන් කරන ගුවන් කාර්ය මණ්ඩලය මෙන් තවත් කණ්ඩායමක් ගමන් කරන බවද සඳහන් වේ. කෙසේ වෙතත් ඒ පිරිසද නිරෝධායනය සඳහා යොමු කෙරේ.
කෙසේ වෙතත් මේ මෙහෙයුමට පසුව රජය විසින් වෙනත් රටවල සිටින, ලංකාවට පැමිණීමට කැමති සිසුන් ගෙන්වා ගැනීම සඳහාද අවධානය යොමුකරන බව සඳහන් වේ. එහෙත් ඒ සියල්ල මෙහි සාර්ථකත්වය මත තීරණය ගැනිමට නියමිතව ඇත. එසේම කොරෝනා මර්දනය සාර්ථක වීම මත ඉදිරි තීන්දු තීරණ ගන්නා බවද කියවේ.
ගයාන් ගාල්ලගේ